Opinion

අම්මලාට දරුවන් අත හරින්නට බැරිය…

Summary

උඹ මොන අපරාදය කරත්, එදාට මුලු ලෝකයම උඹට එරෙහි වී ගියත්, උඹ හිරේ ගියත්, එල්ලුම් ගස් ගියත්, එක ගෑණියෙක්ගේ හුස්ම උඹේ උරහිසට වැටෙනු ඇත.

පහුගිය දවස්වල මහර හිරගෙදර ඉදිරිපස හැඬූ අම්මලා ගැන බුකියේ මහ වාදයකි.සමහරුන්ට අනුව මේ අම්මලා ළමයින්ව හදා නැතිලු. එහෙම හැදුවා නම් මෙහෙම වන්නේ නැතිලු. සමහරුන්ට අනුව මේ අම්මලා රඟපානවාලු.  කලින් ඔීවා හිතුවා නම් හඬන්නට වන්නේ නැතිලු.

අනේ බොල මිත්‍රවරුනි,
මොන අම්මාටත් ඕනෑ තමන්ගේ ළමයා හොඳට හැදෙන්ටය…
ඒක මාකඳුරේ මදූෂ්ගේ අම්මාටත්මගේ අම්මාටත්,
උඹේ අම්මාටත්,
ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ අම්මාටත් එහෙමය…

උඹලා අම්මාට පන්ති යනවා කියා වෙන කොහේ හරි එක දවසක් ගිහින් නැතිද?ගෙදරට හොරෙන් සිගරට් එකක් බීපු නැති එකෙක් ඉන්නවද?
ඔය කරන නසරාණි වැඩ ඔක්කොම කරේ අම්මාට කියලාද?

ඔය ඔක්කෝම කරලා,අපි එළියේ ඉන්නේත්
උන් ඇතුළේ ඉන්නේත්
මොකද?

මේ බහුතරය කුඩු ටිකක් ළඟ තිබ්බාට ඇතුලේ ඉන්නා වුන්ය…මුලින් සිගරට් එකක් බීලා එක දවසක් කුඩු ටිකක් බීපු එවුන්ය…
උන්ගේ හා අපේ ඇති වෙනස ඒ “එක ” දවසය…
උන් ජීවත් වූ පරිසරය වෙනස්ය….
එක ගෙදර හත අටය…
ගෙදර ඉන්නේ රෑට විතරය…ඒ නිදාගන්ටය…
කන්ට වෙන්නේ වැඩ කරොත් විතරය…
ඒ වැඩය නට්ටාමි වෙන්ට පුලුවන්ය…
ස්පා එකේ ඇඟ තලන එක වෙන්ටත් පුලුවන්ය…
උන් ජීවත් වූ ‘පරිසරය’ ඒකය…

ඒ ‘පරිසරය’ හැදුවේ ඒ අම්මලා නොව උඹත් මමත් කඩේ යන දේශපාලුවන්ය…ඒ පරිසරය පවත්වාගෙන යන්නේද උන්ය…
කුඩු විකුණන්නේද කුඩු විකුණන වුන් රකින්නේද ඒ දේශපාලුවන්ය…
අන්තිමට උන් එළියේ ය…උන්ගේ කස්ටමර්ස් ලා ඇතුළේය…

ඒකට මේ අම්මලා කුමක් කරන්නද?
ආදරණීය මිත්‍රවරුනි,උඹ මොන අපරාදය කරත්, එදාට මුලු ලෝකයම උඹට එරෙහි වී ගියත්, උඹ හිරේ ගියත්, එල්ලුම් ගස් ගියත්, එක ගෑණියෙක්ගේ හුස්ම උඹේ උරහිසට වැටෙනු ඇත.
එක ගෑණියෙක් උසාවියේ බංකු කොණක හඬනු ඔබට ඇසෙනු ඇත.ඒ ගැහැණිය අම්මාය…අම්මලාට දරුවන් අත හරින්නට බැරිය….
මගේ අම්මාටත් බැරිය…
නුඹේ අම්මාටත් බැරිය…
මේ අම්මලාටත් බැරිය…

Leave a Reply

Your email address will not be published.