COLUMN

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමනි රට ගිනි තියන්න එපා !

Summary

කුමන ජාතියක්, කුමන ආගමක්, කුමන දේශපාලනයක් නියෝජනය කළත් ඒ සියල්ලෝම මිනිස්සුය. ඔවුන්ගේ ගතේ දුවන්නේ රතුපාට රුධිරය යි. ඒ රුධිරය සොළවා නීති විරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව සාහසික මිනීමැරුම් වලින් රටක බලය ගන්නට කවුරුන් හෝ උත්සහ කරනවානම් එය පහත් තිරිසන් ක්‍රියාවකි. භික්ෂූන් වහන්සේලා […]

කුමන ජාතියක්, කුමන ආගමක්, කුමන දේශපාලනයක් නියෝජනය කළත් ඒ සියල්ලෝම මිනිස්සුය. ඔවුන්ගේ ගතේ දුවන්නේ රතුපාට රුධිරය යි. ඒ රුධිරය සොළවා නීති විරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව සාහසික මිනීමැරුම් වලින් රටක බලය ගන්නට කවුරුන් හෝ උත්සහ කරනවානම් එය පහත් තිරිසන් ක්‍රියාවකි.

භික්ෂූන් වහන්සේලා දේශපාලනය නොකළ යුතුයි. භික්ෂුවගේ වගකීම සම්මා දිට්ඨිය ඔස්සේ සියළුම ආගම් ජාතීන් නියෝජනය කරන මානව වර්ගයාට නිවන් දකින්නට නිවැරදි මග පෙන්වීමයි. කිසිදු දේශපාලන පක්ෂයක්, මතයක් භික්ෂුවට නොතිබිය යුතු වූවත් ඕනෑම දෙයක, ඕනෑම කෙනෙකුගේ, ඕනෑම වරදක් දැකිය හැකි, කර්ම කර්ම ඵල විපාක දෙන ආකාරය සහ කුසලය ඔස්සේම තීරණ ගන්නා නිවනටම බරවුන සෘජු විශිෂ්ඨ ගුණයක් භික්ෂුව තුළ තිබිය යුතුය. අප පිහිටා සිටින්නේ එම කරුණ මතයි. ධර්ම විනයට එකඟවම ජීවත් වෙමු.

භික්ෂූන් වහන්සේලා පූජ්‍ය පක්ෂයයි. මුළු මහත් මානව සංහතියම සතුටින් සමගියෙන්, ගහ මරා ගන්නේ නැතිව, එකිනෙකාට උදවු උපකාර කරගෙන සිටිනවා දැකීම භික්ෂූන් වහන්සේලා ලෙස අපගේ බලාපොරොත්තුවයි.

දෙවියන්ට යාඥ්ඥා කරමින්, කන්නලවු කරමින් මිනිසුන්ට උදවු කරන මෙන් ඉල්ලන පිරිස වන දේව ගැති වරුන්, මවුලවිවරුන්, පූසාරීන් පූජක පක්ෂය යි.

මේ දිනවල රටේ පවතින කලබලකාරී තත්වය සමනය කර ගන්නට මේ පූජ්‍ය,පූජක දෙපක්ෂයටම ලොකු වගකීමක් පැවරී තිබේ. නමුත් අප සමාජය නිවන්නට වෙහෙසෙන විට දේශපාලනය කරන සමහර භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ද, මැල්කම් රන්ජිත් කාදිනල් තුමන්ද සමාජය ප්‍රකෝප කරමින් ලේ වැගිරීම් වලට අනුබල දීම කණගාටුවට කරුණකි. කාදිනල් තුමන්ගේ හැසිරීම බටහිර ජාතීන් ලංකාව ආක්‍රමණය කළ මුල් යුගයේ කතෝලික පියතුමන්ලාගේ කෛරාටික හැසිරීමට සමාන වී තිබේ.

පාස්කු ප්‍රහාරය කළේ කවරෙක්දැයි සියල්ලෝම දනී. නමුත් කාදිනල් තුමන් එය සිංහල බෞද්ධයින් වෙත පවරන්නට උත්සහ කරයි. බෞද්ධයින් සහ කතෝලිකයින්ගේ සමඟිය එතුමාට හිසරදයක් බව අපි දනිමු. විවිධ ආගමිකයින් සමඟිව සිටින විට බල තණ්හාවෙන් සිටින්නන්ට අරමුණු වලට යා නොහැකිය.

වත්මන් කාදිනල් රංජිත් පියතුමන්ගේ සිට සියළුම පියතුමන්ලාගේ සහයෝගය කොටි ත්‍රස්තවාදීන්ට ලැබුණ බව ලක්වැසි සියළුම දෙනා දනී. යුද්ධයෙන් පසුව ඒවා අමතක කර බෞද්ධයින් තමන්ගේ මෛත්‍රී ගුණය පතුරවමින් සියළුම දෙනා සමඟ සතුටින් සිටින්නට උත්සහ ගත්තේය.

නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසුව ආ බරපතලම ගැටළුව මෙම බල අරගලයයි. මේ පවතින්නේ නීත්‍යානුකූලව පත්ව තිබෙන රජයකි. එය පෙරලා දමන්නට අවශය්‍ය නම් එය නීත්‍යානුකූලව කර ගන්න. අපට කිසිදු ගැටළුවක් නැත. නමුත් මිනිස් ලේ සොළවන්න එපා. කුමණ්ත්‍රණය කිරීමෙන් මහජනතාවගේ ලේ සෙලවෙන බව දැන දැනත් ලේ සොළවා බලය ගන්නට මහජනතාව උසි ගන්වන්නේ ආගම පතුරවන්නට ලේ සොලවා ඇති පරන පුරුද්ද නිසාද?

මැල්කම් රන්ජිත් කාදිනල්තුමනි, අන්තරේ දරුවන් ගෝල්ෆේස් පිටියට එන බව රටම දැනගෙන සිටියේය. ඔවුන් එන අතර මහින්ද මහත්මාගේ නිවස වෙත මගදී හැරුණි. රට දන්නේ ඒ ආකාරයටයි. එම නිවසේ බැරියර් ඉදිරිපිට දරුවන්ට ඉදිරියෙන් කන්‍යා සොහොයුරියන් විශාල ප්‍රමාණයක් පෙළ ගස්වා තබන්නට පුළුවන් වූයේ කෙසේද? දරුවන් එතනට යන බව ක්ෂණිකව කණ්‍යා සොයුරියන් දන්නේ කෙසේද? අනික සුළු මොහොතකින් ඒ තරම් විශාල ප්‍රමාණයක් ගෙන්වූයේ කෙසේද? මෙය කාදිනල් තුමනි ඔබගේ සහ අන්තවාදී දේශපාලන පක්ෂ වල කුමණ්ත්‍රණයක් නේද?

කාදිනල්තුමනි, මහ බැංකුව හිස්ව තිබීමත්, අත්‍යාවශ්‍ය අවශ්‍යතා සියල්ලම මිළ අධික වීමත්, භාණ්ඩ වෙළඳපොලේ නැති වීමත්, ආදී කරුණු වලින් මතු වූ ජනතා අරගලය ඔබගේ යටි අරමුණ ඉටු කර ගැනීම උදෙසා භාවිතා කිරීම අතිශයින්ම පිළිකුල් සහගත ය.

කාදිනල්තුමනි, එකිනෙකා ප්‍රකෝප නොකරන්න. සියළුම ජාතීන්ට ආගමිකයන්ට විවිධ ජන වර්ග වලට නිදහසේ තමන් කැමති ආගමක් අදහමින් කටයුතු කරන්න ඉඩ දෙන්න. කැමති දේශපාලනයක් නීත්‍යානුකූලව කරන්නට ඉඩ දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා ගොස් කුමණ්ත්‍රණය කර බලය ගන්නට ජනතාව උසි ගන්වන්න එපා. මේ ඉතිරි කාළයත් යන්නට දෙන්න. එහි අවසානයේ කැමති රජයක් පත් කර ගන්නට දෙන්න.

අර්බුධයක් නිරමාණය කර ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බල ගත්තත්, ඔවුන් විනාශ වන්නේද අනාගතයේදී බරපතල අර්බුධයකින්මය. ඔබට අපට බුද්ධියෙන් වැඩ කර මහා විනාශයක් වළක්වා ගත හැක.

කාදිනල් තුමනි, ඔබතුමන්ගේ දේශපාලන මතය ගෝල්ෆේස් පිටියේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. දැන් එය රටම දනී. ඔබ කියූ තරුණ නායකයා පත් කර ගත හොත් ඔබේ ෆාදර් චාල්ස් මහතා “පහර දෙන්නට ආ වාහන වලට කොළඹින් පිටතට යන්නට දෙන්න එපා.” කියුවාක් මෙන්, සියළුම ගෙවල් ගිනි තියමින්, මිනිසුන් මරමින්, හැසිරීම කොතනින් නතර වෙයිද?

ගෙවල් කඩන්නට මිනී මරන්නට අනුබල දුන් නළු නිළියන් දැන් ඒවා මකා දැම්මත්, අපි ළඟ ඒවා සුරක්ෂිතව තිබේ. මෙවැනි කළබලවලට අනුබල දෙන්නේ ඔබේ ආගමේ එවැන්නක් උගන්වන නිසාද?

කාදිනල්තුමනි, අපේ බුදු දහමේ උගන්වන්නේ මෛත්‍රීයයි. එය හරිම සුව දායකයි. ඔබත් එය අත් හදා බලන්න. හරිම මිහිරියි. සියළු මිනිසුන්ට මෙන්ම සතුන්ටත් රැකවරණයක් ලැබෙනවා. හැමෝම සතුටින් ජීවත් වේවි.

කාදිනල්තුමනි, තරුණයින්ගේ ආරාධනාව නිසා අරගල බිමට අපිත් වැඩම කළා. එහි සැබෑ ජන පීඩනයත් දුටුවෙමු. නිරාගමික කරනයත් දුටුවෙමු. අන්‍යාගමික කරණයත් අපූරුවට දුටුවෙමු. එහි දේශපාලන ස්වභාවයත් දුටුවෙමු. යටින් ක්‍රියාත්මක වන සංවිධාන ජාලයත් දුටුවෙමු. ඔබතුමාට මෙහි තිබෙන සම්බන්ධතාවයත් ඉතාමත්ම හොඳින්ම දුටුවෙමු.

කාදිනල්තුමනි, භික්ෂුව දේශපාලනය නොකළයුතු වූවත්, ඒ දේශපාලනය කරන භික්ෂූන් ටික දෙනෙක් සමඟ දේශපාලනය කරන ඔබතුමා මේ ලක් මාතාව ගිනි තියන්න එපා.

කාදිනල්තුමනි, සියළුම සත්වයින්ට මෛත්‍රීය පතුරවන්න.

ඊළඟට ගෙවල් පන්සල් කඩන විට, මෙම ලිපිය නිසා අපේ විහාරස්ථානයටත් පැමිණෙන බව දැන දැන සත්‍ය කිව යුතු නිසාම කීවෙමි.

කාදිනල් තුමනි, නැවත නැවතත් සිතන්න.

තෙරුවන් සරණයි!

පූජ්‍ය, තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ.
මිණිපුර අමාශාන්ති තපෝවනය
පැල්වාඩිය – රත්නපුර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *