COLUMN

අමරකීර්ති සහ අමෙරිකීර්ති !

Summary

මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ‘An open letter to the powerful countries in the world thru’ US ambassador of Sri Lanka’ යනුවෙන් ලියන ලද ලිපියක් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චුන් වෙත යොමු කරනු ලැබ තිබේ. ඒ මගින් ඔහු ශ්‍රී ලංකාවේ […]

මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ‘An open letter to the powerful countries in the world thru’ US ambassador of Sri Lanka’ යනුවෙන් ලියන ලද ලිපියක් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චුන් වෙත යොමු කරනු ලැබ තිබේ. ඒ මගින් ඔහු ශ්‍රී ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබෙන පොදුජන අරගලයට සහයෝගය ඉල්ලා සිටී. ඔහුට අනුව වර්තමාන අරගලය සිදු වන්නේ රාජපක්ෂ පවුලට එරෙහි ව ය. (‘225ම එපා’, ‘අපට ඕන සිස්ටම් චේන්ජ් එකක්’ යනුවෙන් ජනතාව විරෝධය දක්වන්නේ වෙනත්
අරගලයක් සඳහා දැයි නො දනිමි.)

රාජපක්ෂ දේශපාලනය සියදිවි නසා ගනිමින් සිටී. ඔවුන්ට ඩිජිටල් යුගයේ සමාජ පරිවර්තන වැටහෙන බවක් පෙනෙන්නට නැත. යථාර්ථය තේරුම් ගනිමින් මනෝ සංවර්ධනය ඇතිකර ගැනීම, නූතන මිනිසා ගේ පැවැත්මට අදාළ කරුණකි. එසේ ද වුවත්, රාජපක්ෂලා දැන් සමාජයෙන් පිටමං වෙමින් සිටිති. ඔවුන්ට ආණ්ඩුබලය සහිත ව රටක් පරිපාලනය කර ගැනීමට තේරෙන්නේ නැත. රටේ ජනතාව රාජපක්ෂලාට බලය අත්හරින්නැයි කියන්නේ ඒ නිසා ය. ඒ සමගම ඔවුහු ශ්‍රී ලංකාවේ ජරාජිර්ණ සමාජක්‍රමය වෙනස් කරන්නැයි ඉල්ලා ද අරගල කරති.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති අමෙරිකානු තානාපතිනිය අමතා ලිපියක් ලියන්නේ, මේ ජන අරගලය නියෝජනය කරමිනි. ඔහු ගේ ලිපිය කවර හේතුවක් මත වුවත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සලකා බැලුව ද, රටක බුද්ධිමතෙකු ලෙස නො ලිය යුත්තකි. එය එපමණට ම හීන ය. දීන ය.

කායික වහල්භාවයට වඩා මානසික වහල්භාවය බෙහෙවින් හානිකර ය.

අමරකීර්ති, මට මුලින් ම හමුවූයේ මා සමග ප්‍රියන්ත ඩිරෙක්ස් මිතුරා, කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අවධියේ, සංවිධානය කළ ‘තලමල පිපිලා’ නාට්‍ය සම්මන්ත්‍රණය දා ය. එදින අමරකීර්ති සභාවේ සිට අදහස් දැක්වූයේ ය. එතැන් සිට අප ගේ හිතවත්කම ඔහු අමෙරිකාවට පිටත් වන සමුගැනීමේ සාදයත් පසුකර කාලයක් ගෙවී යනතුරු පමණ තිබිණි.

අමෙරිකාවට ගිය ‘අමරකීර්ති’ නැවත ලංකාවට ආවේ ‘අමෙරිකීර්ති’ ලෙස ය. මම ඔහු ගෙන් බැහැර වුණෙමි.

එකල සිට අමෙරිකීර්ති ලියූ ශාස්ත්‍රීය වැදගත්කමින් යුක්ත ලිපි සහ වෙනත් බහුබූත සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ද, නවකථා ද, සාහිත්‍ය විචාර කෘති ද කියවා ඇත්තෙමි.

අමෙරිකීර්තිට මුල අමතක වන රෝගයක් තිබේ. මහාචාර්ය සරත් විජේසූරිය ගේ නිවසේ (එකල මට ඔවුන් සමග තිබුණේ සාහිත්‍ය කලා පිළිබඳ සම්බන්ධතාවක් පමණි.) පැවැති සමුගැනීමේ සාදය දා අමරකීර්ති නාහෙන් අඬ, අඬ සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය විසින් තෑගි කරන ලද එපමණ මුදල් වටිනාකමක් නො තිබුණු බිත්ති සැරසිල්ල පිළිබඳ ව ය. එය මදිපුංචි වී තිබුණු ඔහුට, සිංහල අධ්‍යයන අංශය විසින් ලබා දෙන ලද අධ්‍යාපනය ඒ වන විටත් අමතක වී තිබිණි.

වර්තමානයේ අමෙරිකානු තානාපතිනිය අමතා ලියා ඇති ලිපියෙන් ඉස්මතු වී තිබෙන්නේ ද ඔහු ගේ එකී රෝග ලක්ෂණ වේ.

දේශපාලුවන් විසින් මේ රට විනාශ කරනු ලැබුවා වුව ද, ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ගෝඨා – රනිල් ආණ්ඩුව මෙන් අපත් අමෙරිකාව ඉදිරියේ දණින් වැටිය යුතු ද?

අනෙක් අතට, අමෙරිකාවේ තිබෙන බව පැවසෙන රාජපක්ෂලා ගේ ගිණුම් සහ වත්කම් සොයා තහනම් කරන ලෙස පවසමින් ඔහු වර්තමාන අමෙරිකාවෙන් සාධාරණය අපේක්ෂා කරයි. කොතැන තිබෙන සාධාරණයක් ද?

අමෙරිකානු රජය රාජපක්ෂලාට විරුද්ධ ව පියවර ගනු ඇත්තේ ඔවුන් ගේ න්‍යායපත්‍රයට රාජපක්ෂලා එරෙහි වූ දාට ය. එසේ නො වන තාක්, අමෙරිකාව ඔවුන් ගේ කලු සල්ලි ආරක්ෂා කරනු ඇත. අමෙරිකාව යනු ‘හොඳ පමණක්’ නො වේ. ‘හොඳ සහ නරක’ යන දෙකම ය. ‘නීතිය සහ අවනීතිය’ ය. ‘යුද්ධය සහ සාමය’ ය. ‘ජීවිතය සහ මරණය’ ය. අමෙරිකානු සමාජයට ‘factory of chain killers’ යනුවෙන් පටබැඳෙන්නේ නිකමට නො වේ.

රාජපක්ෂලා ගේ මෙරට ගිණුම් සහ වත්කම් තහනම් නො කෙරුණු තත්ත්වයක් යටතේ, මන්දබුද්ධික ලෙස එවැන්නක් අමෙරිකාවෙන්, අමෙරිකීර්ති ඉල්ලා සිටින්නේ අමෙරිකානු වහල්භාවය නිසා ය.

මුලින් ම අප ඒවා තහනම් කළ යුතු ය. අමෙරිකාවෙන් එවැන්නක් ඉල්ලා සිටිය හැක්කේ ඉන්පසු ව ය.

KL/2022/06/02@gotagohome

Leave a Reply

Your email address will not be published.