COLUMN

අද (2022 ඔක්තෝබර් 23 වැනි දා ඉරිදා) “ඇත්ත” පුවත්පතේ පළ වී තිබෙන ලිපිය

Summary

ආර්ථික ප්‍රශ්නය විසඳන්නේ කවුද?
ඇතිවෙලා තියෙන දැවැන්ත ආර්ථික ප්‍රශ්නය පිළිබඳ කතාව සිද්දවෙන්නේ මහ අමුතු විදිහකට. මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොම ද කියලා හිතනවා වෙනුවට, ඒ අනුව හොයාගත්ත විසඳුම් ගැන කියනවා වෙනුවට හුඟක් අය කරන්නේ කාට කාට හරි බැන බැන ඉන්න එක. මේ වෙද්දි අපේ සිරිලංකාවේ ප්‍රධානම දේශපාලන මාතවාදය බවට පත්වෙලා තියෙන්නේ “බැන-බැනවාදය”. මේ බැරි ඇඬියාව ඉක්මවලා හිතන අය ඉතාමත් සීමිතයි. ආණ්ඩුව කරන අය විපක්‍ෂයට බනිනවා. විපක්‍ෂයේ ඉන්න අය ආණ්ඩුවට බනිනවා. මහ ලොකු සිස්ටම් චේන්ජ්කාරයෝ හැමෝට ම බනිනවා. මෙහෙම බැන බැන විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ලෝකයේ නෑ.

ආර්ථික ප්‍රශ්නය විසඳන්නේ කවුද?
ඇතිවෙලා තියෙන දැවැන්ත ආර්ථික ප්‍රශ්නය පිළිබඳ කතාව සිද්දවෙන්නේ මහ අමුතු විදිහකට. මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොම ද කියලා හිතනවා වෙනුවට, ඒ අනුව හොයාගත්ත විසඳුම් ගැන කියනවා වෙනුවට හුඟක් අය කරන්නේ කාට කාට හරි බැන බැන ඉන්න එක. මේ වෙද්දි අපේ සිරිලංකාවේ ප්‍රධානම දේශපාලන මාතවාදය බවට පත්වෙලා තියෙන්නේ “බැන-බැනවාදය”. මේ බැරි ඇඬියාව ඉක්මවලා හිතන අය ඉතාමත් සීමිතයි. ආණ්ඩුව කරන අය විපක්‍ෂයට බනිනවා. විපක්‍ෂයේ ඉන්න අය ආණ්ඩුවට බනිනවා. මහ ලොකු සිස්ටම් චේන්ජ්කාරයෝ හැමෝට ම බනිනවා. මෙහෙම බැන බැන විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ලෝකයේ නෑ.
විදේශ රටවල්වලින් ආධාර ඇරැගෙන අපේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා හිතන අයත් අපි අතර ඉන්නවා. යම් රටකට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ ඒ රට මහ විපත්තියකට මුහුණපෑවාම විතරයි. ඒ කියන්නේ සුනාමියක්, මහ ගංවතුරක්, භූමිකම්පාවක් වගේ මහ ආපදාවක් ඇතිවුණාම, ඒ ආපදාවෙන් ජීවිත මහ ගොඩක් විනාශවෙලා ඒක ජාත්‍යන්තර කම්පනයක් බවට පත්වුණාම වෙනත් රටවල් සහ ජාත්‍යන්තර ආයතන ඉස්සරහට ඇවිල්ලා පීඩාවට පත්වෙච්ච අයට ආධාර උපකාර කරනවා.
එහෙම මිනිස්සුන්ට ආධාර උපකාර කරන අවස්ථා අපේ ගම්වලත් ඇතිවෙනවා. යම් පවුලක අය මහා ව්‍යසනයකට මූණපාලා (කීප දෙනෙක් මැරිලා කියලා හිතමු) පීඩාවට පත්වුණොත් ගමේ මිනිස්සු ඒ පවුලේ අයට උදව් උපකාර කරනවා. සල්ලි මිල මුදල් පවා දෙනවා.
ඒත් අපේ රටේ දැන් ඇතිවෙලා තියෙන්නේ එහෙම ව්‍යසනයක් නෙවෙයි. අපිට අපේ වාහනවලට තෙල් ගහන්න සල්ලි නෑ. ගෑස් ගේන්න සල්ලි නෑ. කලින් ගත්ත ණය ආපහු ගෙවන්න සල්ලි නෑ. මෙහෙම වෙලාවට කවුද අපිට ආධාර දෙන්නේ? ගමේ එකෙක් ඇවිල්ලා කිව්වොත් “මහත්තයා, මට වාහනේට තෙල් ගහන්න සල්ලි නෑ. ආධාරයක් කරන්න පුළුවන් ද?” කියලා, අපි ඒ මනුස්සයාට සල්ලි දෙනවා ද? එහෙම කරන සිරිතක් නෑ. ඉතින් දැන් අපේ රටේ තියෙන්නේ එහෙම තත්ත්වයක්. මේ වෙලාවේ අපිට කවුරුවත් ආධාර කරන්නේ නෑ. ඉතින් ඒ ගැන හීන දකින එක බොරු වැඩක්.
තව සමහරු හිතනවා මේ වෙලාවේ විදේශ රටවල් අපිට ණය දෙයි කියලා. හොඳ සිහිකල්පනාව තියෙන මිනිස්සුන්ට නම් මෙහෙම බලාපොරොත්තු ඇතිවෙන්න විදිහක් නෑ. අපි ලෝකෙට ම ණයවෙලා ඒ ණය ආපහු ගෙවන්න විදිහක් නෑ කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරපු රටක්. ගමේ එකෙක් හතර වටේ ම ණයවෙලා “මම ඒ ණය ආපහු ගෙවන්නේ නෑ” කියලා කිය කියා ඇවිල්ලා අපෙන් ණයක් ඉල්ලුවොත් අපි ඒ මනුස්සයාට ණය දෙනවා ද? දැන් අපේ රටේ තියෙන්නෙත් එහෙම තත්ත්වයක්. මෙහෙම වාතාවරණයක් යටතේ කවුරුවත් අපිට ණය දෙන්නේ නෑ.
මේ වෙලාවේ අපේ රටට ලොකු ආයෝජකයෝ ඇවිල්ලා අපිව ගොඩදායි කියලා හිතන පිරිසකුත් ඉන්නවා. සල්ලි කීයක් හරි විසිකළා ම අපේ මොකක් හරි දේපලක් අල්ලගන්න ඉඩ ලැබෙනවා නම් ඒ වැඩේට ගැලැපෙන ආයෝජකයෝ එන්න බැරිකමක් නෑ. මොකද එහෙම යමක් කුණුකොල්ලයට ගන්න පුළුවන් හොඳ ම අවස්ථාව තමයි මේක.
හැබැයි එහෙම නැතුව යම් කර්මාන්ත වෙනුවෙන් ආයෝජනය කරන අය දැන් පවතින තත්ත්වය යටතේ අපේ රටට එයි ද? විදුලි සැපැයුම ස්ථාවර සහ ප්‍රමාණාත්මක නෑ. රටේ මිල ගණන් වේගයෙන් වෙනස්වෙනවා. මිනිස්සු සාමකාමී නෑ. රට පුරා ම මහ ආරවුල්. සමහරු පෙළපාලි යනවා. තවත් සමහරු පාරවල් හරස් කරගෙන උද්ඝෝෂණය කරනවා. තව සමහරු කැමැති කැමැති වෙලාවට වැඩවර්ජන මෙහෙයවනවා. තව අය බොරු අරගල මෙහෙයවනවා. ආණ්ඩුව දවල්ටත් රෑටත් ව්‍යවස්ථාව රෙපෙයාර් කරනවා. දැන් තියෙන ආණ්ඩුව කොච්චර කාලයක් පවතියි ද කියලා කාටවත් ෂුවර් නෑ. ඊ ළඟට ස්ථාවර ආණ්ඩුවක් ඇති නොවෙන බව හොඳින් ම පේනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් යටතේ එන ආයෝජකයා කවුද?
මහත්වරුනි, තවදුරටත් මේ මහ දවල් හීන සංදර්ශන පවත්වන්න එපා. මහ පොළොවට බහින්න. අපිට වැරැදුණු තැන හොයන්න. මේක සම්පත් නැති රටක් නෙවෙයි. මේක සම්පත් හොයාගෙන පොළොව යට හාරන්න ඕන රටකුත් නෙවෙයි. පොළොව උඩ තියෙන සම්පත්වලින් වුනත් යහමින් යමක් හම්බ කරගන්න අපිට පුළුවන්.
“ඔය කිව්වාට ඕක කරන්නේ කවුද?” කියලා කවුරු හරි අහන්න පුළුවන්. මේක කරන්න නම් පාර්ශ්ව තුනක් සම්බන්ධවෙන්න ඕන. උගත්තු, ජනතා නායකයෝ සහ ජනතාව තමයි මේ පාර්ශ්ව තුන.
උගත්තු නැතුව, අදාළ දැනුම නැතුව මේ ප්‍රශ්නය විසඳන්න තියා ඒ ගැන හිතන්නවත් බෑ. ඒ හින්දා මුල් ම වගකීම පැවැරෙන්නේ උගතුන්ට. එහෙම නැතුව දේශපාලනඥයන්ට නෙවෙයි. දේශපාලනඥයෝ අතර උගත්තු ඉන්න පුළුවන්. හැබැයි එහෙම සිටීම අවශ්‍ය ම නෑ. දේශපාලනඥයෝ අතර මූලිකව ම තියෙන්න ඕන ජනතාවට නායකත්වය දීමේ හැකියාව. මේ ප්‍රශ්නය විසැඳීමට අදාළ දැනුම උගත්තු විසින් ඉතා නිරවුල් විදිහට සමාජගත කරනවා නම් දේශපාලනඥයොත් ජනතාවත් ඒ දැනුමෙන් සන්නද්ධ වෙයි. එහෙම දැනුම ලබාගත්ත දේශපාලනඥයෝ ජනතාවට නායකත්වය දෙයි. ජනතාව වැඩ කරයි.
කවදා හරි අපේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නේ මේ රටේ ජනතාව. උගත්තුන්ගෙන් දැනුම ලබාගත්ත, ඒ වගේ ම, සමාජගත කළ දැනුමට අනුව කටයුතු කරන දේශපාලන නායකත්වයකින් ධෛර්යය සහ විශ්වාසය වර්ධනය කරගත්ත ජනතාවක් විතරයි මේ ප්‍රශ්නය විසඳන්නේ.
මේ ලිපිය ලියන මම උගතෙක් විදිහට සළකනවා වෙන්න පුළුවන්. “එහෙම නම් තමුන්නාන්සේට තියෙන විසඳුම් මොනවා ද?” කියලා කවුරු හරි මගෙන් අහන්න ඉඩ තියෙනවා. ඇත්තෙන්ම මම යම් යම් විසඳුම් ගැන හිතලා තියෙනවා. ඒවා කියලත් තියෙනවා. ඒ වගේ ම, ඒ දැනුම වඩාත් පුළුල් විදිහට සමාජගත කරන්නත් මම උත්සාහ කරනවා. ඉදිරි ලිපියකින් හෝ දෙකකින් මම ඒ විසඳුම් ගැන කියන්නම්.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.