Opinion

අධ්‍යාපන බලධාරීන්ට ප්‍රශ්න පත්‍රයක්…

Summary

හුදකලා පාසල්වල හෝ තනි තනි ගුරුවරුන්ගේ හැකියාව හෝ දක්ෂකම මත රටේ අධ්‍යාපනයට යන්නට ඉඩදීම අනාගත පරපුරට අප කරන ඵෙතිහාසික වැරැද්දක් වීමට ඉඩ ඇත.

කොවිඩ් හේතුවෙන් ලංකාවේ පාසල් වසා දැන් අවුරුද්දකටත් වැඩිය…විටින් විට සුලු කාලසීමාවකට පාසල් විවෘත වූ මුත් ඒ දෙය පිළිවෙළකට වූයේ නැත…විශේෂයෙන්ම බස්නාහිර පලාතේ තත්ත්වය ශෝචනීයය…
අදටත් පාසල් වහලාය… කවදා විවෘත කරයිදැයි කාටවත් අදහසක් නැත…ලෝකයේ බොහෝ රටවල ලොක්ඩවුන් වලදී පාසල් විවෘතය…ඒත් අපේ ඒකේ අනික් පැත්තය…අපි ඉස්සෙල්ලාම කරන්නේ පාසල් වහන එකය…
ළමුන්ට කොවිඩ්වලින් ඇත්තේ අවම අවදානමක් වුනත් අපි තීරණ ගන්නේ විද්‍යාව මත පිහිටා නොව හැඟීම් මත නිසා අප කරන්නේ පාසල් වසා දමා ඇඟ බේරා ගන්නා එකය…දරුවන්⁣ට උදව් කරන නියායෙන් විභාගද කල් දමනු ලැබෙයි…
ඊට පස්සේ ගුරුවරුන්ට ඔන්ලයින් උගන්වන ලෙස කියා අත පිස දා ගනු ලැබෙයි…
මේ රටේ අධ්‍යාපන බලධාරීන්ගෙන් මට අහන්නට ප්‍රශ්න කීපයක් ඇත…

  1. මේ ඔන්ලයින් ඉගැන්වීම ගැන ඔබ පසුවිපරමක් කර බැලුවාද?
  2. ලංකාවේ ස්මාට් දුරකතන හිමි දෙමාපියන් ප්‍රමාණය ගැන ඔබ සමීක්ෂණයක් කර තිබෙනවාද?
  3. ස්මාට් දුරකථනයක් හිමි දෙමාපියන්ට ඩේටා පහසුකම් ලබාගැනීමට ඇති හැකියාව ගැන ඔබ හොයා බැලුවාද?
  4. ඩේටා ගන්නට මුදල් තිබුණත් මේ රටේ ඈත පිටිසර ගම්වලට Signal තිබේදැයි ඔබ සොයා බැලුවාද?
  5. බොහෝ කුටුම්භ වල ආර්ථිකය පසුබෑමකට ලක්වී ඇති මේ මොහොතේ ඔන්ලයින් ⁣පංති සඳහා නිදහස් ඩේටා හෝ වයිෆයි ලබාදීමට ඇති හැකියාව ගැන ඔබ සොයා බැලුවාද ?
  6. ඔන්ලයින් ඉගැන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට ලබා දී ඇති පහසුකම් ඉගෙනුම් ආධාරක හෝ සෙසු පහසුකම් මොනවාද?
  7. අවුරුද්දක් ඔන්ලයින් ඉගැන්වීමෙන් එහි ප්‍රගතිය ගැන ඔබේ සොයා බැලීම කෙසේද?
  8. මුලු රටම උදේ වරුවේ පංතිකාමරයක් බවට පත්කොට වඩා සුලබ ලාභදායී ක්‍රමය වන රෑපවාහිනිය හරහා ඉගැන්වීමට ඇති හැකියාව ගැන ඔබ සොයා බැලුවාද?
  9. අක්‍රමවත් ඔන්ලයින් අධ්‍යාපනය හරහා ළමයින්ට සිදුවිය හැකි මානසික බලපෑම් ගැන ඔබට ඇති තක්සේරුව කුමක්ද?
  10. මේ ප්‍රශ්නය තව සෑහෙන කාලයක් යන්නට ඇතිමුත් ළමයින්ට ඇති අවදානමේ අඩුකම සලකා පාසල් විවෘත කරගන්නට ඔබට නිර්මාණශීලී ප්‍රවේශයක් තිබේද?

ආදරණීය මිත්‍රවරුනි,

අප හැම දෙනාගේම නියාලු නිහඬ බව මෙයට සාධාරණයක් කරගන්නට උදව්වක් වන්නේ නැත….

හුදකලා පාසල්වල හෝ තනි තනි ගුරුවරුන්ගේ හැකියාව හෝ දක්ෂකම මත රටේ අධ්‍යාපනයට යන්නට ඉඩදීම අනාගත පරපුරට අප කරන ඵෙතිහාසික වැරැද්දක් වීමට ඉඩ ඇත. ඇත්තම කතාව උස් පහත් භේදයක් නැතුව ලංකාවේ පාසල් ළමුන්ගේ තත්ත්වය ශෝචනීයය…

මේ සඳහා අප ශක්ති ප්‍රමාණයෙන් සටනක් කළ යුතුය…ඒ සඳහා ඔබේ අත්දැකීම් ද හැකියාවන්ද එකතුකොට මේ සඳහා නිර්මාණශීලී විසඳුමක් හදන්නට බලධාරීන් පෙළඹවිය යුතුය…

අපට එකතුව මේ ගැන හඬක් නැගිය හැකිනම් ඒ බලධාරීන්ගේ ඇස් ඇරවිය හැකි බව මම විශ්වාස කරමි…දරැවන්ගේ නාමයෙන් අප එය කළ යුතුය…⁣මෙහෙම යන්නට ඉඩ දී නිහඬව සිටීම අප දරු පරම්පරාවට කරනා මහා වැරැද්දක් වීමට ඉඩ ඇති බව ලියා නවතිමි…

ප.ලි – පුද්ගලිකව මගේ දරුවන්ට ප්‍රශ්නයක් නැති වුවද අවට ලෝකය ගරන ඇස් ඇරගෙන සිටින නිසා මේ ප්‍රශ්නය විසඳාගත යුතුයැයි සිතමි…
ඒ නිසා මේ පෝස්ටුවට ඔබේ අදහස්ද එකතු කර හැකිතරම් ෂෙයා කොට බලධාරීන්ගේ අවධානය දිනා ගනිමු.

Leave a Reply

Your email address will not be published.