Opinion

අපි භාරතීය ජනතා ද?

Summary

“ඔක්කොමත් හරි. අපේ ක්‍රිකට් ටීම් එක නම් දෙන්න නරකයි උන්ට. එංගලන්තෙ ස්කොට්ලන්ඩ් වෙනම ෆුට්බෝල් ගනවා වගේ අපේ ක්‍රිකට් ටීම් එක නම් බේර ගන්න ඹ්නෙ”

බැසිල් විමල් පැටලිලාලු. සජිත් රනිල් හමුවෙලාලු. සමහරැන්ට මේ ඔක්කොම ඇති වෙලාලු. ඒ අතරේ මේ රට බේර ගන්න ඉන්දියාවෙන් බී.ජේ.පි.ය එනවාලු. මේ ආරංචිත් අරගෙන මගේ මිතුරෙකු නිවසට ගොඩ වැදුනේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියාක් මෙනි.

“අපේ අයට ලොකු අතීතෙනෙ. ඔන්න දැන් අපිට කෙලින්ම ප්‍රාග් ඓතිහාසික යුගයටම ටයිම් ට්‍රැවල් කරන්න අවස්ථාවක් ලැබිලා. කොටින්ම ඉතිහාසෙට ගිහිල්ලා ලංකාව කියලා එකක් නැති වෙන තැනටම දැන් යන්න පුලුවන්” ඔහු කියාගෙන ගියේය.
“දැනටත් ඉතිං ලංකාව තියෙන්නෙ නැතිවෙලා වගේනෙ?” මම නොසැලකිල්ලෙන් පැවසීමි.
“භාරතීය ජනතා පක්ෂෙ ඡන්දෙ ඉල්ලුවොත් දෙනවා කියලා අහන හැම එකාම කියනවා. ඉතිං ඒගොල්ලෝ දින්නම අපි ආයෙත් අපේ මව් රටට (ඉන්දියාවට) එකතු වෙනවා. එතකොට මේ තෙපර බාන දෙදහස් පන්සීයෙ ඉතිහාසය කැන්සල් වෙලා අවුරැදු පන්දාහක් පැරණි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයත් අපේ වෙනවා. කොහොම ද හිස්ට්‍රිය එක රැයින් ඩබල් වුනාම තියෙන ආතල් එක?”
ලංකාව ඉන්දියාවේ තිස්වැනි ප්‍රාන්තය වූවා නම් කියා මට ද සිතුණු වාර අනන්තය. එසේ වී නම් බොලිවුඩ් සිනමාව අපේය. මුම්බායිහි කුණු ගඳත් අපේය.

“ඒ වුනාට පිටරටක දේශපාලන පක්‍ෂයක් එනවට අපේ රටේ මිනිස්සු කැමති වෙයිද?” මම ඇසුවෙමි.
“මොකද අකමැති. හාල් පරිප්පු ළූණු ගේන්නෙ. බෞද්ධ හින්දු ආගම් ආවේ. ඉතිං ඔය ටික අනුබව කරලනෙ ලංකාවෙ උන් ජීවත් වන්නෙ. ඒවට එන්න පුලුවන්නම් ඇයි දේශපාලන පක්ෂයකට එන්න බැරි?” මිතුරාගේ තර්කය පෙනේරයක් තරම් හිල් ඇති එකකැයි මට සිතුණි.
“ඒත් මේ රටේ ජාතිමාමක ජනතාව ඉන්දීය මැදිහත් වීමට විරැද්ධව ලෙමන්පෆ් කකා මාරාන්තික උපවාස කරන එකක් නැද්ද?” මම ප්‍රායෝගික දේශපාලන ප්‍රශ්නයක් ඇසීමි.

“කිසීම සදාචාරාත්ම අයිතියක් නෑ ජාතිමාමකයින්ට මේකට විරැද්ධ වෙන්න. දැන් බලනවා මේක මුස්ලිම් එවුන්ගෙ රට නෙමෙයි තොපි ආපු අරාබියට පලයල්ලා. හින්දුවෝ තමිල්නාඩුවෙන් ඉදන් ආපු හින්දා තොපි එහෙට පලයල්ලා කියලනේ එයාලා කෑගහන්නේ. ඉතිං එතකොට ඉන්දියාවෙන් ආනයනය කරපු බෞද්ධයො කොහාටද යන්න ඕනේ? ඉන්දියාවෙන් ආපු විජය කුමාරයගෙන් පැවතෙන සිංහලයෝ කොහේද යන්න ඕනේ? ඔන්න දැන් වීසා නැතුවම උරැම තැනට යන්න පාර කැපී ගෙන එන්නෙ” මේ ඔක්කොම කොහාට හරි ගියොත් ලැබෙන සැනසීම ගැන මම හීන මැව්වෙමි.

“එතකොට අපේ සංස්කෘතිකයට මොකද වෙන්නෙ?”
“ඉන්දියාවට නැති අපිට තියෙන සංස්කෘතිය මොකක්ද බං? උන් හැම අතින්ම අපිට ඉස්සරහින්. අපි මිනී පුච්චලා අලු ගඟට දානවා. උන් පුච්චන්නෙ නැතුව මිනියම ගඟට දානවා”
“අපි ඉන්දියාවට එකතු වුනාම අපේ කලා කාරයොන්ට නිසි තැන ලැබෙයිද?” දැන් මුරැංගා අතු උඩ පාවෙමින් ඉන්නා සුවහසක් අහිංසකයින් රොතු පිටින් මට මැවී පෙනුනි.
“අනිවාර්යෙන්ම එතකොට තමයි නිසිම තැන ලැබෙන්නෙ. වික්‍රමසිංහ තාගෝර්ගෙන්, ලෙස්ටර් රායිගෙන්, අමරදේව ශන්කර්ගෙන් රීප්ලේස් වෙනවනේ. බලනවා අපි එකපාරට යන උඩ. පොළවෙන් අහසට කියන්නේ ඒකට තමයි. ඒ අතීත පරම්පරාව. ඊටත් එහා දැන්. වර්තමානේ ඔය කෝච්ලා වෙලා ඉන්න සමහර උන්ට පුලුවන් රෙද්දක් එලන් දිල්ලි ඉස්ටේශම ඉස්සරහා සිංදු කියන්න” මිත්‍රයාගේ දුෂ්ට සිතුවිලි පිළිබඳව මට නම් කිසි පැහැදීමක් ඇති නොවිණි.

“අපි රෑ කෑමට ගන්න ටෙලි නාට්‍ය ටිකටත් කෙලවෙයිද දන්නෑ නේද?” දෙවැනි ඉනිම නොබලා නින්ද නොයන අපේ අම්මා මට සිහි විය.
“ඒවගේද අතුරැපසට දීපිකා පදුකෝනුයි රන්වීර් සිංනුයි ලැබුනම”
“ඔක්කොමත් හරි. අපේ ක්‍රිකට් ටීම් එක නම් දෙන්න නරකයි උන්ට. එංගලන්තෙ ස්කොට්ලන්ඩ් වෙනම ෆුට්බෝල් ගනවා වගේ අපේ ක්‍රිකට් ටීම් එක නම් බේර ගන්න ඹ්නෙ” ක්‍රිකට් ලෝලී මට ලංකාවේ වටිනාම ජාතික වස්තුව එයය.

“ඒ ඉතිං ලංකාවෙ ක්‍රිකට් තිබ්බ කාලෙනෙ. ඒ කාලෙ නම් මාලිංගයව ඉන්දියන් ටීම් එකටත් ගස්සන්න තිබුණා. අපි දැන් ට්‍රයි කරන්න ඕනේ ‘ලංකන් ලයන්ස්’ කියලා අයි.පී.එල්. එකටවත් අපේ ටීම් එක දාගන්න පුලුවන් ද බලන්න. මේ යන විදියට නම් ඒකත් අමාරැ වෙයි. ඒත් ඒවගේද ‘කෝලි බුම්රා’ අපේ කොල්ලො කියලා හිතන කොට තියෙන ගැම්ම” මිතුරා අපිට කියා තිබූ සියල්ල අවතක්සේරැ කළේය.

“එතකොට අපේ කොඩිය සිංදුව?”
“කතා කරන්න දෙයක් නෑ. ඉන්දියන් කොඩිය මැද්දෙ තියෙන්නෙ මහා බෞද්ධ අධිරාජ්‍යයගේ ලාංඡනේ නේ! වට් මෝ?   ජාතිමාමකයන්ට විරැද්ධ වෙන්න පුලුවන්ද? අනික තේරැමක් නැති බව තේරෙන අපේ එකට වැඩිය, නොතේරෙන ඉන්දියන් ජාතික ගීය ඇහුවම ඇගේ මයිල් කෙලින් වෙන්නෙ නැද්ද?” මගේ මිත්‍රයා රෝ සංවිධානයේ ඔත්තුකරැවෙක් වුවද විය හැකි බව මට නිකමට සිතුණි.

“දැන් තමුසෙ කියන්නෙ අපිට ඉන්දියාවත් එක්ක තරග කරන්න මොන විදියටවත් බෑ කියලද?” මම කේන්තියෙන් ඇසුවෙමි.
“බෑ නේනනම්. අපි සමනල පෙන්නනකොට උන් හිමාලය පෙන්නනවා. අපි මිලියන් පන්සීයෙ ධම්මිකව පෙන්නනකොට උන් බිලියන් අනූවේ අම්බානිව පෙන්නනවා. අපි අංගම්පොර පෙන්නනකොට උන් න්‍යෂ්ටික බෝම්බ පෙන්නනවා. අඩුගානේ යන්ත්‍ර මන්ත්‍ර, දෙවි දේවතාවෝ, කුලමල වගේ හත්ඉලව්වලින්වත් අපිට උන්ව පරද්ද පුලුවන් ද කියනවකෝ?” මිතුරා විශ්වාසයෙන් ඇසුවේය.

“නෑ. නෑ. ඕක හරි යන්නෙ නෑ එක හේතුවක් හින්දා” මම උද්දාමයෙන් කීවෙමි.
“හපෝ මේ ලංකාව ඉන්දියාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කියල නම් කියන්න එපා හොදේ. කෝටි එකසීය හතලිහක් ඉන්න නිසා ඒකට කියන්නේ වර්ල්ඩ්ස් බිගස්ට් ඩිමොක්‍රසි කියලා. අඩු ගානෙ උන්ට ලොකුම කෑල්ලවත් තියෙනවා. උන් අපිට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදී කියන්න හොදම උදාහරණෙ ජනමාධ්‍ය” මිතුරා භරත හටන අත්නොහළේය.
“ඒක නෙමෙයි”
“එහෙනම්?”
“ඉන්දියාවෙ දේශපාලකයො එක්ක ගත්තම අපේ එවුනුත් හොදයි කියලා මිනිස්සුන්ට හිතෙන්න පුලුවන් නේද?”

“ඒකෙ නම් ඇත්තක් නැත්තෙත් නෑ. මෙහේ උන්ටත් වැඩිය ජරා උන් වෙන රටක ඉන්නවා කියලා දැන ගත්තම, අපේ උන් මොනවයින් මොනවා කරයි ද දන්නෙ නෑ” අවසානයේ අප දෙදෙනාටම එකඟ විය හැකි දෙයක් හමු විය.
“මචං, අපි මේවගේ දෙයක් කතා කළා කියලා කාටවත් නොකිය ඉමු. මොකද අපේ දේශපාලකයො කාට හරි වැඩිය හොදයි කියලා අපි කතා වුණු බව රට්ටු දැන ගත්තොත් කොහොමද රටට ලෝකෙට මූණ දෙන්නෙ”
මම අපේ රහස රැකීමට පොරොන්දු වුණෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *