Opinion

අප ලාාංකිකයන් වුවද ලක් මව ඉන්දියානුවෙකි

Summary

නූතන සිංහල ජාතිකවාදය, නාගරික බුදු දහම , දේශප්‍රේමීත්වය, සදාචාර කේතයන් සහ සංස්කෘතික විශ්වාසයන් යන මේ සියල්ල අතිශයින් දැඩි ලෙස යටත්විජිතවාදී වුවමනාවන් ගෙන් පෙරසවි වී තිබෙයි. අපගේ ඇලීම් බැඳීම් පමණක් නොව විරෝධයන් පවා හැඩතල කිරීමට යටත්විජිතවාදය සමත් වී තිබෙයි. මේ විය ගසෙන් මිදීම පහසු නැත. ලොකුම අපහසුව නම් අප මෙයින් මිදිය යුතුද නැතිද යන තීන්දුව ගැනීමය.

ඉන්දියාව යනු බ්‍රිතාන්‍ය ගොඩනැංවීමක් බව අප දනිමු . බ්‍රිතාන්‍යයන් යටත් කරගැනීමට පෙර ඉන්දියාව ලෙස අද අප දකින භූමිය තුල තිබුනේ විවිධාකාර පාලන ඒකක සිය ගණනකි. එය 1947 නිදහස ලැබෙන අවස්ථාවේදී පවා විවිධාකාර පාලන ව්‍යුහයන් පන්සිය ගණනකින් සමන්විත වූ බව කියනු ලැබේ. ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය සහ එක්තරා මොහොතකදී වර්තමාන මියන්මාරය පවා අයිති වුනු මේ මහා විශාල භූමි භාගය සංස්කෘතික විවිධත්වය  හා ජන විවිධත්වය අතින් ලොව අන් කිසිදු කලාපයකට ලං විය නොහැකි තරමේ විශාලත්වයකින් යුතු වන බව අමුතුවෙන් කිව යුතු නැත. බ්‍රිතාන්‍යන් කලේ මේ සියල්ල එකට දමා තදින් බැඳ කෘතීම වූ තනි රාජ්‍යයක් සෑදීමය. ඔවුහු ඉතා උනන්දු සහගත තවත් යමක් මේ සමග කලෝය. එය නම් මේ සුවිශාල භූමියට, ඊට ඉතා ආසන්නයේ තිබුණු සාපේක්ෂව කුඩා දිවයිනක් වුනු ලංකාව නොඈඳීමය. ලංකාව බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක් නොවුයේ මන්ද යන්න පර්යේෂණ ප්‍රශ්නයක් ලෙස ගතහොත් ඊට මේ වන තෙක් සැපයී තිබෙන පිළිතුරු මොනවාද යන්න මම නොදනිමි. ඇතැම් විට ඊට තිබෙන්නෙ ඉතා සරල පරිපාලනමය හේතුවක් වීමටද හැකිය. කෙසේ වුවද ඉන් සිදු වුයේ නොදැනුවත්වම ලාංකිකයාගේ පරිකල්පණය තුල ඉන්දියාවත් ලංකාවත් එකිනෙකාගේ අනෙකා සහ ප්‍රතිවාදියා වෙමින් සැම තැනකම පිහිටීමය.

ඇත්ත වශයෙන්ම ඉන්දියාව යනු ඓතිහාසික වශයෙන් ලංකාව සන්තකයේ තිබුණු  ලෝකය දෙසට හැරුණු  ප්‍රධාන විවරයයි. අපේ රජවරුන් ඉන්දියාව දෙවන තැන ලා වෙනත් ජාත්‍යන්තර දොරටු දෙසට හැරෙන්නට ගත්තේ ඉන්දියාව දෙසට හැරීම අතිශයින් කටුක අත්දැකීමක් වුනු ඉතිහාසයේ ඇතැම් විශේෂ අවස්ථා වලදී පමණය. පොලොන්නරුව ගොඩනැගීම ආසන්නයේ හඳුනා ගත හැකි චෝල ප්‍රහාර මාලාවෙන් පසු ලංකාවේ අගනගරය වැඩි වශයෙන් වෙළඳාම සහ ආගමික කටයුතු සඳහා උතුරින් තිබුණු ඉන්දියාව වෙනුවට නැගෙනහිරින් තිබුණු අග්නි දිග ආසියාව දෙසට හැරීම නිදසුන් ලෙස දැක්විය හැකිය. මෙවැනි විශේෂ අවස්ථා හැරුණු කල ලංකාව සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික වශයෙන් ඉතාම සක්‍රීය ලෙස ගනුදෙනු කලේ ඉන්දීය භූමි කලාපය සමග බව අමුතුවෙන් කිව යුතු නැත. ඉංග්‍රීසීන්ට පෙර ලංකාවේ වෙරළබඩ කොටස් විටින් විට පාලනය කල පෘතුගීසීන් සහ ලන්දේසීන් වෙතින් මෙවැනි “ ඉන්දියාවෙන් ලංකාව විතැන් කිරීමේ” ක්‍රියාවක් සිදු නොවුයේ ලංකාවේ හෝ මේ සමස්ථ කලාපයේ ආධිපත්‍යයය ඔවුන් කෙරේ නොවීමත් , එසේ පාලන බලය හෙබවූ කලාපය තුල පවා ආර්ථික කටයුතු හැරුණු කල සමස්ථතාවාදී පාලනයක් හෙබවීමට ඔවුන් අපොහොසත් වීමත් නිසාය. නමුත් ඉංග්‍රීසීන්ගේ පාලන කාලය තුලදී සියල්ල වෙනස් විය. මෙම සංසිද්ධිය ඔවුන්ගේ බෙදා වෙන් කොට පාලනය කිරීමේ න්‍යාය අනුවද තේරුම් ගත හැක. ඔවුහු පළමුව භූමිය මත තිබුණු සිදුරු සහිත දේශසීමා වලින් යුක්ත වූ විවිධ පාලන ඒකක සම්පූර්ණයෙන්ම සංස්කරණය කොට ඒවායේ සීමා අතර පැහැදිලිව පෙනෙන, එකිනෙක  හරහා යා නොහැකි දැඩි ඉරි ඇඳි ඇන්දෝය. මේ භෞතික බෙදීමෙන් ඔබ්බට ගොස් ඔවුහු මනුෂ්‍යන්ගේ සංස්කෘතික ලක්ෂණ පදනම් කොටගෙන ඔවුන් ඉතා පැහැදිලිව වෙනකොට දැකියහැකි වන ලෙස ඔවුන් අතර “ ජනවාර්ගික බෙදීම් “  ද ජනනය කලෝය. යම් සමාජයක් තුල එකිනෙකට වෙනස්ව කැපී පෙනෙන ජනවර්ග සමූහයක් උත්පාදනය කිරීම එක රැයකින් කල නොහැක්කක් බව සැබෑය. නමුත් එය සමස්ථ පාලනය අතට ගෙන සිටින බලවත් රෙජීමයකට කල නොහැක්කක් නොවන බවත් තේරුම් ගත යුතුය. ලංකාවේ කුල ක්‍රමයේ ඉතිහාසය දෙස බලන කල තේරුම් යන්නෙ රජාට අවශ්‍ය නම් කෙනෙකු කුලයෙන් පහත හෙලීමට මෙන්ම උසස් කිරීමටත් හැකියාව තිබුණු බව සහ ඇතැම් තීරණාත්මක අවස්ථා වලදී අලුතෙන් කුල උත්පාදනය කිරීමට පවා ඔහුට හැකි වුනු බවය. වහුම්පුර කුලයේ ඉතිහාසය පිලිබඳ ඇති එක් මතයක් පවා මෙම කරුණ සාධනය කරයි. එම මතයට අනුව උඩරට පළාත් වල රාජධානි තිබුණු යුගයේදී කොළඹින් පැමිණි පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණ වලට මුහුණ දීම උදෙසා උඩරට රජුට වනගත හමුදාවක් අවශ්‍ය වීලු. මේ සඳහා යොදන ලද පිළියම වුයේ වනජ ද්‍රව්‍ය වලින්ම ජීවිකාව සරි කරගැනීමට විශේෂඥතා ඥානයක් තිබෙන ජන සමූහයක් උඩරටට ඇතුළු වන කපොලු වල ස්ථානගත කිරීමය. ඔවුන් වහුම්පුර නම් විය. අදටත් එම කුලය සංකේන්ද්‍රණය වී ජීවත් වන්නේ අඹේපුස්ස, වරකාපොල, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන වැනි උඩරට පළාතට ඇතුළු වීමට තිබෙන භෞමික  විවර ආශ්‍රිතවය.

මේ ආකාරයට බ්‍රිතාන්‍යන් විසින්ද අපගේ ජාතිකත්වය සහ ජනවාර්ගික අනන්‍යතාවය ඉතාමත් බරපතල ලෙස යලි අර්ථකථනය කරන්නට යෙදුනු බව ඉතා පහසුවෙන් යෝජනා කල හැක. ඊට පෙර යුග වලදී ඉන්දීය උපමහද්වීපික සංස්කෘතික කෝව තුල කිසිදු එදිරිවාදී කමකින් තොරව අන්තර්ගත වූ ස්වදෙශිකයා  ඉතිහාසයේ පළමු වරට “ඉන්දියාවෙන් පිටස්තරයකු”  ලෙස සිතන්නට පුරුදු විය. ඉන්දියාව තමන්ගෙ සංස්කෘතික ඥාතියා ලෙස නොව තමන් යටත් කරගැනීමට සූදානමින් සිටින කුමන්ත්‍රණ කරුවකු ලෙස සිතීම ස්වදේශිකයන් අතර ජනප්‍රිය විලාසිතාමය දෘෂ්ඨියක් බවට පත් විය. ජනතා විමුක්ති පෙරමුණේ සුප්‍රකට මෙන්ම ඓතිහාසික ඉන්දීය විරෝධයත් මෑත කාලීනව වේගයෙන් පැතිරෙන රාවණා රැල්ලත් අප මානව විද්‍යාත්මකව හඳුනා ගැනීමට යත්න දැරිය යුත්තේ මේ අනුව යමිනි. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දීය විරෝධයට තාර්කික දේශපාලන පසුබිමක් තිබුණු නමුත් එහි භාවාතීෂමය සංරචකය නියෝජනය කලේ බ්‍රිතාන්‍යන් ගෙ “ බෙදා වෙනකොට පාලනය කිරීමේ භෞතික සැලැස්ම” යි. රාවණා රැල්ල නම් මේ වන විට කතා නොකළ යුතු තරම් විකාරසහගත තැනකට පත් වී තිබෙයි. රාවණා  පුරාවෘත්තය හා බැඳුනු විශාල “ ඓතිහාසික මතකයක්” ඈත අතීතයේ පටන් ලංකාවේ පමණක් නොව සමස්ථ දකුණු සහ අග්නිදිග ආසියාව පුරාමත් පැවති බවට නිසැක නමුත් අද දවසෙ ලංකාවේ ජනප්‍රිය තලයේ සාකච්ඡාවට බඳුන් වෙන රාවණා කතිකාවත සහමුලින්ම ඉලක්ක වී තිබෙන්නෙ ඉන්දියාවට වඩා ලංකාව ශ්‍රේෂ්ඨ බව පෙන්වීම සඳහා වන අතර ඒ වෙනුවෙන් එම කථිකයන් යොදා ගනු පෙනෙන්නේ ඉතාම බාල බොළඳ අශාස්ත්‍රීය තර්කයන්ය. බුදු හාමුදුරුවන් ලංකාවේ උප්පත්තිය ලැබුවා යයි කීම මෙම තත්වයේ කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැකිය. ඉන්දියාවත් සමග තිබෙන එදිරිවාදී කම භෞතිකකරණයට තිබෙන ලොකුම බාධාව නම් බුදුන් වහන්සේගේ උප්පතිය සිදු වී තිබෙන්නෙ ඉන්දියාවේ වීමත්, බුදු සුසන ලංකාවට ලැබෙන්නෙ ඉන්දියාවෙන් වීමත්ය. මේ බාධාව අහෝසි කල හැක්කේ බුදුන් වහන්සේ ලාංකිකයකු කරගැනීම මගිනි. අද වන විට මේ අභව්‍ය ඉන්දීය විරෝධය පත් වී තිබෙන තැන මෙයයි. නූතන සිංහල ජාතිකවාදය, නාගරික බුදු දහම , දේශප්‍රේමීත්වය, සදාචාර කේතයන් සහ සංස්කෘතික විශ්වාසයන් යන මේ සියල්ල අතිශයින් දැඩි ලෙස යටත්විජිතවාදී වුවමනාවන් ගෙන් පෙරසවි වී තිබෙයි. අපගේ ඇලීම් බැඳීම්  පමණක් නොව විරෝධයන් පවා හැඩතල කිරීමට යටත්විජිතවාදය සමත් වී තිබෙයි. මේ විය ගසෙන් මිදීම  පහසු නැත. ලොකුම අපහසුව නම් අප මෙයින් මිදිය යුතුද නැතිද යන තීන්දුව ගැනීමය.

Leave a Reply

Your email address will not be published.