Opinion

අපි නිදහස (ස)මරමු!

Summary

“එතකොට ඇත්තටම නිදහස කියන්නෙ මොකක් ද තාත්තේ?”

  • Save

‘නිදහස’ ගැන වාක්‍ය රචනාවක් ලියන්න යැයි තෙවැනි ශ්‍රේණියේ උගන්නා මාගේ පුත්‍රයාට පාසලෙන් පැවරැමක් දී ඇත. ඒ මදිවට එහි මාතෘකාව ‘ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ ය. ඊට කරැණු එක් රැස් කිරීම සඳහා පොඩි මෑන් මාව ඉන්ටර්වීව් කිරීමට පටන් ගත්තේය.

“ඇයි අපේ ගෙදර ජාතික කොඩියක් නැත්තෙ?” පුත්‍රයා අසුවේය.
“අපි කොඩි උස්සන ජාතියේ නෙමෙයි” මම කීවෙමි.

කොල්ලාගෙන් නිදහස් වීමට මම උප්පරවැට්ටියක් කල්පනා කරන අතරේ ඔහු ඊළඟ ප්‍රශ්නය ද යොමු කළේය. “ඇයි අපේ ජාතික කොඩියේ සිංහයෙක් ඉන්නෙ?”

‘මූට ලබන සතියේ ඉදන් ටීවී එකේ යන ප්‍රශ්න විචාරාත්ම වැඩ සටහන් බැලීම තහනම් කරන්න ඕනේ’ මම මටම කියා ගතිමි.

“ඉතා හොද ප්‍රශ්නයක්. හැබැයි මම දන්නෙත් නෑ ඇයි කියලා!” උත්තරේ දන්නෙ නැති වුණාට තරඟයෙන් ඉවත් නොකළ නිසා මට ළමයාගේ තාඩන පීඩන දිගටම ඉවසන්නට සිදු විය.

“රටෙ කවදාවත් හිටපු නැති සතෙක් මොකට කොඩියට දැම්මද මන්දා නේද තාත්තෙ?”

“ඒක තමයි. සිංහයාව බියර් බෝතලේට දාපු එකේ නම් හොද බැරෑරැම් අර්ථයක් තියෙනවා” මම කීවෙමි.

තාත්තේ, ඔයා හිතන්නෙ මොන සතාද කොඩියෙ ඉන්න ඕන?”

“දිවියා”

ලංකන් කොටියා හැර කොඩියට සරි වෙනත් සතෙක් වෙද?

“එතකොට තාත්තෙ එයා වෙන කොටිත් එක්ක පැටලෙන එකක් නැද්ද?”

“කොටිත් එක්ක පැටලිලා පුරැදු හින්දා අවුලකුත් නැතිවෙයි” මම කීවෙමි.

“කොඩියට ඉතිං සතෙක්ම දාන්න ඕනද තාත්තෙ?”

“සතෙක්ම දාන්නෙ හරියටම අපේ ජාතිය මොකක්ද කියලා සිහි වෙන්නනෙ පුතේ. එහෙම කියලා අපි ජරාම සත්තු කොඩියට දාන්නෙත් නෑ. එහෙම වුනා නම් දාන්න වෙන්නෙ පාර්ල්මේන්තුවෙ ඉන්න එකෙක්වනේ”

මගේ වාසනාවට ‘ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ නමින් චිත්‍රපටයක් ඇති බව අහම්බෙන් සිහි විය. රචනාවට කරැණු එකතු කිරීම සඳහා එය ළමයාට නැරඹීමට දුනිමි.
“තාත්තේ එතකොට අපේ නිදහස නැති කළේ පිටසක්වල ජීවියොද?”

“ඔව්. ඔව්. මටත් සැකයි. මොකද මුන් හැසිරෙන්නෙ වෙන ග්‍රහලෝකෙකින් ආව අමුතු සත්තු කොට්ටාශයක් විදියට තමයි”

කොල්ලා චිත්‍රපටියෙන් සංගීතයට යොමු විය.

“අපේ ජාතික ගීයෙන් දේශපාලනඥයන්ට අපලයි කියන්නෙ ඇත්තද තාත්තෙ?”

“මං හිතන්නෙ ඒක ‘දේශපාලකයන් හැර’ අනෙකුන්ට කියලා නිවැරදි වෙන්න ඕන”

“ව්‍යවස්ථාවේ තියෙන සමගිය, සමාදානය, සමාජවාදය ජාතික ගීයේ නැති එකට මොකද කරන්නෙ තාත්තේ?”

“ව්‍යවස්ථාවට ටියුන් එකක් දාගත්ත නම් ඕක හරි යනවා පුතේ. ඒකත් ආණ්ඩුවෙන් ආණ්ඩුවට තාලේ වෙනස් කරන නිසා අපිට හැම අවුරැදු පහකට සැරයක්ම අලුත් වර්ශන් එකක් ලැබෙනවා”

නිදහස වැනි අපටවත් නොතේරෙන බැරෑරැම් මාතෘකා  පිළිබඳව තුනේ පංතියේ ළමයින්ට සිතන්නට බාර දීම නිසා ළමා හිංසනය යටතේ පාසලට නඩු පැවරිය හැකි නොවේදැයි මම කල්පනා කළෙමි.

“තාත්තේ අපිට නිදහස ලැබුණේ චීනෙන්ද?”

“නෑ. නෑ. ඒ නිදහස් සටන තාම පටන් ගත්තෙත් නෑනෙ. අනික උන් නම් ගත්ත සල්ලි දෙනකම් නිදහස දෙන එකක් නෑ. බ්‍රිතාන්‍යයෙන් ලැබුණු එක ගැන තමයි ඔය කියන්නෙ”

“අපි සුද්දොන්ගෙන් නම් නිදහස ලැබුවේ, ඇයි තාත්තේ අපි ඉස්කෝලෙදි බ්‍රිටිෂ් සිලබස් එකම ඉගෙන ගන්නෙ?”

“සුද්දගෙන් නිදහස් වුණාට පස්සෙ, අපේම උවමනාවට සුද්දව කොපි කරන්න තියෙන අයිතියට තමයි පුතේ නිදහස කියන්නෙ”

“ලංකාව කොහොම ද තාත්තේ විදේශිකයන්ගෙන් නිදහස් වුණේ?”

“ඒකට කියන්නේ පුතේ තට්ටු මාරැ හුවමාරැ ක්‍රමය කියලා. අපි රට පෘතුගීසීන්ගෙන් අරන් ලංදේසීන්ට දුන්නා. ලංදේසීන්නේ අරන් ඉංග්‍රීන්ට දුන්නා. ඉංග්‍රීසින්ගෙන් අරන් වෙන්දේසීන්ට දුන්නා කියලා තමයි ඉතිහාසෙ සදහන් වෙන්නෙ”

“එතකොට ඇත්තටම නිදහස කියන්නෙ මොකක් ද තාත්තේ?”

“ඒක පිටරටින් ආනයනය කරන පොත්වල තියෙන භයානක අදහසක්”

“එතකොට නිදහස උදෙසා සටන් කරන අයට කියන තනි වචනයක් තියෙනවද තාත්තේ?”

“දේශද්‍රෝහීන්, එන්ජීඕකාරයෝ, ඩොලර්කාක්කෝ, අන්‍යාගමිකයො, සීයටතුන වගේ ගොඩාක් වචන තියෙනවා ඒකට පුතේ”

“එහෙනම් තාත්තේ මේ ටික මම නිදහස් දිනය රචනයට ලියන්නද?”

මම උඩ විසිවී බිම වැටුණෙමි.

“පිස්සු ද යකෝ? ‘ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රටයි’ කියලා පටන් ගනිං”

මම බෙරිහන් දුනිමි. එහෙත් ඊළඟට ලිවිය යුතු වාක්‍ය ගැන මට සිතා ගැනීමට නොහැකි විය.

“තාත්තේ, මොනවද ඔච්චර කල්පනා කරන්නෙ?”

කොල්ලාට මා වැටී ඇති අමාරැව වැටහුණි.

“තාත්තේ අපි ‘කෝල් අ ෆ්රෙන්ඩ්’ අවස්ථාව ගමුද?”

“ඒත් කාට ද අපි කතා කරන්නේ?” මට සිතා ගත නොහැකි විය.

“අපි ශුක්රා මුනව්වර්ට කතා කරමු. එයා කට පාඩම් කරපුවා තාම අමතක වෙලා නැතුව ඇතිනෙ?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap