COLUMN

අන්ධයන්ට සහතිකයක්

Summary

විශ්වවිද්‍යාලවලට තේරෙන ළමයින්ගෙන් බහුතරයක් හුඟක් දක්ෂ අය. සැළැකිය යුතු ගිරව් ප්‍රමාණයකටත් ඒ චාන්ස් එක ලැබෙනවා. මේ අය අන්ධයන් බවට පත්කිරීමේ කාර්යය විශ්වවිද්‍යාලවලින් සිද්දවෙනවා. අඩු දැනුමක් තුළින් හැම දෙයක් ම විවේචනය කරන්න පුරුදුකරන එක තමයි මේ හපන්කමෙන් කෙරෙන්නේ. ඒ සඳහා මුලින් […]

විශ්වවිද්‍යාලවලට තේරෙන ළමයින්ගෙන් බහුතරයක් හුඟක් දක්ෂ අය. සැළැකිය යුතු ගිරව් ප්‍රමාණයකටත් ඒ චාන්ස් එක ලැබෙනවා. මේ අය අන්ධයන් බවට පත්කිරීමේ කාර්යය විශ්වවිද්‍යාලවලින් සිද්දවෙනවා.
අඩු දැනුමක් තුළින් හැම දෙයක් ම විවේචනය කරන්න පුරුදුකරන එක තමයි මේ හපන්කමෙන් කෙරෙන්නේ. ඒ සඳහා මුලින් ම කරන්නේ “විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ මහා සුපිරි පොරවල් ටිකක්” කියලා උස්සලා තියන එක. මේ ගුලිය ගිල්ලවපු ගමන් ඒ ළමයි ටික අන්ධයන් බවට පත්වීමේ මූලික සුදුසුකම සපුරාගන්නවා.
විශ්වවිද්‍යාලවල මහ ලොකු දෙයක් උගන්නන්නේ නෑ. හුඟක් ගුරුවරු කරන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන පරණ සටහන් කියවන එක. ඒවා ලියලා තියෙන්නේ ඒ ගුරුවරුන්ගේ ගුරුවරුන්ගෙත් ගුරුවරු.
මේ සටහන් කියවනවා අහන්න අනිවාර්යයෙන් ම යන්න ඕන. පැමිණීම සීයට අසූවක් නැතිනම් විභාග ලියන්න දෙන්නේ නෑ. ඉතින් පැමිණීමේ ලේඛනවල හොරට හරි අත්සන් ගහන්න ළමයි පෙළැඹෙනවා.
සටහනක් ලියාගන්න බැරි වුනත් බයවෙන්න ඕන නෑ. කලින් අවුරුද්දක කෙනෙක්ගෙන් වුනත් ඒක හොයාගන්න පුළුවන්. හුඟක් ගුරුවරුන්ගේ සටහන් කවදාවත් වෙනස්වෙන්නේ නෑ. (අපිට උගන්නපු අය අතරින් නලින් ද සිල්වා ගුරුතුමා සටහනක් ඇරගෙන ඇවිල්ලා නෙවෙයි ඉගැන්නුවේ. අබේසිංහ සර් හැම අවුරුද්දේ ම අලුත් සටහන් පොතක් ලිව්වා. නලින් සර් විශ්වවිද්‍යාලයෙන් අස්කළා. මුල දී කෝටිපතියෙක් වෙච්ච අබේසිංහ සර් දුප්පතෙක් විදිහට මියගියා. අපිට උගන්නපු සටහන් පප්පෙක් දවසින් දවස ඉහළට ගිහිල්ලා, දේශපාලන සම්බන්ධකම් හරහා ලොකු ලොකු තනතුරුත් දරලා අදටත් යහතින් වැජඹෙනවා).
මුලින් ම උඩ දාලා, දැනුමක් නැතුව විචාරයට පුරුදු කරන ළමයි පුළුවන් තරමින් විවිධාකාර විදිහට ආතල් ඇරගෙන පරිපූර්ණ අන්ධයෝ විදිහට සමාජයට එකතුවෙනවා. මේ අන්ධ බව තහවුරු කරලා සමාජයට තල්ලුකරලා දාන්න ලොකු උත්සවයකුත් තියෙනවා. ඊයේ පෙරේදා අපි ඒ වගේ නාඩගමක් දැක්කා.
අපේ විශ්වවිද්‍යාලවල තියෙන මේ අන්ධ බව තහවුරු කරන හොඳ ම සාක්කියක් තමයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ පිළිබඳ කාරණය.
මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට සමාජ අත්දැකීම් මහ ගොඩක් තියෙන බවට සැකයක් නෑ. උන්වහන්සේ මුලින් ම හෙද වෘත්තීය සමිතියේ සභාපති තනතුරට පත්වෙලා තියෙන්නේ 1969 අවුරුද්දේ. ඉතින් මේ විෂයය පිළිබඳ උන්වහන්සේගේ සමාජ අත්දැකීම් සහ ආශ්‍රිත දැනුම අවුරුදු පනස් දෙකක් පුරාවට පැතිරිලා තියෙනවා. ඊට අමතරව උන්වහන්සේ ලබපු සමාජ – දේශපාලනික අත්දැකීම් මහ ගොඩකුත් තියෙනවා.
ඇස් පේන පර්යේෂකයෝ ඉන්න විශ්වවිද්‍යාලයක් මෙහෙම මානව සම්පතක් දිහා බලන්නේ මහා පෙරේතකමකින්. උන්වහන්සේගේ දැනුම සහ අත්දැකීම් විමර්ශනයට ලක් කරලා ආචාර්ය උපාධි පර්යේෂණ කීපයක් වුනත් කරන්න පුළුවන් කියලා එහෙම අය දන්නවා.
ඒත් අන්ධයන්ට එහෙම සම්පතක් පේන්නේ නෑ. උන් බලන්නේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ටත් හිස් බම්බුවක් ලැබිලා තියෙනවා ද නැද්ද වගේ කාරණා. මොන දැනුමටත් වඩා බම්බුව බලවත් කියලා මේ අන්ධයෝ හිතනවා.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ උසස් පෙළ විභාගය විතරක් පාස් කරපු දැනුමෙන් සහ අත්දැකීම්වලින් දුප්පත් ළමයි ටිකක්. බම්බුව ඇරගෙන එළියට ආවට පස්සේ තමයි ඒ අය නියම විශ්වවිද්‍යාලයට ඇතුල්වෙන්නේ. ඊට පස්සේ රස්සාවක් හොයාගන්න ඕන. කසාදයක් කරගන්න ඕන. ළමයි හදන්න ඕන. දෙමව්පියෝ වයසට ගිහිල්ලා ජරාවට පත්වෙද්දී ඒ ප්‍රශ්නවලට මූණදෙන්න ඕන. ඉතින් වයස අවුරුදු හතළිහක්වත් වුනාම තමයි මනුස්සයෙක්ට යමක් කමක් තේරෙන්න පටන්ගන්නේ.
අර ගුරාලා කවදාවත් මේ පාඩම කියලා දෙන්නේ නෑ. ඉතින් සහතික ගත්ත අන්ධයෝ ටිකක් සමාජයට එකතුවෙනවා. එච්චරයි.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.