COLUMN

අරගලයේ දේශපාලන ඉතිරිය

Summary

අරගලයේ සක්‍රීය වූ අය වගේම දුර ඈත සිට බලාපොරොත්තු පිරුණු දෑසින් අරගලය දෙස බලා සිටි අයද, අරගලය, එහි ප්‍රකාශිත අරමුණු සහ අරගලකරුවන් අතර සිටි ඇතැම් චරිත පිලිබඳව සැකසහිතව සියල්ල නිරීක්ෂණය කළ අයද යොමු විය යුතු බොහෝ කාරණා ඉතුරු වෙලා තියෙන බව කියන්න පුළුවන්. අරගලයට නැවතීමේ තිතක් කෙසේ වෙතත් කොමාවක් වැටිලා තියෙන මේ මොහොතේ ඒ සියලු දේ විමසීමට අවකාශයක් නිර්මාණය වෙලයි තියෙන්නේ. තම තමන්ගෙන්ම සහ එකිනෙකාගෙන් ඇසිය හැකි ප්‍රශ්න තියෙනවා. ඒවාට උත්තර සෙවීම වටිනවා කියලයි මට හිතෙන්නේ.

අරගලය අවසන් වුනා කියල සමහරු කියනවා. අරගල ඉවර වෙන්නෙත් නෑ ඉවර කරන්නත් බෑ කියල තවත් අය කියනවා. කෙසේ වෙතත් ‘අරගලය’ නමින් හැඳින් වූ දේශපාලන ක්‍රියාවලිය එක්තරා ආකාරයක නිමාවකට ඇවිල්ලයි තියෙන්නේ. අරගලය මැරුණා නැත්තම් මැරුවා කියල කියනවා නෙවෙයි. ඒ නිසා මෙතන ඉදිරිපත් කරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් නෙවෙයි.

අරගලයේ සක්‍රීය වූ අය වගේම දුර ඈත සිට බලාපොරොත්තු පිරුණු දෑසින් අරගලය දෙස බලා සිටි අයද, අරගලය, එහි ප්‍රකාශිත අරමුණු සහ අරගලකරුවන් අතර සිටි ඇතැම් චරිත පිලිබඳව සැකසහිතව සියල්ල නිරීක්ෂණය කළ අයද යොමු විය යුතු බොහෝ කාරණා ඉතුරු වෙලා තියෙන බව කියන්න පුළුවන්. අරගලයට නැවතීමේ තිතක් කෙසේ වෙතත් කොමාවක් වැටිලා තියෙන මේ මොහොතේ ඒ සියලු දේ විමසීමට අවකාශයක් නිර්මාණය වෙලයි තියෙන්නේ. තම තමන්ගෙන්ම සහ එකිනෙකාගෙන් ඇසිය හැකි ප්‍රශ්න තියෙනවා. ඒවාට උත්තර සෙවීම වටිනවා කියලයි මට හිතෙන්නේ.

ඇමරිකානු තානාපති ජූලි චුං ගේ භූමිකාව කුමක්ද? චුං ගේ ට්විටර් සටහන් කියෙව්වාද? ඒවා හරහා ඇමරිකාව මොකාටද එන්නේ කියලා හිතුවද? කාදිනල්තුමාගේ භූමිකාව කුමක්ද? කතෝලික පල්ලිය සහ අරගලය අතර සම්බන්ධය මොන වගේද? අරමුණු මොනවාද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වන්දනාමාන කරමින් එහි පිහිට පතපියව් කියලා කට්ටිය කියද්දී උග්‍ර වාමවාදීන් මුනිවත රැක්කේ ඇයි. එයාලගේ වාමවාදය නැවත නැවතත් ප්‍රශ්න කළ යුතුයි නේද? අරගල ගැන ටියුෂන් දුන්න අප්පච්චිලාගේ, අම්මිලාගේ, ඇන්ටිලාගේ, අංකල්ලාගේ දේශපාලන ඉතිහාසය ගැන හොයල බැලුවේ නැති එක ගැන අරගලයේ දරුවෝ පසුතැවිලි වෙනවද? නීතිඥ සංගමය ගේමක්ද ගැහුවේ? විගණනය ඉල්ලන අයට නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින් විගණනය කළ යුතුයි නේද කියල හිතුනද? ‘අදේශපාලනික’ කියන වචනයේ තේරුම දැනගෙන හිටියද? දැන් දන්නවද?

ව්‍යවස්ථා සංශෝධන අවශ්‍යයි කියල ආදී හප්පලා කෑ ගහපු අය අඩුම තරමින් 17වන සංශෝධනය සිට 20 දක්වා කියවලා තියෙනවද? ඒ ඒ සංශෝධන සම්මත කරගත්ත දේශපාලන වටපිටාව මොකද්ද කියල හෙව්වද? ඒ ඒ සංශෝධන කාගේ හරි වාසියක් සඳහාද නැත්තම් දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ චේතනාවෙන් සම්මත කරගත්තද? විධායක ජනාධිපති ක්‍රමය එපා කියන අය 13වන සංශෝධනය ගැන දන්නවද? සාලිය පීරිස්ගේ පරස්පර ප්‍රකාශ ගැන නීතිඥ සංගමයේ සාමාජිකයින් නිහඬ ඇයි?

පන්ති-රහිත අරගලයට ‘පන්තිය’ කඩා වැදුනේ මොන මොහොතේදීද? අරගලයට සහාය දැක්වූ ධනවත් ඇන්ටිලා අංකල්ලා (ඒ කියන්නේ මාමලා නැන්දලා නොවන වැඩිහිටියෝ) මෙච්චර කාලයක් අසීමිත වාසි ලබාගත්තේ සිස්ටම් එකට පිං සිද්ධ වෙන්න නෙවෙයිද? ජූලි 9දාට පසුව රියල්-ටෝයියෝ (ටොයි සමාජයට සැලියුට් දාන ටොයි සමාජයේ සාමාජිකතත්වය ලබාගැනීම ජීවිතයේ එකම අරමුණ සේ සළකන) වෙන්ඩ-ටොයියන්ව බයියන් ගානටම දමමින් පිළිකුල් කරන්නේ ඇයි? ඇත්තටම අරගලයට ලොකු සල්ලි ආවේ කොහෙන්ද? කාගෙන්ද? කුමක් සඳහාද? අරගලය ඉදිරියට තල්ලු කරන්නත් ඉතා පරිස්සමින් සිස්ටම්-චේන්ජ් අල කරන්නත් කටයුතු කළ සෑම පුද්ගලයෙකුටම පාහේ, සෑම සංවිධානයකටම පාහේ ඍජුව හෝ වක්‍රව ඇමරිකාවේ රජය හෝ රජයට විවිධ සංවිධානවලින් මුදල් නැත්තම් කුමන හෝ උපකාර ලැබීම අහම්බයක්ද? #චුන්-නෝනා-ගෝහොම්, #NGOකාක්කෝගෝහෝම්, #IMFඑපා: මේ වගේ සටන් පාඨ කාටවත් කල්පනා නොවුනේ ඇයි?

ආරක්ෂක අංශ වළ සාමාජිකයින්ට ‘අට පාස්’ කියා සමච්චල් කරන අය මාටින් වික්‍රමසිංහ අට පාස්ද කියල තමන්ගෙන් අහන්නේ කවද්ද? උපාධිධාරීන්ගේ සසර ගමන අට පාස් අයට වඩා කෙටිද?

අරගල කරද්දී මේ වගේ ප්‍රශ්න මතු වෙන්න ඇති. උත්තර හොයන්නත් ඇති. උත්තර සෙවීම පසුවට තබා අරගලයම උත්තර සපයයි කියල හිතන්නත් ඇති. ඒත් සියල්ල සිදුවුනාට පස්සේ ප්‍රශ්න එහෙමමයි. උත්තර හොයන්නේ නැත්තම් සර්වසුභාවාදය සර්වඅසුභාවාදයට පෙරළෙන්න පුළුවන්. එහෙම අනතුරක් නැත්තේ නෑ.
උත්තර හොයන්නේ නැත්තම් වැඩියෙන්ම සතුටු වෙන්නේ සිස්ටම් එක.

Leave a Reply

Your email address will not be published.