Opinion

අධික දේශප්‍රේමය යනු අසරණ කමේ සංඛේතයකි

Summary

මනුෂ්‍ය ජීවිතයේ සියලු දේම තාර්කික නැත. හේතු යුක්ත නැත. අර්ථදැක්වියහැකි සුළු නැත. එසේ විය යුතුද නැත. දේශප්‍රේමය යන්නද එවැනි තාර්කික නොවන දෙයක් වන අතර එය එසේ තාර්කික විය යුතු යයි නියමයක්ද නැත.

  • Save

යම් ජාතියකට අයත් ජනයා   ඕනාවට වඩා තමන්ගේ ඉතිහාසය ගැන පාරම්බානේද, ඔවුහු නියත වශයෙන්ම මෑත අතීතයේදී, එනම් තවමත් හොඳ හැටි මතක තිබෙන අතීතය තුලදී  අතිශය බැරෑරුම් ක්ෂතිමය අත්දැකීමකට මුහුණ දී තිබෙන බව පහසුවෙන් යෝජනා කල හැකිය . යම් පරාජයකට පසුව , එසේත් නැතහොත්  මර්ධනයකට පසුව  පැන නගින  එන ක්ෂතියකින් ගැලවීම පිණිස මනුෂ්‍යා තුල විවිධාකාර ප්‍රතික්‍රියා හටගැනීම ස්වාභාවිකය. මෙවැනි ප්‍රතික්‍රියා තනි තනි මනුෂ්‍යන් තුල පමණක් නොව සමස්ථ සමාජයක් තුලද හටගැනීමට හැකියාව තිබේ. පමණට වඩා අතීතය ගැන ආඩම්බර වීම, බොහෝ විට මේ ආඩම්බරය අතිශෝක්ති සහගත  සහ මිථ්‍යාමතික කලාපයන් තුල ස්ථානගත වීම  ආදිය මෙවැනි අවස්ථාවන්හිදී සුලභව දක්නට හැකිය. කිසිදු විෂයය ශික්ෂණයකට , විද්‍යාවකට, හැදෑරීමේ විනයකට අයත් නොවන රාවනා පුරාවෘත්තය වැනි දෑ මේ අනුව අප තේරුම් ගත යුත්තේ ඓතිහාසික යුගයට කලින් සිටි මහා බලසම්පන්න නරපතියකුගේ විස්තර ලෙස නොව , මීට සියවස් කිහිපයකට කලින් අප ජාතියක් ලෙස  මුහුණ දුන් කුරිරු වේදනාත්මක අත්දැකීමක පෑරුම් සහිත මතකයක් ලෙසටය. රාවණා යනුවෙන් වන ප්‍රභල අතීත මතකයක් ලංකාවේ පමණක් නොව මුළු දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේම තිබෙන බව සැබෑවකි. නමුත් ඒ දෙස බැලිය යුතු නිවැරදි ක්‍රමය නම් අපගේ සාධක සහිත සත්‍ය ඉතිහාසය යටපත් කෙරෙන මිථ්‍යා කලාපයකට ගොනු වීම නොව මේ ප්‍රභල මතකය හටගැනීමට තුඩු දුන් මානව විද්‍යාත්මක හේතු කවරේද යන්න අන්වේෂණය කොට  අධ්‍යනය කිරීමයි.

දේශප්‍රේමය යනු දෙපැත්ත කැපෙන කඩුවකි. නියමිත මාත්‍රාවට ගත යුතු සූක්ෂම ඖෂධයකි. තමන් උපන් භූමියට අනුබද්ධව යම් ප්‍රේමයක් හටනොගන්නා ජනකොටසක් මෙලොව කොතනකවත් නැත. මෙලොව සිටින සියලු දෙනා තමන් උපන් රටට ආදරය කරන්නේ තාර්කික නිගමනයකින් එළැඹි තීන්දුවක් අනුව නොව ,  හුදෙක්ම තමන්ගේ රට වීම යන කාරණය මත පිහිටාය. මනුෂ්‍ය ජීවිතයේ සියලු දේම තාර්කික නැත. හේතු යුක්ත නැත. අර්ථදැක්වියහැකි  සුළු නැත. එසේ විය යුතුද  නැත. දේශප්‍රේමය යන්නද එවැනි තාර්කික නොවන දෙයක් වන අතර එය එසේ තාර්කික විය යුතු යයි නියමයක්ද නැත. නමුත් දේශප්‍රේමයේ සීමා මායිම් පිලිබඳ සෑම විදග්ධ දේශප්‍රේමියකුටමැ  අවබෝධයක් තිබිය යුතුය. පමණ ඉක්මවූ දේශප්‍රේමය දේශයට උදා කරන්නේ යහපතට වඩා අයහපතකි . කෙනෙකුට  තමන්ගේ රටට ආදරය කිරීමට එම රට ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට විය යුතු නැත. නැතහොත් එය ලොව ලස්සනම රට විය යුතුද නැත. නමුත් එය එසේ විය යුතු යයි අවිඥ්ඥාණිකව සිතන අයකු කරන්නේ මනෝ ප්‍රබන්ධ තුලින් එම ශ්‍රේෂ්ඨත්වය ලඟා කරගැනීමට උත්සාහ කිරීමය. මෙය තමුන්ගේ විචාර බුද්ධිය අහිමි  කරවන , එමෙන්ම  දිනෙන් දින වෙනස් වන ලෝකයා දෙසට ඇරුණු , එම ලෝක ගතිකයන් ග්‍රහණය කරගැනීමට සමත්  විවෘත මනසට බාධා කරවන්නකි. මෙවැනි පුද්ගලයන්ගෙන් සැදුනු ජාතියකට තමන්ගේම මනෝ  ලෝක වල  තනි වුනු ප්‍රබන්ධමය පැවැත්මක් මිස  වෙනකක් උරුම නැත.

මෙවැනි ප්‍රබන්ධමය පැවැත්මක් මගින් දේශයේ සැබෑ පැවැත්මට මෙන්ම එහි අනාගතයටද   ඇති කරන්නේ අනර්ථයකි. මෙවනි පැවැත්මක් බලාත්මකව පවතින ජාතියක් කෙරෙන්  විචක්චණශීලී ලෙස ලෝකයා දෙස බැලීමේ හැකියාව වියැකී යයි. එවැනි ජාතියක් පළමු කොටම ඉතාම පටු කොන්දේසි  යටතේ “ තමන් “ සහ “අනෙකා “ ලෙස සමස්ථ වටපිටාව බෙදා වෙනකොට අර්ථ දක්වා ගන්නා අතර එවැනිම පටු කොන්දේසි වලට යටත්ව අනෙකා වෙතින් එන්නෙ යයි විශ්වාස කරන දේ ප්‍රතික්ෂේප කරන්නට පෙළඹේ. ශිෂ්ඨාචාරගත වූ කිසිම ජන ප්‍රජාවක් කිසිම දිනෙක හුදකලාවේ නොසිටි බවත් ලෝකය යනු සංස්කෘතික සීමා මායිම් බොඳ වුනු , ඒවා අතිශයින්ම එකිනෙක අතිපිහිතව පිහිටා තිබෙන තැනක් බවට වූ සරල දැනුම සහ ප්‍රත්‍යක්ෂය ඔවුන්ගෙන් ගිලිහි යයි. මෙයින් පසුව ඔවුනට තමන් “පිඔටස්තරයා” යයි හඳුන්වනු ලබන දෙයෙහි ඕනෑම මට්ටමක සංඛේතයක් පෙනෙන්නට පටන් ගන්නෙ කුමන්ත්‍රණකාරී අනතුරක් ලෙසටය. යම් රටක් කෙරේ බලපවත්වන විදේශ කුමන්ත්‍රණ ප්‍රමාණය එම රටේ සාමාන්‍ය ජනයා කොතරම් දුරකට ප්‍රදර්ශණකාමී ලෙස දේශප්‍රේමීද යන්නට අනුලෝමව සමානුපාතික වන්නේ මෙවැනි විටකදීය. එමෙන්ම මේ දෙකම එම රට මෑත අතීතය තුලදී මොනතරම් කටුක අත්දැකීම් වලට මුහුණ දි තිබෙන්නේද යන්නටත් සමානුපාතික වේ.

මට ලංකාව පෙනෙන්නෙ මෙවැනි රටක් ලෙසය. ඒ මට දරාගත නොහැකි වේදනාවක් වුවද මෙවැනි යුගයක ඒ වෙනුවෙන් කල හැක්කක් තිබෙන බවක්ද මට නොපෙනේ . ලංකාවේ දේශප්‍රේමය , ජාතිකවාදය හෝ වෙනත් එවැනි පන්නයේ ඕනෑම අදහසක් මේ මොහොතේ භාවිත වෙමින් තිබෙන්නේ අන්තිම තක්කඩි, අවස්ථාවාදී මෙන්ම මුග්ධ විලාසයකට අනුවය. මෙහි වන්දිය ගෙවිය යුතුව තිබෙන්නේත් අපේ ජාතියම ය. ඒ සඳහා ලොකු කුඩා උදාහරණ සිය ගණනක් පෙන්විය හැකිය. ඉදිරි ලිපි වලින් ඒවායින් සමහරක් විමර්ශණය කරන්නට උත්සාහ කරමි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap