COLUMN

අග්ලි මහ ලිබ්බා

Summary

“අවලස්සණ ඇමෙරිකානුවා” කියන පොත ගැන කතාවක් ඇතිවෙලා. මේ කතාවේ සිංහල පරිවර්තනය මම කියවලා නෑ. ඒ හින්දා මේ කතාව මම කියන්නේ ඉංග්‍රීසි පොත කියවලා ලබාගත්ත දැනුමකින්.
මේ පොතින් ආවරණය කරන මූලික කාරණය මගේ එක අධ්‍යයන විෂයයකට අදාළයි. ඒ තමයි “අන්තර්-සංස්කෘතික සන්නිවේදනය” (Intercultural communication) මේක මම කාලයක් තිස්සේ උනන්දුවෙන් ඉන්න විෂයයක්. ඉතින් මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් මම හැදෑරුවෙත් මේ විෂයය. වෙනත් සංස්කෘතියකට අයිති අයත් එක්ක ගනුදෙනු කරද්දි සැළකිය යුතු කරුණු කාරණා ගැන තමයි මේ විෂයය තුළින් සළකා බැලෙන්නේ. එහෙම සන්දර්භයක් ඇතුළේ සංස්කෘතික කරුණු නොසළකා හැරලා කරන සන්නිවේදනය අසාර්ථක එකක්. මගේ චීන අධ්‍යයන කටයුතුවලටත් මේ පිළිබඳ දැනුම උදව්වෙනවා.

“අවලස්සණ ඇමෙරිකානුවා” කියන පොත ගැන කතාවක් ඇතිවෙලා. මේ කතාවේ සිංහල පරිවර්තනය මම කියවලා නෑ. ඒ හින්දා මේ කතාව මම කියන්නේ ඉංග්‍රීසි පොත කියවලා ලබාගත්ත දැනුමකින්.
මේ පොතින් ආවරණය කරන මූලික කාරණය මගේ එක අධ්‍යයන විෂයයකට අදාළයි. ඒ තමයි “අන්තර්-සංස්කෘතික සන්නිවේදනය” (Intercultural communication) මේක මම කාලයක් තිස්සේ උනන්දුවෙන් ඉන්න විෂයයක්. ඉතින් මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් මම හැදෑරුවෙත් මේ විෂයය. වෙනත් සංස්කෘතියකට අයිති අයත් එක්ක ගනුදෙනු කරද්දි සැළකිය යුතු කරුණු කාරණා ගැන තමයි මේ විෂයය තුළින් සළකා බැලෙන්නේ. එහෙම සන්දර්භයක් ඇතුළේ සංස්කෘතික කරුණු නොසළකා හැරලා කරන සන්නිවේදනය අසාර්ථක එකක්. මගේ චීන අධ්‍යයන කටයුතුවලටත් මේ පිළිබඳ දැනුම උදව්වෙනවා.

ඇත්තෙන්ම “අන්තර්-සංස්කෘතික සන්නිවේදනය” විෂයය පිළිබඳව ඇමෙරිකා ආණ්ඩුවේ අවධානය යොමුවුණේ The Ugly American පොත පළවෙන්න අවුරුදු දහයකට දොළහකට කලින්. (මේ පොත පළ කළේ 1958 අවුරුද්දේ). දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මහ බලවතා බවට පත්වෙච්ච ඇමෙරිකානු ජනපද සංගමයට හැම රටක් එක්කම රාජතාන්ත්‍රික සම්බන්ධකම් පවත්වන්න සිද්දවුණා. ඒත් මේ ගනුදෙනුවලට සංස්කෘතික කාරණා හරස්වෙන බවක් අදාළ විශේෂඥයෝ තේරුම් ඇරගෙන හිටියා.
මේ ගැටලුව විසඳීමේ වගකීම පැවැරුණේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට. ඉතින් ඒ අය 1947 මාර්තු 13 වැනි දා අලුත් ආයතනයක් ආරම්භ කළා. ඒ ආයතනය නම් කළේ “විදේශ සේවා ආයතනය” (Foreign Service Institute) කියලා. රාජතාන්ත්‍රික නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබාදීම තමයි මේ ආයතනයෙන් සිද්දවුණේ.
විදේශ සේවා ආයතනය ආරම්භ කළ මුල් වකවානුවේ දී ම එහි ඉගැන්වීම් කටයුතුවලට මානව ශාස්ත්‍රඥයෙකුත් සම්බන්ධ වෙලා හිටියා. ඒ තමයි එඩ්වඩ් ටී. හෝල් (Edward T. Hall) මහත්තයා. ඒ මහත්තයා කරපු ඉගැන්වීම් මුල් කරගෙන තමයි “අන්තර්-සංස්කෘතික සන්නිවේදනය” විෂයය බිහිවුණේ. ගතවෙලා තියෙන අවුරුදු 70 ක විතර කාලය ඇතුළේ රාජතාන්ත්‍රික කටයුතු ඉක්මවලා තවත් ක්‍ෂේත්‍රවලටත් මේ විෂයය ව්‍යාප්තවෙලා. උදාහරණයක් විදිහට වෙළෙඳ ගනුදෙනු ගැන කියන්න පුළුවන්. ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සාර්ථකව කරගන්න නම් මේ විෂයය ගැන හොඳ පුහුණුවක් තියෙන්න ඕන.

1959 අවුරුද්දේ එඩ්වඩ් ටී. හෝල් මහත්තයා පළකරපු The Silent Language පොත, ඒ වගේ ම, 1966 අවුරුද්දේ ඒ මහත්තයා පළකරපු The Hidden Dimension පොත මේ ආශ්‍රිත විෂයය කරුණු වර්ධනය කරන්න උපකාරී වුණා. ඒ මහත්තයා විසින් ම 1976 දී පළකරපු Beyond Culture පොතත් මේ කාරණයට අදාළයි.
එක්සත් ජනපද යුද තොරතුරු කාර්යාලයේ (United States Office of War Information) අවශ්‍යතා වෙනුවෙන් පර්යේෂණ කරලා හොයාගත්ත කරුණු ආශ්‍රයෙන් 1946 අවුරුද්දේ Ruth Benedict නෝනා ලියා පළකරපු The Chrysanthemum and the Sword: Patterns of Japanese Culture කියන පොතෙන් කියන්නෙත් මේ විෂයයට අදාළ කරුණු තාරණා ගණනාවක්.

අන්තර්-සංස්කෘතික නිපුණතාව (Intercultural competence) පිළිබඳවත් මේ විෂයය යටතේ නිතරම හුවා දක්වනවා. බාහිර සංස්කෘතියක් එක්ක බාධා රහිතව සන්නිවේදනය කිරීම සඳහා යම් කෙනෙක් සතු හැකියාව මෙම යටතේ විස්තර කෙරෙනවා. වෙනත් සංස්කෘතීන් සමඟ රාජ තාන්ත්‍රික සබඳතා පවත්වන, වෙළෙඳ ගනුදෙනු කරන, ආගමික ප්‍රචාරණ කටයුතුවල යෙදෙන පිරිස්වලට මෙම හැකියාව අත්‍යවශ්‍යයයි. Myron W. Lustig සහ Jolene Koester ලියපු Intercultural competence: Interpersonal communication across cultures කියන පෙළප‍ොතින්, Janet M Bennett සංස්කරණය කරපු The SAGE Encyclopedia of Intercultural Competence කියන විශ්ව කෝෂයෙන්, Darla K. Deardorff සංස්කරණය කරපු The SAGE Handbook of Intercultural Competence කියන අත්පොතින් මේ කාරණයට අදාළ වැඩි විස්තර බලාගන්න පුළුවන්.
The Ugly American පොතින් කියන්නෙත් මේ වැඩේට අදාළ කරුණු කාරණා. ඇත්ත කරුණු ආශ්‍රයෙන් ප්‍රබන්ධයක් විදිහට මේ පොත ලියපු බවක් තමයි කියන්නේ. මේ කතාව කියන්නේ “සාර්කනය” කියලා කල්පිත රාජ්‍යයක් නිර්මාණය කරගෙන. මියන්මාව සහ තායිලන්තය ආශ්‍රිත රාජ්‍යයක් විදිහට තමයි ඒ කල්පිතය මවන්නේ.
1952 විතර වෙද්දි විවිධ අභ්‍යන්තර අර්බුදවලට මුහුණදීපු “සාර්කනය” සෝවියට් කඳවුරට බරවෙලා කොමියුනිස්ට්වාදය පැත්තට හැරෙමින් තිබුණු බවක් මේ කතාව මුල දී ම කියනවා. මේ නිරීක්‍ෂණය හින්දා කලබලවෙච්ච “කොල්වින්” ඔහුගේ කොංග්‍රස් සගයෙක්ට ලියුමක් ලියනවා. ඒ ලිපියෙන් සාර්කනයේ සංස්කෘතිය ගැන කියන ඔහු මොන විදිහට ඒ රටේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ද කියන එකත් පැහැදිළිකරනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිව්වත් ඒ අය ඒක ගණන්ගන්නේ නෑ.
මේ කතාවේ ඉන්න සෝවියට් තානාපතිවරයා (ලුවිස් කෘපිට්සන්) ඉතාමත් හොඳින් සාර්කන් සංස්කෘතිය හදාරපු කෙනෙක්. ඔහුට ඒ රටේ භාෂාව පුළුවන්. ඒ වගේ ම, රටේ ආගම, දේශපාලනය, ආර්ථිකය මේ හැම දෙයක් ගැන ම ඔහු දන්නවා. ඒත් සාර්කනයට පත්කරලා හිටිය ඇමෙරිකානු තානාපතිවරයා (ලුවිස් සියර්ස්) මේ කිසිම දෙයක් දන්නේ නෑ. ඉතින් සාර්කනයේ සෝවියට් වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථක එකක්.

සෝවියට් තානාපතිවරයා තමන්ගේ රටට සපයන වාර්තාවේ ඇමෙරිකානු තානාපති ගැනත් සඳහන්කරනවා. ඔහු කියන විදිහට ඇමෙරිකානු තානාපති රැස්වීම් තිය තියා, වෙනත් තේරුමක් නැති ඔෆීසියල් වැඩ කර කර කාලේ කන කෙනෙක්. මේ දුර්වල තානාපතිවරයා ගැන ඇමෙරිකාවේ පත්තරවලින් හොඳ කියවන්න ඕන බවත් සෝවියට් දේශයේ ප්‍රව්ඩා පුවත් සේවය හරහා ඔහුට තදින් ම පහරදෙන්න ඕන බවත් තානාපති ලුවිස් කෘපිට්සන් කියනවා. එහෙම වුනොත් මේ “සුපිරි” තානාපතිවරයා දිගටම ධුරයේ තියන්න ඇමෙරිකාව කටයුතුකරනවා. ඒක සෝවියට් දේශයට වාසියි.
ඒ වගේ ම, මියන්මාවේ (බුරුමයේ) වැඩකරන ඇමෙරිකානු කතෝලික පූජකයෙක් ගැනත් ලුවිස් කෘපිට්සන් කියනවා. ඒ පූජකවරයා (ෆීනියන් පියතුමා) මියන්මාවේ සංස්කෘතිය, භාෂාව හැම දෙයක් ම හොඳින් දන්න කෙනෙක්. රටේ මිනිස්සු කන දේවල් ඒ පියතුමාත් කනවා. එතුමා රටේ උප භාෂා පවා හොඳින් හසුරුවනවා. රැංගුන් නුවර ඉඳලා ඉරවඩ්ඩි ප්‍රදේශයට යන අතරමග මුණගැහෙන, අත්දකින සියලුම සංස්කෘතික කරුණු (රටේ ඉතිහාසය, මිනිස්සුන්ගේ හැසිරීම වගේ හැම දෙයක් ම) ඒ පියතුමා සටහන් කරගන්නවා. ඉතින් ලුවිස් කෘපිට්සන් කියන විදිහට ඒ පියතුමා ගැන සෝවියට් දේශයේ වැඩි අවධානයක් යොමුවෙන්න ඕන. ඔහු හුඟක් “භයානක” පුද්ගලයෙක්.
ඉතින් අදාළ නිරීක්‍ෂණ මත පදනම්වෙලා ඉතා ඉහළ අන්තර්-සංස්කෘතික නිපුණතාවක් (Intercultural competence) තියෙන අය රාජතාන්ත්‍රික කටයුතුවලට යොමුකරන්න ඕන කියන එකයි මේ පොතෙන් (කතාවෙන්) ඇමෙරිකාවට යෝජනා කරන්නේ. මේ කතාව පුදුමාකාර විදිහට ජනප්‍රිය වෙච්ච එකක්. මාස තුනක් ඇතුළත මේ පොත විසි වතාවක් නැවත මුද්‍රණය කරපු බවකුත් කියනවා. ඒ වගේ ම, කෙනෙඩිගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයටත් මේ පොත යොදාගෙන තියෙනවා. 1961 දී Peace Corps කියන ස්වේච්ඡා බලකාය හදන්නත් කෙනෙඩිට මේ පොතේ අදහස් උදව්වෙලා තියෙනවා.

ඒත් වෙච්ච දෙයක් නෑ. මෙහෙම වෙන්නේ ඇයි?
අන්තර්-සංස්කෘතික සන්නිවේදන ඉගැන්වීම්වලින් සහ මේ පොතෙන් කියන විදිහට නම් ඇමෙරිකානුවා ඒ ඒ රටවල්වල භූමියේ සංස්කෘතියත් එක්ක අනුගත වෙන්න ඕන. ඒත් ඇමෙරිකාවේ “මහ අරමුණ” ඒකට පටහැනි එකක්. ඒ අයගේ මහ අරමුණ වෙලා තියෙන්නේ තමන්ගේ රෙපරමාදු ලිබරල් සංස්කෘතික ආධිපත්‍යය ලෝකය පුරා පැතිරවීම.
මේ වැඩ දෙක එකකට එකක් පටහැනියි. මහ අරමුණ ජයගන්න නම් ඒ ඒ රටවල්වල භූමියේ සංස්කෘතීන් විනාශකරන්න ඕන. ඒ රටවල්වල ඉතිහාසය විකෘතිකරන්න ඕන. මේ වෙනුවෙන් තමන්ගේ රටවල්වල සංස්කෘතියට ගරහන, ඉතිහාසය විකෘති කරන, විප්ලව කරන ඇම්බැට්ටයෝ පිරිසක් ඒ රටවල්වලින් ම හදාගන්න ඕන. ඒ සඳහා ඇමෙරිකාව ඇතුළු රෙපරමාදු බටහිර රටවල් විශාල මුදලක් වියදම්කරනවා. කලාකාරයෝ, උගත්තු, විප්ලවවාදියෝ ඇතුළු එකී මෙකී සෑහෙන පිරිසක් මේ වෙනුවෙන් හදලා වඩලා ලොකු මහත් කරනවා. ඉතින් එහෙම කරන ගමන් කොහොම ද භූමියේ සංස්කෘතිය අගයකරන්නේ?
මහ ලිබ්බා අග්ලි එකෙක් වෙලා තියෙන්නේ මේ හින්දා තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *