Opinion

අපි අම්මා කියන්නේ කාට ද?

Summary

දේශපාලනඥයා ගැනයි භාෂාවට අදාළ කාරණය ගැනයි හිතද්දි මොළයේ වැඩ කරන තැන චීන – බටහිර කියලා වෙනසක් තිබුණේ නෑ. ඒත් “තමන්” ගැනයි “අම්මා” ගැනයි හිතද්දි පර්යේෂකයෝ අපූරු වෙනසක් දැක්කා.

මම ආචාර්ය උපාධියට ඉගෙනගන්න කාලේ සංස්කෘතික ප්‍රජානනය (Cultural cognition), සංස්කෘතික ස්නායුවේදය (Cultural neuroscience) ආශ්‍රිත විෂයය කරුණු ඇතුළත් පොත් කිහිපයකුත් පර්යේෂණ පත්‍රිකා ගණනාවකුත් කියෙව්වා. ඒවා අතරින් මට අමතක කරන්න අමාරු පර්යේෂණ පත්‍රිකාවක් තියෙනවා.

ඒ පර්යේෂණ පත්‍රිකාව නම් කරලා තියෙන්නේ “Neural basis of cultural influence on self-representation” කියලා. “ස්වයං-නිරූපණය කෙරෙහි සංස්කෘතික පෙළඹවීමේ ස්නායුමය පදනම” වගේ අදහසක් ලැබෙන විදිහට මේ මාතෘකාව සිංහලෙන් කියන්න පුළුවන්. මේ පර්යේෂණ පත්‍රිකාව පළ කරලා තිබුණේ NeuroImage කියන පර්යේෂණ සඟරාවේ 2007 අවුරුද්දේ නිකුත් කරපු කලාපයක.

ඒ පර්යේෂණ ලිපියේ තිබුණු හැම කාරණයක් ම මුහුණු පොතේ ලියන මේ වගේ කුඩා ලිපියකින් විස්තර කරන්න අමාරුයි. ඒත් පර්යේෂණයේ සාරය මම මේ විදිහට කියන්නම්.අපි එක එක දේවල් ගැන හිතද්දි මොළයේ යම් යම් ප්‍රදේශ උත්තේජනය වෙනවා කියලා ස්නායුවේදයේ කෙළ පැමිණිය අය නිරීක්‍ෂණය කරලා තියෙනවා. මේ පර්යේෂණයෙන් හොයලා තිබුණේ “තමන්” ගැනයි, “අනුන්” ගැනයි හිතද්දි සිද්දවෙන දේවල් ගැන.

පිරිමි අටයි, ගැහැණු පහයි කියන විදිහට චීන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 13 දෙනකුත්, ඒ විදිහට ම තෝරගත්ත බටහිර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 13 දෙනකුත් මේ පර්යේෂණයට යොදාගෙන තිබුණා.මේ ළමයි 26 දෙනාට හිතන්න කාරණා හතරක් යොමු කළා.

ඒ හතර අතර තමන්, තමන්ගේ අම්මා, දේශපාලනඥයෙක් සහ භාෂාවට අදාළ කාරණයක් තිබුණා. ඒ ඒ දේ ගැන හිතද්දි පර්යේෂකයෝ ඒ ළමයින්ගේ මොළය වැඩ කරන හැටි හොයලා බැලුවා. දේශපාලනඥයා ගැනයි භාෂාවට අදාළ කාරණය ගැනයි හිතද්දි මොළයේ වැඩ කරන තැන චීන – බටහිර කියලා වෙනසක් තිබුණේ නෑ.

ඒත් “තමන්” ගැනයි “අම්මා” ගැනයි හිතද්දි පර්යේෂකයෝ අපූරු වෙනසක් දැක්කා.බටහිර අය “අම්මා” ගැන හිතද්දිත් උත්තේජනය වෙන්නේ “තමන්” ගැන හිතද්දි උත්තේජනය වෙන තැනට බාහිරින් පිහිටි ප්‍රදේශ. දේශපාලනඥයා ගැන, භාෂාවට අදාළ කාරණය ගැන හිතද්දි උත්තේජනය වුනෙත් ඒ වගේ බාහිරින් පිහිටි ප්‍රදේශ. හැබැයි චීන ළමයිගේ මොළය ඊට වඩා වෙනස්. ඒ අය “අම්මා” ගැන හිතද්දිත් “තමන්” ගැන හිතද්දි උත්තේජනය වෙන තැන ම උත්තේජනය වෙනවා.

ඒ කියන්නේ ‍චීන්නුන්ට “අම්මා” කියලා කියන්නේ “අනුන්” නෙවෙයි!

අපේ අයව මේ පර්යේෂණයට හවුල් කරගත්තා නම් මොකක් වෙයි ද? අපේ අම්මා අනුන් ද?

අදාළ පර්යේෂණ පත්‍රිකාව: Zhu, Y., Zhang, L., Fan, J., & Han, S. (2007). Neural basis of cultural influence on self-representation. NeuroImage, 34, 1310-1316

Leave a Reply

Your email address will not be published.