කොලම සතරැස් නුවර පුවත්

අග්නි පූජා වස්තුව

Summary

සියල්ලෝ විලක්කු වන වනා සිට උන් තුටු වන තෙක් කෑගසා නටා ගයා පිටව ගියහ. දඟගෙයි සිටින්නවුන් හට තව තවත් අග්නි දෙවි පිහිට ලැබෙන්නට විය.

ඒ වූ කලී සතරැස් නුවර දෙටු පිළිමල් චූල පෙම් දස්සා ප්‍රමුඛ පිළිමල් කැල මහත් වූ නොසන්සුන් තාවයට පත් වූ සමයක් විය. ඒ මන්ද යත් සතරැස් නුවර එක් දඟ ගෙයක් තුළ ඇති වූ විපරිත තත්ත්වයක් කරණ කොට ගෙනය. දඟගෙයි තුළද දඟකාරකම් කළ දඟයින් මෙල්ල කරනු වස් නිල දරුවන් විසින් ඔවුන්ට එල්ල කළ වේවැල් පහරින් දඟගෙයි වූවන් පිරිසක් මෙලොව හැර ගියහ. මින් මහත් කම්පාවට පත්වූ පිළිමළුන් මෙය ඉවසා ලිය යුත්තක් නොවන බැව් දෙටු පිළිමල් වූ චූල පෙම්දස්සා හට පවසා සිටියහ.

මහත් වූ කෝපයෙන් සහ ශෝකයෙන් නැගී සිටියේ චූල පෙම් දස්සා, “මෙය නම් ඉවසා ලිය යුත්තක් නොවේ. මේ දඟගෙයි ලා ඇත්තේ උන්ගේ බඩවියත පිණිස තේ කුඩු කහ කුඩු මෙන්ම පොල් කුඩු ආදී කුඩු වෙළදාම් කළවුන් ය. එමෙන්ම තම ආරක්ෂාව පතා හෝ තම අඹු දරුවන්ගේ ආරක්ෂාව පතා හෝ සිය බහු බෝගවල ආරක්ෂාව පතා හෝ සුළු සුළු පර පණ නැසූ අහිංසකයින් ය. උන් වූ කලී අප මහ ජයවඩන රජ තුමා විසින් බිහි කරන ලද්දා වූ ද මා පියාණන් විසිනි මනාකොට රකින ලද්දා වූ ද සැටලයිට් දේවිය විසින් ඇකයෙහි හොවා මනාකොට ක්ෂීර පෝෂණය කළා වූ ද අසරණයන් ය. ඉදින් මුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් අප යමක් කළ යුත්තේමය. අප කුමක් කරන්නමොද?” සෙස්සන් ගෙන් ඇසීය.

වඩාත් දැඩි සිතිවිල්ලේ ඉදිමින් පිලිමලුන් කැල නානාවිධ යෝජනාවන් කරන්නට වූහ. ඒ අතර රථවල නලාව නාද කිරීම, ගැල් පෙරහරේ ගමන් කිරීම, ආදී නේක ක්‍රම යෝජනා කරන්නට වූහ. ඒ කිසිවකටත් දෙටු පිළිමල් චූල පෙම් දස්සා කිසිදු සතුටක් නොදැක්වීය. වහා නැගී සිටි නලියන බන්ඩා මෙසේ පැවසීය.

“දෙටු තුමනි මේවා වූ කලී අප පෙර දෙටු විකුම්සිහ විකුමන් ය. ඉඳින් අප එයම නැවත නැවත සිදු කිරීම අපට තරම් නොවේ. අප වඩාත් නිර්මාණශීලී යමක් කළ යුතුය.”

චූල පෙම්දස් තෙමේ හිස වනා එය අනුමත කොට ජනතාවටම මිතුරු වූ ජන මිතුරු යැයි විරුදාවලිය ලද වර්ණ (පාට) දැව (ලී) වෙත හැරි අපේක්ෂා සහගතව බලා සිටියේය.

චූලපෙම්දස්සාගේ  බැල්මෙන්ම කාරණාව වටහා ගත් ඒ වර්ණ දැව තෙමේ නව ක්‍රමෝපායක් පැවසීය.

“දෙටු තුමනි මෙතුවක් කිසිවෙකුත් නොකල යමක් අප සිදුකළ යුත්තේ ය. ඉදින් මේ මියගිය අසරණ ජනයා කෙරෙහි අනුකම්පා සහගතව අප අග්නි පූජාවක් පැවැත්වීම මැනවි ඉදින් අප සියලු දෙනා එක් විලක්කුව බැගින් ගෙන ගොස් ගොටු අභය මාලිගය ඉදිරිපිට අග්නි පූජාව පැවැත්වීම මැනවි. ඒක් එක් විලක්කුවේ ආලෝකයෙන් මියගිය අසරණයින්ට ආලෝකයක් ම ලැබේවා යි අප සියල්ලෝ එක්වර පතන්නෙමු. ඉන් ගොටු අභය රජ තෙමේ ද භීතියට පත්ව අප කියන්නක් අසනු ඇත.” වර්ණ දැව තෙමේ පැවසූ වදන් චූල පෙම් දස්සා ගේ මහත් සොම්නසට හේතු විය.

මුව කොන කර්ණය තෙක් විහිදුවා ලූ චූල පෙම්දස්සා “උචිතය වඩාත් උචිතය මා මිත්‍ර ජනතා මිත්‍ර වර්ණ දැව ය ඉදිනු වන්නාට ය අප එලෙසම සිදු කරන්නෙමු. වර්ණ දැවට ජය වර්ණ දැවට ජය” යැයි පැවසීය.

ඉදින් සියල්ලෝම එකකු එක් විලක්කුව බැගින් රැගෙන මුව දොර අබියස පිහිටි ගොටු අභය රාජ මාලිගය ඉදිරිපිටට පැමිණිය හ. නොයෙක් වදනින් ගොටු අභය රජුහට නොයෙක් ඇමතුම් කරමින් ඝෝෂා කරන්නට වූහ. අසරණයින්ට සෙත්පතා අග්නි දෙවියන් යදින්නට වූහ. නමුත් මාලිගය තුළින් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.

“බලව මේ ගොටු අභය රජු නෑසූ සවනින් නොදුටු නෙතින් මාලිගය තුල සිටි. රජු හට මුන්ගෙ අසරණකම් නොවැටහේ” යි උන් ඝෝෂා කළහ.

එය ඇසූ වර්ණ දැව තෙමේ ඉවත බලා මදහසක් පා “ඉදින් මේ යාමෙහි රජු නැති නියාව දැන දැනම අප හඬ නොනැගූ ද ඔහු සිටිය ද මින් පලක් නොවේ. මෙයද රථ නලා නාදය ගැල් පෙරහැර ආදියට දෙවැනි වන්නක් නොවේ රජුගෙන් කම්නැත අප අග්නි පූජාව පවත්වන්නෙමු. අග්නි දෙවියන් යදිමු. අසරණයන් වෙනුවෙන් අග්නි දෙවියන් ගේ පිහිට යදිමු.”

මේ අතර කොලොම්තොට මුවදොර මග දෙපස මහත් ජන කලක් නොයෙක් පරුෂා වාදයෙන් පිළිමල් හට අමතමින් බලා සිටින්නට වූහ.

“දෙටු පිළිමලුනි අප දෙස බලා අමතමිනි අර ගමන් ගනනෝ කවරහු ද?” ඒ නලියන බන්ඩා දෙටු පිළිමල් චූල පෙම් දස්සාගෙන් විමසීය.

“ඒ අපරාධ කරුවන්ය සොරහු යැ තක්කඩින් යැ අප උන් දෙස නොබලා දඟ ගෙයි අසරණයින් වෙනුවෙන් අග්නි පූජා පවත්වන්න මු” චූලපෙම්දස් තෙමේ පැවසීය.

සියල්ලෝ විලක්කු වන වනා සිට උන් තුටු වන තෙක් කෑගසා නටා ගයා පිටව ගියහ. දඟගෙයි සිටින්නවුන් හට තව තවත් අග්නි දෙවි පිහිට ලැබෙන්නට විය.
හුදී ජන පහන් සංවේගය උදෙසා කළ අග්නි පූජා වස්තුව මෙතෙකින් නිමියේ ය.

Leave a Reply

Your email address will not be published.