COLUMN

අරගලයෙන් පසු ලංකාව – පළමු කොටස

Summary

ශ්‍රී ලංකාවේ සමාජ අරගල යැයි නම් කරනු ලැබූ සිදුවීම්වලින් පසු අපට උරුම කරදුන් සැබෑ ලෝකය කුමක්ද? භාගෙට මිය ගිය පැරණි ලෝකය සහ භාගෙට උපන් නව ලෝකයයි. අඩක් ඉපදුණු සහ අඩක් මැරුණු ලෝක දෙකක් ඇති බිමක් පොදු සතුරාට ජීවත් වීමට, වර්ධනය වීමට සහ ව්‍යාප්ත වීමට ඉතා සාරවත් පසකි. අප “අරගල” හෝ “විප්ලව” නමින් හඳුන්වා දශක ගණනාවක් තිස්සේ අපේ මව් භාෂාව අපහරණය කරමින් සිදුකරණු ලැබූ කටයුතු වල සැබෑ අස්වැන්න එයයි. පැරණි ලෝකය සම්පූර්ණයෙන් මරා දැමීම සඳහා අවශ්‍යය සමාජ විඥාණය ඒකරාශී කොට සාධනීය ක්‍රමවේදයක් හඳුන්වා දීමේ කිසිඳු පොදු සමාජ වැඩපිළිවෙලක් මෙම අරගලකරුවන්ට හෝ ඔවුන්ගේ සැබෑ ස්වාමීන්ට නැත. ඒ සඳහා අවශ්‍යය සදාචාරාත්මක වටිනාකම් අපෙන් ඈත්කොට ඇත. ඒ වෙනුවට තවකෙකුට සමාජ මාධ්‍යය ඔස්සේ හිංසා කරමින් ලබන ප්‍රමෝදය එදිනෙදා ජීවිතයේ තීරණ ගන්නා මූලික මෙවලම බවට පත්වී තිබේ.

මෙවැනි සමාජ සිදුවීම් වලදී බරපතළම අසාදාරණය සිදුවන්නේ භාෂාවටය. එහි වචන අපහරණය වන ආකාරය සහ අවභාවිතා කරන ආකාරය ඉතාම වේදනාකාරිය.  ඇතැමුන් මෙම සිදුවීම “සමාජ විප්ලවයක්” ලෙස නම්කිරීමට තරම් අන්ධවී ඇත. මෙය අරාජික සමාජ ප්‍රවණතාවයකි.

නිලන්ත ඉලංගමුව

රාජ්‍යයට සහ එහි දේශපාලන නායකත්වයට එරෙහිව සමාජ කණ්ඩායම් කිහිපයක් විසින් දියත් කොට ඇති අරගලය නමින් හඳුන්වන “සාමකාමී යැයි කියාගන්නා ප්‍රතිචාරයට” බොහෝ කාලයක් ගමන් කළ නොහැකිය. එහි ශක්තිය දැනටමත් ක්‍ෂය වී ඇති අතර ඊට ලැබෙන සැලකිය යුතු දෙස්-විදෙස් ජනමාධ්‍යය අවධානය හේතුවෙන් එම කටයුත්තේ යෙදී සිටින පිරිසට සැබෑ තත්වය තේරුම් ගැනීමට ඇති අවස්ථාව අහිමිකොට ඇත. ශක්තිමත් පදනමක් නැති නිවසක බිත්ති පුපුරා ගොස් කඩා වැටෙන්නා සේ මෙයද ගරාවැටෙනු ඇත.ඊට යළි ශක්තිමත් වීමට නම් නව ක්‍රමෝපායන් අවශ්‍යය වේ. ඒ සඳහා වැදගත් වන්නේ හැදෑරීම මිස මුහුණු පොතේ තබන සටහනකට ලැබෙන ලයික්ස් ප්‍රමාණය නොවේ.

මෙම සමාජ සිදුවීම අරගලයක් ලෙස හැඳින්වීමම වැරදි බව මාගේ පෞද්ගලික අදහස වන නමුත් කියවීමේ පහසුව සඳහා එම වචනය අකැමැත්තෙන් වුවද මෙහිදී භාවිතා කිරීමට සිදුවී තිබේ. මෙවැනි සමාජ සිදුවීම් වලදී බරපතළම අසාදාරණය සිදුවන්නේ භාෂාවටය. එහි වචන අපහරණය වන ආකාරය සහ අවභාවිතා කරන ආකාරය ඉතාම වේදනාකාරිය. ඇතැමුන් මෙම සිදුවීම “සමාජ විප්ලවයක්” ලෙස නම්කිරීමට තරම් අන්ධවී ඇත. මෙය අරාජික සමාජ ප්‍රවණතාවයකි. මෙහි ඇති වඩාත් ඛේදජනක කාරණය වන්නේ අප පසුකරමින් සිටින පශ්චාත්-මනුෂ්‍යය සමාජයට මෙම සිදුවීම නිසා අත්වන නැවත පිළිසකර කළනොහැකි හානියයි. අප පසුකරමින් සිටින්නේ මනුෂ්‍යයින් ලෙස අර්ථගන්වනු ලැබූ ජීවියාගේ අවසන් කාල පරිච්ඡේදයයි. මින් පසු අපට අපව අර්ථදැක්වීම සඳහා නව මානයන් සහ නිර්වචනයන් අවශ්‍යය වනු ඇත. ජාතික රාජ්‍යය, පුරවැසියා වැනි සංකල්ප එහිදී යළි සැලසුම් කිරීමට සහ යළිසකස්කිරීමට (රිඩිසයින් ඇන්ඩ් රිඉංජිනියර්) සිදුවනු ඇත.

න්‍යායික දැනුමක් හෝ සමාජ අරගල ගැන සාරභූත ඥානයක් නැති නමුත් සමාජ මාධ්‍යය ඔස්සේ රාජ්‍යයේ නායකයා සහ රාජ්‍යයේ ව්‍යුහය සමච්චලයට සහ අවමානය භාජනය කිරීමෙන් රාජ්‍යයේ සහ එහි ජනතාව මුහුණ දෙන නිදන්ගත ගැටලු වලට පිළිතුරු ලබා දීමට හැකියි යන උන්මාදයෙන් මත්වී පුහු ප්‍රසිද්ධිය නමැති පිපාසයෙන් පෙළෙන එක්තරා කණ්ඩායමක් විසින් සමාජ ගැටලු වලට දක්වන ප්‍රතිචාරය “සමාජ අරගලයක්” ලෙස නම් කිරීම කෙතරම් හාස්‍යය ජනකද? මෙම කණ්ඩායමේ ඇතැමුන් සමාජ මාධ්‍යය තම එකම අදායම් මාර්ගය බවට පත්කරගෙන එය “පූර්ණ කාලීන රැකියාව” බවට පත්කරගත් අයවලුන් වන අතර ඔවුහු ගැන කතා කිරීම මෙහි අරමුණ නොවේ. මන්ද විවිධ අර්ථ නිරූපණ ලබාදෙමින් ඔවුහු සිදුකරන්නේ ඔවුන්ගේ රැකියාවය. ඔවුහු හසුරුවන සැබෑ ව්‍යාපාරිකයාට (මාර්ක් සකර්බර්ග්, සුන්දර් පිචායි,ජැක් ඩෝර්සි සහ ඔහුගේ අනුප්‍රප්තිකයා වන පරග් අග්‍රවාල් ආදීන්ට) අවශ්‍යය වන්නේ සදාචාරය හෝ සමාජ ප්‍රතිසංස්කරණ නොව ඕනෑම මාදිලියක අන්තර්ගතයන්ය ( කන්ටෙන්ට්ස්). මෙනිසා මෙම සිදුවීම් මාලාව මා දකින්නේ සැබෑ සමාජ අරගලවල හරයන් විනාශ කරනු ලැබූ අවිනීත ගනුදෙනුවක් ලෙසය. ටියුනිශියාව, ඊජිප්තුව, සිරියාව, යේමනය, මේ සඳහා කදිම නිදසුන්ය. ඇතැම් ‘අරගල කරුවන්ට’ තම සගයින් අනතුරට පත්වී ඇති අවස්ථාවක ඔවුහු වෙනුවෙන් භෞතිකව පෙනී සිටීමට වඩා එම සීමාව ආසන්නයේ රැඳී සිටිමින් මුහුණු පොත ඔස්සේ සිදුකරන සජීවී විකාශය වැදගත් වන්නේ එම අවිනීත ගනුදෙනුව නිසාය. අවාසනාව නම්, මෙම සිදුවීම වටා බැඳී සිටින බොහෝ දෙනෙකු මෙමගින් “සැබෑ සමාජ වෙනසක්” සිදුවනු ඇතැයි අපේක්ෂාවෙන් සිහින දැකීමය. මෙම මුලාව අතිශය භයානකය.

ඉතාම නුදුරු අනාගතයේදී “අරගලකරුවන්” කෙරෙහි ඇති සමාජ ආකර්ශනය ඛේදනීය ලෙස හැකිලී යනු ඇත. විශේෂයෙන් වඳුරු උණ (මන්කි ෆොක්ස්) හෝ වෙනත් සිදුවීමක් විසින් මෙම අරගලය ගැන පොදු සමාජයේ ඇති මතකයද ක්ෂණිකව අතුගා දමනු ඇත. අරගලයේ යෙදී සිටින පිරිසට මුහුණු පොතෙන් එහා මහපොළවේ ඇති තමන්ගේ දේශපාලන සම්බවය සොයා යෑමට සිදුවන්නේ එවිටය. ආපහු හැරී බලන විට පෙනෙන්නේ ප්‍රපාතයක් සහ හිස් මුඩු බිමක් නම් එය සමග පොර බැදීම එතරම් පහසුවන්නේ නැත. එය පුද්ගලයෙකු මුහුණ දෙන ඉතාම කටුක එහෙත් අත්දැකීමෙන් පමණක් තේරුම් ගැනීමට හැකි යථාර්ථයකි. සැබෑ දේශපාලන දර්ශනවාදයන් මත පදනම් වූ දේශපාලන පක්ෂ හෝ රාජ්‍යය නොවන සංවිධාන හෝ සමාජ කණඩායම් (එවැනි දෑ ලංකාවේ තිබේ නම්) වල වගකීමට බැඳී ඇති චර්යාව වැදගත් වන්නේ මෙහිදීය. මෙම සමාජ සිදුවීමට සම්බන්ධ වූ අයට ආපසු හැරී බලන විට එල්ලීමට සාරවත් තැනක් තිබීම වැදගත් වේ. වී. අයි. ලෙනින් විසින් කියන අඩි දෙකක් පිටුපසට ගන්නා අවසථාවේදී හමුවන ලෝකය මෙය ලෙස මා දකින්නෙමි. අරගලය විසින් තම ජීවිතයට සහ සමාජයට සිදු කොට ඇති දිගුකාලීන හානිය අත්විඳීමට හැකිවන්නේ මෙහිදීය.

තමන් තවදුරටත් එසැණ පුවත් විකාශයක හෝ වොයිස් කට් එකක චරිතයක් නොවන විට තම සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ සිදුකළ සජීවී විකාශයන් යළි නැරඹීමට අවස්ථාවක් ඔවුහුට ලැබෙනු ඇත. පුද්ගලයෙකු තම ජීවිතයේදී සම්බන්ධ වන “මහා සිදුවීමෙන්” පසු ඔහුට/ඇයට මුහුණ දීමට සිදුවන ඊළඟ සිදුවීම ඉතාම තීරණාත්මකය. ඒ සඳහා අව්‍යාජ දේශපාලන අවබෝධය සහ මානසික සූදානම ( මෙන්ටල් ප්‍රෙපරේෂන්) ඉතාම ප්‍රයෝජනවත් වේ. අවාසනාව වන්නේ මෙය බොහෝ දෙනෙකු හැදෑරීමට අමතක කරන කාරණයක් වීමයි. එසේම බොහෝ සංවිධාන හෝ ව්‍යාපාර වල උගනන්නේ නැති කාරණයකි. මන්ද බොහෝ සංවිධාන හෝ ව්‍යාපාර වලට පුද්ගලයින් වැදගත් වන්නේ විෂයයන් ලෙස පාවිච්චි කොට ඉවත් කිරීමට මිස එම ව්‍යාපාරවල ඊලඟ මෙහෙයුම්කරුවන් බවට පත්කිරීමට නොවේ.

ශ්‍රී ලංකාවේ සමාජ අරගල යැයි නම් කරනු ලැබූ සිදුවීම්වලින් පසු අපට උරුම කරදුන් සැබෑ ලෝකය කුමක්ද? භාගෙට මිය ගිය පැරණි ලෝකය සහ භාගෙට උපන් නව ලෝකයයි. අඩක් ඉපදුණු සහ අඩක් මැරුණු ලෝක දෙකක් ඇති බිමක් පොදු සතුරාට ජීවත් වීමට, වර්ධනය වීමට සහ ව්‍යාප්ත වීමට ඉතා සාරවත් පසකි. අප “අරගල” හෝ “විප්ලව” නමින් හඳුන්වා දශක ගණනාවක් තිස්සේ අපේ මව් භාෂාව අපහරණය කරමින් සිදුකරණු ලැබූ කටයුතු වල සැබෑ අස්වැන්න එයයි. පැරණි ලෝකය සම්පූර්ණයෙන් මරා දැමීම සඳහා අවශ්‍යය සමාජ විඥාණය ඒකරාශී කොට සාධනීය ක්‍රමවේදයක් හඳුන්වා දීමේ කිසිඳු පොදු සමාජ වැඩපිළිවෙලක් මෙම අරගලකරුවන්ට හෝ ඔවුන්ගේ සැබෑ ස්වාමීන්ට නැත. ඒ සඳහා අවශ්‍යය සදාචාරාත්මක වටිනාකම් අපෙන් ඈත්කොට ඇත. ඒ වෙනුවට තවකෙකුට සමාජ මාධ්‍යය ඔස්සේ හිංසා කරමින් ලබන ප්‍රමෝදය එදිනෙදා ජීවිතයේ තීරණ ගන්නා මූලික මෙවලම බවට පත්වී තිබේ.

ආර්ථික සහ දේශපාලන අර්බුදය පැමිණීමට දශක ගණනාවකට පෙර මෙම සමාජය පෙළුණු සැබෑ බංකොලොත් බාවය නම් “සදාචාරත්මක බංකොලොත්බාවයයි” (මෝරල් බෑන්ක්‍රප්සි). සදාචාරාත්මක බංකොලොත්බාවය යනු ස්ත්‍රී දුෂකයෙකු හෝ වංචාකාරයකු තම සැබෑ චරිතය වසන්කිරීම සඳහා රිංගාගෙන සිටින සිවුරක් හෝ ලෝගුවක් දුටුවිට වැඳීම අමතක කිරීම නොවේ. සමාජ සදාචාරාත්මක බව වූ කලී එවැනි මෝඩ සීමාවන් අතික්‍රමණය කරනු ලැබූ ඉහළ ආකල්පමය වර්ධනයකි. එය ජාතිකත්වයට (නේෂන්හුඩ්) සාධනීය අනන්‍යතාවයක් සපයන මෙවලමකි. ජාතිකත්වය නිවැරදිව අවබෝධකර ගැනීමකින් තොරව ජාත්‍යන්තරවාදියෙකු විය නොහැකිය.

සදාචාරත්මක බංකොලොත්බව යනු සැබෑ රෝගය වන නමුත් ඉන් පසුව පැමිණි දේශපාලන හෝ ආර්ථික අර්බුද මෙන්ම එම අර්බුද වලදී අපට හමුවන සතුරන් වූ කලී රෝග ලක්ෂණ පමණි. අවාසනාව නම්, මෙරට බොහෝ සමාජ කණ්ඩායම්, දේශපාලන පක්ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු වෙනයම් අවිධිමත් සමාජ එකතුවීම් මෙම සැබෑ රෝගය හඳුනාගෙන ඊට එරෙහිව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. මන්ද එය ඔවුහු සියලු දෙනාගේම හෘදයසාක්ෂිය ප්‍රශ්න කරන බැවිනි.

ලෝකය වෙනස් කිරීමට උත්සහ කරන බොහෝ දෙනෙකු තමන් වෙනස්වීමට උත්සහ කළේ නම් අප වර්තමානයේ මුහුණදෙන අර්බුදය යනු ඉතිහාස පොත්වල ලියවී ඇති කතාවක් පමණක් වනු ඇත. එහෙත් අනෙකුත් බොහෝ රටවල ( රුවන්ඩාව ඇතුළු) ඉතිහාසය අපේ වර්තමානය බවට පත්වී තිබේ. අප ජාතියක් ලෙස දිරාපත්වෙමින් තිබෙන අතර එම දිරාපත්වීම ජයග්‍රහණයක් ලෙස භුක්තිවිඳීමට බොහෝ දෙනෙකු පෙළඹී සිටිති. මෙය ඉතාම අවසනාවන්තය. අරගලයේ යෙදී සිටින බොහෝ අහිංසක තරුණ තරුණියන් දකින සෑම විටම කනගාටුවක් දැනෙන්නේ මේ නිසාය. මොවුන්ගේ ලෝකයේ සීමාව මොවුන්ට අසීමාන්තික ලෝකයක් සහ සැබෑ නිදහසක් ලබාදෙන්නේ යැයි විශ්වාස කරන ස්වාමියා විසින්ම ඉතාම කෛරාටක ලෙස තීන්දු කොට අවසානය.

නිදසුනක් ලෙස අනාගතයේ දවසක ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ ආලින්දයෙන් ඇතුලට යා හැක්කේ මුදලිගේ වැනි මෙරට රාජ්‍යය විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින්ගේ ජීවිත විනාශ කිරීම සඳහා තෝරාගෙන පැලකරනු ලැබූ විෂබීජයකට මිස ඔහුගේ ලණුව අනුභව කරමින් “අනාගත විප්ලවයේ” සිහින දකින අයවලුන්ට නොවේ. ඔවුන්ට හිමිවන්නේ “සිංහලෙන් ඉගෙනගෙන” ලබාගත් උපාධිය සහ ඔවුන් විසින්ම එලවා දමනු ලැබූ ගෝඨාබය රාජපක්ෂ වැනි දේශපාලන නායකයෙකු විසින් ලබාදෙන “සංවර්ධන නිලධාරි” වැනි පත්වීමක්‌ පමණි.

එය එසේ නොවේ නම්, මෙම කතාකාරයින් සමාජ අර්බුධ වලදී හැසිරෙන්නේ වෙනස් ආකාරයෙනි. මෙම කතාකාරයින්ට රට දියුණු කිරීමේ සැබෑ චේතනාවක් තිබුණේ නම් අඩුම තරමින් තම පක්ෂ අරමුදලින් නඩත්තු කරන උසස් අධ්‍යාපන ආයතන ( කියුබාවේ පිහිටි ලතින් ඇමරිකානු වෛද්‍ය විද්‍යාලය (එලම්) වැනි) කිහිපයක් නිර්මාණය කොට දැනුමෙන් සන්නද්ධ ප්‍රජාවක් නිර්මාණය කිරීමට ඕනෑ තරම් අවස්ථා තිබුණි. එහෙත් සැබෑ සමාජ ප්‍රතිසංස්කරණ වලට අවශ්‍යය එවැනි වැඩපිළිවෙලවල් ඔවුහුට වැදගත් නැත. මන්ද තම දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍යය විශ්වවිද්‍යාල විනාශ කිරීම හැරෙන්නට ඊට වඩා වෙනස් දෙයක් ක්‍රියාත්මක කළහොත් ඔවුහුට තවදුරටත් ඔවුන්ගේ අවශතා ඉටුකර ගැනීම සඳහා සමාජ ප්‍රවණතා පාවච්චි කළ නොහැකිය . අපි තේරුම් ගතයුතු සත්‍යය මෙයයි.

කෙසේ වෙතත්, අරගලය ගැන බොහෝ දෙනෙකු ඉතා අලංකාර රචනා ලියා ඇත. මෙම සමස්ථ කෝලාහලයෙන් ඉගෙනීමට ඇති දෑ තිබෙන බව අවිවාදිතය. එහෙත් මෙහිදී අමතක කළ නොහැකි කාරණයක් තිබේ. එනම් විටින් විට මතුවන සමාජ රැළි වලදී තමන්ගේ ආස්ථානය තේරුම් ගැනීමට නොහැකි වන බොහෝ දෙනෙකු එම රැල්ලේ කොටසක් වීමට උත්සහ කර එහි ගොදුරු බවට පත්වීමයි. එම රැල්ල විසින් තම පෞද්ගලතාවය (ඉන්ඩිවිජුඇලිටි) දියකර හරින ආකාරය ගැන තේරුම් ගැනීමට බොහෝ දෙනෙකු අසමත් වෙති. මේ රැල්ල ඉතා බිහිශුණු වන්නේ ඒ නිසාය. මෙරට කොමියුනිස්ට්/මාක්ස්වාදී/වාමවාදී සංවිධාන යැයි කියා ගන්නා ව්‍යාපාර වලට සම්බන්ධ වූ බොහෝ දෙනෙකුට සිදුවූයේ මෙම සන්තෑසියට මුහුණ දීමටය. මෙම සන්දර්භය තුළ අරගලය නමැති සමාජ සිදුවීම මා දකින්නේ ඉතාම දුර්වල සහ දිගුකාලීන සමාජ අවශ්‍යතා කෙටිකාලීන ආශාවන් වෙනුවෙන් අවභාවිතා කරන පිසාචයින් කිහිපදෙනෙකු විසින් පොදු සමාජය රැවටීමකට ලක්කිරීමක් ලෙසය.

අරගලයේ ඇති හිස් බව, මුඩු බව, සහ ලාමක දේශපාලන චින්තනය මෙන්ම පුහු ප්‍රසිද්ධිය වෙනුවෙන් එකිනෙකා අතර පවතින නොනිමි තරගය ගැන කතා කිරීමට බොහෝ දෙනෙකු අකමැතිය. මන්ද එය නින්දා, අපහස විඳීමට සිදුවන කටයුත්තක් බැවිනි. ඇතැම් විටක මෙම අරාජික සමාජ ප්‍රවණතාවය ගැන විවෘතව කතා කිරීම ජීවිත තර්ජන පවා ඇතිවය හැකි තත්වයකි. ඔවුන්ගේ හැසිරීම සහ භාෂාව එපමණකට බිහිශුණුය. මොවුන් තම හැසිරීම් සදාරනීකරණය කරගෙන ඇත්තේ, සමස්ථ රට තම දෘෂ්ටිවාදී උන්මන්තකබාවය නිසා වලපල්ලට ඇද දමනු ලැබූ පුද්ගලයෙකු විසින් කිව්වේ යැයි කියන කියමනක් මුල්කරගෙනය. එනම්, ‘ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්‍රහාරය ශිෂ්ඨ වියයුතු නැති’, බවය. නමුත් ඔවුහු අමතක කොට ඇත්තේ තමන්ගේ ප්‍රතිප්‍රහාරය අශිෂ්ඨ වන විට ඊට එරෙහි ප්‍රහාරයද කිසිම ලෙසකින් ශිෂ්ඨ නොවියයුතු බවය. එහි ප්‍රතිඵලය ම්ලේච්ඡත්වය ය. මෙම ප්‍රහාරය සහ ප්‍රතිප්‍රහාරය යනු රේඛීය සමීකරණයක් නොව චක්‍රයකි. නමුත් ව්‍යාජ සමාජ-ප්‍රතිසංස්කරණවාදීන් හෝ ව්‍යාජ-සමාජවාදීන් ඒවා උගන්වන්නේ නැත. එනයින් බලන කල මෙම අරගලකරුවන් ඉතා වාසනාවන්තය. මන්ද, මෙවැනි අරාජිකත්වයක් අභිමුඛව තම විනය රැකගැනීමට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල කැපකිරීමක් සිදු කිරීමය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් කිරීමේ “මෙහෙයුම” ගැන විවිධ පාර්ශවයන් කුමන කතන්දර කිව්වත් එය ඉතා ක්‍රමෝපායිකව සැලසුම් කළ අඩුම හානියක් සිදුවූ මෙහෙයුමකි. එහි “ඇපකර හානි” ( කොලැටරල් ඩෙමේජ්) නැත.

මතු සම්බන්ධයි

Leave a Reply

Your email address will not be published.