Editorial

“අපරාධය සහ දඬුවම” — මහර

Summary

මේ හැම දෙයකටම වගකියන්න සිදු වෙන අය වහා නම් කරනු! එයාලට දෙන දඬුවම ප්‍රසිද්ධ කරනු! නැවතත් මෙවන් ඛේදවාචක ඇති නොවන ලෙස ගන්න හෝ දැනටමත් ගෙන ඇති තීන්දු මොනවාදැයි ජනතාවට කියනු!

අද මෙය කියවන ඔබ සිරකරුවකු නොවේ. හෙට සිරකරුවකු විය හැක. මියගිය සිරකරුවන්ගේ ඉරණම ඔබේ ඉරණම විය හැකිය. සිරගත වී ඇති සියලු දෙනා මරණ දඬුවමට නියම වුවන් නොවේ. මරණ දඬුවම නියම වූ සිරකරුවන්ද වෙඩි පහරට ලක් කිරීමට කිසිම උසාවියක් තීන්දු කර නැත.

අවසානයේ මහර බන්ධනාගාරයේ  11 දෙනෙක් ඝාතනය විය. අමතරව 100කට අධික පිරිසකට තුවාල. ආණ්ඩුවට රතු ලෙයින් වටවී ඇති දැවැන්ත කළු පැල්ලමක්.

ආණ්ඩුව වගකීම බාරගැනීම  හොඳ තත්ත්වයක්. සමහරවිට මෙවැනි තත්ත්වයන් ඇතිවන එක වලක්වන්න ආණ්ඩුව කටයුතු කරනු ඇත. එසේ කාටයුතු නොකර සිටීමටත් ඉඩ ඇති බව අමතක නොකරමු.

නොසන්සුන් තත්ත්වයක් ඇතිවුනේ කෙසේද? නොසන්සුන් තත්ත්වය ගැටුමක් දක්වා පෙරලුනේ කෙසේද? ගැටුම ඝාතන දක්වා විකාශනය වුනේ කෙසේද? මේ එක් එක් අවස්ථාවලදී තීන්දු තීරණ ගත්තේ කවුද? වෙඩි තැබීමෙන් මෙහා යමක් කරන්න තිබුනේ නැද්ද? මැරෙන්නම වෙඩි තියන්න අවශ්‍යමද?

මැරුණේ කුඩුකාරයින්ද, මත්ද්‍රව්‍ය වලට අදාළ වැරදිකරුවන්ද කියන එක වෙනම දෙයකි. වරද කුමක් වුවත් සිරකරුවන් මරන්න කාටවත් වරමක් ලැබී නැත. ඇතිවුන අර්බුදකාරී තත්ත්වය තුල සිරකරුවන් හැසිරුනේ කෙසේද කියන එක අදාළ වුනත්, ඒ අදාළ වන්නේ සිද්ධිය තේරුම් ගැනීමට මිස ඝාතනය සාධාරණය කිරීමට නොවේ.

නැවත අප ආණ්ඩුවෙන් සහ මේ සිද්ධිය පිලිබඳ පරීක්ෂණ කරන සියලු පාර්ශවයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ඉහත ප්‍රශ්නවලට උත්තර සපයන ලෙසයි. නැවත අසා සිටින්නේ එයමයි:

නොසන්සුන් තත්ත්වයක් ඇතිවුනේ කෙසේද? නොසන්සුන් තත්ත්වය ගැටුමක් දක්වා පෙරලුනේ කෙසේද? ගැටුම ඝාතන දක්වා විකාශනය වුනේ කෙසේද? මේ එක් එක් අවස්ථාවලදී තීන්දු තීරණ ගත්තේ කවුද? වෙඩි තැබීමෙන් මෙහා යමක් කරන්න තිබුනේ නැද්ද? මැරෙන්නම වෙඩි තියන්න අවශ්‍යමද?

මේ හැම දෙයකටම වගකියන්න සිදු වෙන අය වහා නම් කරනු! එයාලට දෙන දඬුවම ප්‍රසිද්ධ කරනු! නැවතත් මෙවන් ඛේදවාචක ඇති නොවන ලෙස ගන්න හෝ දැනටමත් ගෙන ඇති තීන්දු මොනවාදැයි ජනතාවට කියනු!

ආණ්ඩුවට අප කියා සිටින්නේ මෙයයි.  

නැවත කියා සිටිමු: ‘අද මෙය කියවන ඔබ සිරකරුවකු නොවේ. හෙට සිරකරුවකු විය හැක. මියගිය සිරකරුවන්ගේ ඉරණම ඔබේ ඉරණම විය හැකිය. සිරගත වී ඇති සියලු දෙනා මරණ දඬුවමට නියම වුවන් නොවේ. මරණ දඬුවම නියම වූ සිරකරුවන්ද වෙඩි පහරට ලක් කිරීමට කිසිම උසාවියක් තීන්දු කර නැත.’

Leave a Reply

Your email address will not be published.