Opinion

අතීත සිංහලයා ගොවියකුට වඩා නාගරිකයෙකි

Summary

මෙතෙක් අපේ අතීත කතාව තුල තිබුනේ ගොවිතැනින් සාරවත් වෙච්ච ගැමි පරිසර පිළිබඳව. නමුත් ඇත්තටම අපේ අතීත නගර වල පාදමේ තිබුනේ සාර්ථක වෙළඳාම මිසක් ගොවිතැන නොවෙයි. ගොවිතැන පටන් ගත්තේ වෙළෙන්දෝ එකතු වෙලා නගර බිහි කරාට පසුව, ඒ නගර වලට එකතු වෙන ජනිජනයාගේ ආහාර අවශ්‍යතාවය සපුරන්න. විහාර ආරාමා විශාල දාගැබ් හැදුනෙත් වෙළඳ නගර නිසා මිස ගොවිතැනින් සරු වෙච්ච ගම්මාන නිසා නොවෙයි. අතීත සිංහලයන් කියන්නෙ නාගරික ජාතියක්. අපි පියවරෙන් පියවර මේ නාගරිකත්වයට එබී බලමු.

අතීත ලංකාව සතුව තිබුනා විශාල දේශපාලනික සංකේත බලයක් සහිත ආගමික වස්තූන් දෙකක්. ඉන් පළමුවැන්න තමයි පූජනීය දළදා වහන්සේ. අනෙක, පූජනීය වූ පාත්‍රා දාතූන් වහන්සේ. මේ වහන්සේලා දෙනමටම අනෙක් බෞද්ධ රටවලින් පුදුමාකාර ඉල්ලුමක් තිබුනේ.විශේෂයෙන්ම වර්තමාන ඉන්දු චීන කලාපයේ තිබෙන ථෙරවාදී රටවලින්.

දොළොස්වැනි සියවසේ, ඒ කියන්නෙ අපේ පොළොන්නරු යුගයට සමාන්තර යුගයක වර්තමාන මියන්මාරය ප්‍රදේශයේ තිබුණු බලවත්ම රාජධානිය තමයි බගන් රාජධානිය. මුළු මියන්මාරයේ විශාල කොටසක් තම අනසකට යටත් කරල ක්‍රි. ව 1044 දී  ශක්තිමත් බගන් රාජධානිය බිහි කරේ අනවරත් රජතුමා. අනවරත් කියන්නෙ “අනුරුද්ධ” කියන අපට හුරු නමේ අනුවර්තනයක්. අනවරත් රජතුමාට තිබුණු ලොකුම ආශාවක් තමයි දළදා වහන්සේ තමන්ගේ භාරයේ තබා ගැනීම. ඔහු තමන්ගෙ හොඳ මිත්‍රයෙක් වුනු ලංකාවේ විජයබාහු රජුගෙන් දළදා වහන්සේ ඉල්ලුවෙ ඒ සඳහා ඉතාම දුර්ලභ ධවල ඇතෙකුත් තෑගී කරලා . හැබැයි ඔහුට ලංකාවෙන් ලැබුනේ දළදා වහන්සේගේ අනුරුවක්. මේ සිද්ධිය ලංකාවේ වංශ කතාවල සඳහන් නොවෙතත්, මියන්මාරයේ වංශ කතා පොත් වල සඳහන්. ඔහු මේ අනුවරුව වටිනා කියන මැණික් සහිත බහාලුමක තැන්පත් කරලා, එය තවත් ධවල ඇතෙකු පිට තියල පිටත් කර ඇරලා තියෙනවා. මේ ඇතා ඇවිදගෙන ගිහින් නැවතුනු තැන තමයි අදටත් දකින්න ලැබෙන ස්වෙසිගොන් චෛත්ත්‍යය හදල තියෙන්නෙ. පස්සේ අන්වරත් රජතුමා ප්‍රාර්ථනා කරලා තියෙනවා මේ අනුරුවේ තවත් අනුරූ මවෙන්න කියල. එහෙම මැවුණු දෙවැනි අනුරුව තැන්පත් කරලා තන්ගි කඳු වැටියේත් , තුන් වැන්න තැන්පත් කරලා ලංකානන්ද තොටුපලේත් විශාල දාගැබ් ඉදි කරලා තියෙනවා. ලංකානන්ද තොටුපල කියන්නෙ ඊරියවඩ්ඩි ගඟ දිගේ යාත්‍රා කරගෙන බගන් රාජධානියට ආපු ලංකාවේ නාවිකයෝ නැව් නතර කරපු තොටුපල. හතරවැනි අනුරුව තුයිවින් කන්දෙත්, පස් වැනි අනුරුව පයෙක් කන්දෙත් තැන්පත් කරල මේ විදිහටම විශාල දාගැබ් හදල තියෙනවා.

රටකට කරන්න පුළුවන් ඉහලම ගණයේ නිෂ්පාදනය තමයි දැනුම නිෂ්පාදනය. ඒ වගේම කල හැකි ඉහලම අපනයනය තමයි සම්ප්‍රදාය අපනයනය. පොළොන්නරු යුගයෙදි අපිට ඒ දෙකම සාර්ථකව කරන්න හැකි උනා. ඒ නිසා තමයි අපේ ආගමික සම්ප්‍රදායට සහ ආගමික සංකේත වලට වෙනත් රටවල පවා විශාල ඉල්ලුමක් තිබුනේ. විශේෂයෙන්ම වර්තමාන ඉන්දු චීන කලාපය තුල එකල විලාසිතාව වුනා  ලංකාවේ දේ අනුකරණය කිරීම. ඔවුන් අපේ භාෂාව , ආගම, සිරිත්විරිත්, වගේම ගෘහ නිර්මාණ ශිල්පය පවා ආභාෂයට ගත්ත. ඇත්තටම මේ හරහා සිදු උනේ පොලොන්නරුව වෙනත් තැනක ප්‍රතිනිර්මාණය වීම.

මේ යුග වල රටවල් අතර වෙළඳාම එක්ක අනිවාර්යය වශයෙන් ආගමික සංරචකයක් ඈඳිලා තිබුනා. ඒක  ඒ යුගයේ හැටි. ඉතිං පොළොන්නරු යුගය තුලදී අපේ ආගමික සංකේත සහ වටිනාකම් වලට ජාත්‍යන්තරව අගයක් වටිනාකමක් ලැබුන කියන්නෙම , එතන වෙළඳ වාසියකුත් තිබුනා කියන එක. මේ වෙළඳ වාසිය මත තමයි අපිට එක්තරා මොහොතක හැකි වෙන්නෙ සමස්ත ඉන්දු චීන කලාපය තුලම ඉතාම ශක්තිමත් විදිහට අපේ වෙළඳ බලය තහවුරු කරගන්න.  මෙහෙම තහවුරු කරගත්ත වෙළඳ බලයෙන් තමයි අපි පොලොන්නරුව වගේම ඊට පෙර   අනුරාධපුරයත්  ගොඩනගන්නේ.

අතීතය කියන්නෙ අපි ගොඩනගන කතාවක්. හැබැයි ඒක කරුණු එකිනෙකට එකක් ගැලපෙන සංගත කතාවක් වෙන්න ඕන.  අතීතය ගැන කියවුණත්  මේ සංගත කතාව ඇත්ත වශයෙන්ම අයත් වෙන්නෙ වර්තමානයට. වර්තමානයේ අපේ ඔලු ගෙඩි ඇතුලේ හැදෙන කතාව තමයි අතීතය විදිහට එලි බහින්නෙ. මෙතෙක් අපේ අතීත කතාව තුල තිබුනේ ගොවිතැනින් සාරවත් වෙච්ච ගැමි පරිසර  පිළිබඳව. නමුත් ඇත්තටම අපේ අතීත නගර වල පාදමේ තිබුනේ සාර්ථක වෙළඳාම මිසක් ගොවිතැන නොවෙයි. ගොවිතැන පටන් ගත්තේ වෙළෙන්දෝ එකතු වෙලා නගර බිහි කරාට පසුව, ඒ නගර වලට එකතු වෙන ජනිජනයාගේ ආහාර අවශ්‍යතාවය සපුරන්න. විහාර ආරාමා විශාල දාගැබ් හැදුනෙත් වෙළඳ නගර නිසා මිස ගොවිතැනින් සරු වෙච්ච ගම්මාන නිසා නොවෙයි. අතීත සිංහලයන් කියන්නෙ නාගරික ජාතියක්. අපි පියවරෙන් පියවර මේ නාගරිකත්වයට එබී බලමු.

දිනෙත් මල්ලිකාරච්චි
dineth.mallikarachchy@gmail.com

Leave a Reply

Your email address will not be published.