Opinion

අපට ඕනෑ බලතණ්හාව නැති නායකයන් නෙමෙයි දරු ස්නේහය නැති නායකයන්

Summary

‘අපේ තාත්තලා මහන්සි වුණේ අපි වෙනුවෙන් නැති අනාගතයක් හදන්න. අපි මහන්සි වෙන්නෙ අපේ දරුවන් වෙනුවෙන් නැති අනාගතයක් හදන්න”

  • Save

සුබෝධ විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව

‘අපි මහන්සි වෙන්නෙ අපි වෙනුවෙන් නෙමෙයි අපේ දරුවන් වෙනුවෙන්”

කොම්පියුටරයෙන් ලිපියක් පරිවර්තනය කරන අතර ජයවීර සිතන්නට වූවේය.

‘අපේ තාත්තලා මහන්සි වුණේ අපි වෙනුවෙන් නැති අනාගතයක් හදන්න. අපි මහන්සි වෙන්නෙ අපේ දරුවන් වෙනුවෙන් නැති අනාගතයක් හදන්න”

පරිවර්තනය පරිගණකය මත සිදුවන මුත් ඔහුගේ සිත වෙන අතකය.

‘ඇත්තටම බූරුවා තර්කානුකූලයි. බුද්ධිමත්. අඩුම ගානේ බූරුව දුවන්නෙ පේන කැරට් අලයක් පස්සෙ. ඒත් මිනිස්සු දුවන්නෙ නැති අනාගතයක් පස්සෙ”

පරිගණකයේ යතුරු අතර ඔහුගේ ඇගිලි වේගයෙන් දුවන අතර ඔහුගේ සිත වෙනත් සිතිවිලි අතර වේගයෙන් සැරිසරයි.

‘අපේ දරුවො නැති අනාගතයක් පස්සෙ දුවනවා. දරුවන්ට ඒ නැති අනාගතේ හදලා දෙන්න අපි නොවිදිනා දුක් විදිනවා” පරිගණකයේ යතුරු අතර අතරංමංවී ඇත්තේ ජයගවීරගේ ඇගිලි ද නැතිනම් ජයවීරගේ සිත ද යන්න ජයවීරට සිතාගත නොහැකි විය. අහසට නගින්නට පැමිණි සිතක් යතුරු පුවරුවක උඩින් වන අඟලක් පමණ වන අහසක සැරිසරන බව ජයවීරට අවබෝධ විය. අනන්ත ලෝකයක සැරිසරන්නට ළමා වියේ සිතූ තමාගේ මුළු ජීවිතයම දිගින් අඩියයි අගල් දෙක තුනක් හා පළලින් අගල් පහක් හයක් පමණ වන කොම්පියුටර් යතුරු පුවරුවක වපසරියට සීමා වී ඇත. තම දරුවන් උරුම කරගන්නට වෙර දරන්නේ ද මෙවන් ඉරණමක් ම බව ජයවීරට වැටහිණි. ඒ සමගම තමන් මේ සියලු දුක් විදින්නේ තමන්ගේ දරුවන්ට ඒ ලෝකය උරුම කරදීමට බව ද ජයවීරට සිතිණි. 

තමන් ඇගිලිවලින් පමණක් සිතන අයෙකු බවට පත්වී ඇති බව ද හිස හා හදවතට වඩා ඇගිලි ප්‍රධාන වී ඇති බව ද ජයවීරට කියා දුන්නේ කොම්පියුටරය මත දුවන ඔහුගේ ඇගිලිමය.

‘එදා අපි පොඩි කාලෙ අපි දැක්ක දේවල් ඔක්කොම බොරු. ඒත් අපි ඒ බොරු ඉලක්ක කරගෙන ජීවත් වුණා. අද අපේ දරුවො දකින ඔක්කොම දේවල් බොරු. අපේ දරුවො ඒ බොරු ඉලක්ක කරගෙන ජීවත් වෙනවා.”

යතුරු පුවරුවෙන් නැගෙන සද්දය ජයවීරගේ සිතිවිලි නැටුමට ගැලපෙන එකම ඒකාකාරී බෙර සංගීතය විය හැකිය.

‘මොන සංගීතෙ තිබ්බත් අපේ ජීවිතේ නටන්නෙ කොම්පියුටරේ යතුරු පුවරුවෙ සංගීතෙට. අනිත් සංගීත ඔක්කොම බොරැ”

මෙසේ ජයවීරට කීවේ ද යතුරු පුවරුව මත නටන ජයවීරගේ ඇගිලිමය.

‘අපේ හිතේ තිබුණු බොරු සැබෑ කරන්න අපේ අම්මලා තාත්තලා වින්ද දුක් කොච්චර ද? අපේ දරුවන්ගේ බොරු සිහින සැබෑකරන්න අපි විදින දුක කොතරම් ද? මේ වෙහෙසෙන්නෙ අපේ දරුවන්ගෙ ජීවිත සැපවත් කරන්න නෙමෙයි නේද?”

යතුරු පුවරැවට එරෙහිව යන්නට ජයවීරගේ සිත වලිකයි. කෙසේවුවත් ජයවීරගේ සිතට නවතින්නට යතුරු පුවරුව හැර වෙනත් තැනක් නැත. පතාගෙන ආ ගමන ජයවීර පැමිණ තිබේ. දරුවන් පතාගෙන යන එවන් ගමනකට පාර හැදීම තමන් විසින් ද කරනු ලබන කාර්යයයි.

මේ අතර ඔහුට සිතුණේ මුදල් ලෝභය, ස්ත්‍රී ලෝලය ආදී ක්ලේෂයන්ට ද වඩා දරු ස්නේහය ඉතා ප්‍රබල හා අහිතකර ක්ලේශයක් විය හැකි බවයි.  එහෙත් අනිත් දේ ක්ලේෂ වශයෙන් සැලකුවත් අප විසින් දරු ස්නේහය ක්ලේෂයක් වශයෙන් සලකනු නොලබයි. ඒ නිසාම එය අනිත් ක්ලේෂයන්ට ද වඩා කුරිරැ ලෙස අපට බලපාන්නේ ද?

ඒ ක්ලේෂයෙන් තමන්ට හෝ දරුවන්ට වන වැඩක් තිබේද? යම් ක්ලේෂයක් ප්‍රබල වන තරමට ඉන් සිදුවන හානිය ද ප්‍රබල වේ. සමහර ක්ලේෂ අනෙක් ක්ලේෂයන්ට වඩා ප්‍රබලය. දරු ස්නේහය එවැන්නකි.

කෙලෙස්වලින් තොරව දරුවන්ටත් ලෝකයටත් ආදරය කරන්නේ කෙසේද?

යතුරු පුවරුව මත දුවන ඇගිලි නැවතිණි. මනුස්සයෙකුට මේ ජීවිතයෙන් අනෙක් ජීවිතයට රැගෙන යාමට හැකි දෙයක් ඇත්නම් ඒ සතුට පමණි. ඒ නිසාම ජීවිතය තුළ රැස්කළ ගොඩගැසිය යුතු එකම දේ ද සතුට පමණි. පින යනු ද සතුටට තවත් නමකි. දරැවන්ට නැති අනාගතයක් නොව සතුට දායාද කරන්නේ කෙසේද?

දාර්ශනික වශයෙන් හා සිතිවිලි වශයෙන් එසේ සිතුවත් තමාට එය කිසිදාක ප්‍රායෝගිකව සිදුකරන්නට හැකි වේද? තමන්වත් හිමිකරනොගන්නා සතුට තමන් දරුවන්ට හිමිකර දෙන්නේ කෙසේද? යළිත් යතුරු පුවරුව ක්‍රියාත්මක විය. සිත නැවතිණි.

යතුරු පුවරුව හා සිත අතර පවතින ගැටුම හා තරගය මත ජීවිතයේ සතුට හා ඉරණම රැදී පවතියි. අවසාන වශයෙන් ජයවීර  සිතාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap