COLUMN

අරගල, විප්ලව සහ දේශපාලනයේ අවලස්සන යටිපැත්ත

Summary

සියාවේ වුනේ විප්ලවයක්. ප්‍රධාන තේමාව/අරමුණ #සාර්මරමු නෙවෙයි; ඉල්ලුවේ ඉඩම්, සාමය සහ පාන්. සාර් සහ සාර්ගේ පවුල ඝාතනය කළා, ඇත්ත. ඒත් සාර් පාලනය සහ ඒ හා බැඳුන වැඩවසම් ක්‍රමය අවසන් කිරීම තමයි අරමුණ වුනේ. අවසන් කළා. සාමය ලැබුනා. ඉඩම් ලබා ගන්න නැත්තම් ඉඩම් පොදු අයිතියට පවරා ගන්න කාලයක් ගියා. ඒ සඳහා ලේ වන්දියක් ගෙවීමටත් සිද්ධ වුනා. ආහාර ප්‍රශ්නය විසඳුනේ පරක්කු වෙලා. ඒත් සිස්ටම් එක චේන්ජ් වුනා.

ජනතා නැගිටීමක්, උද්ඝෝෂණයක්, රටක දේශපාලන නායකත්වයට අභියෝග කරන දේශපාලන ක්‍රියාවලියක්, දේශපාලන පෙරළියක් — මේ හැම එකක්ම අරගලයක් කියල කියන්න පුළුවන්. විප්ලවයක් කියල කියන්න බෑ. සමහර අරගල විප්ලව බවට පරිවර්තනය වෙන්න පුළුවන්. කොන්දේසි තියෙනවා. පහුගිය මාස කිහිපය හරහා ලංකාවේ සිදුවුණා නැත්තම් සිදු කරන ලද අරගලය විප්ලවයක් බවට පෙරලුනේ නැහැ. ඒක ‘අරගලයක්’ නෙවෙයි, ඇත්තටම. එතන තිබුනේ අරගල. බහු වචනින්.

අරගලයට අදාල විවිධ ප්‍රකාශන සහ ක්‍රියාකාරකම් දිහා බලනකොට බරපතල කාරණා ගැන පොදු එකඟතාවක් තිබුනේ නෑ. මතවාදී කරුණු ගැන වගේම අරමුණු පිළිබඳවත් පොදු අවබෝධයක්, එකඟතාවක් තිබුනේ නෑ. ක්‍රමය වෙනස් කිරීම ගැන යම් යම් පුද්ගලයින් සහ සංවිධාන කතා කළත් අරගලයේ මහා පොදු සාධකයේ ඒ කිසි දෙයක් අඩංගු වුනේ නෑ. විවිධත්වයක් තිබුනා — ආගම්, ජාති, කුල සහ පංති නොසලකපු, ඒ ඒ විවිධත්වයන් වලට ඉඩක් දෙන, අඩු වැඩි වශයෙන් ගරු කරපු විවිධත්වයක් තිබුන. උග්‍ර වාමවාදීන් සිට ධනවාදයම ඉල්ලන, ධනවාදය වෙනුවෙන් පෙනී සිටින ධනේශ්වරය දක්වා මතවාදීමය පරාසයේ විවිධ තැන් වල ස්ථානගත වූ අය සහ සංවිධාන අරගලකරුවන් අතර සක්‍රීයව හිටියා. මේ සියලු විවිධත්වයන් එක ධජයක් යටට එකතු කරන්න වුනේ සහ එකතු වුනේ ඇත්තටම කුඩාම පොදු සාධකයකට. පුද්ගල කේන්ද්‍ර සාධකයක්. ගෝටා ගෙදර යැවීම.

ගෝටා ගියා. අරගලකරුවන් වගේම අරගලයත් ගෙදර ගියා. සිස්ටම් එක එහෙමම තියෙනවා. එහෙම වුනේ ඇයි? වී ඩෝන්ට් නෝ වයි ද, වී නෝ වයි ද?

රුසියාවේ වුනේ විප්ලවයක්. ප්‍රධාන තේමාව/අරමුණ #සාර්මරමු නෙවෙයි; ඉල්ලුවේ ඉඩම්, සාමය සහ පාන්. සාර් සහ සාර්ගේ පවුල ඝාතනය කළා, ඇත්ත. ඒත් සාර් පාලනය සහ ඒ හා බැඳුන වැඩවසම් ක්‍රමය අවසන් කිරීම තමයි අරමුණ වුනේ. අවසන් කළා. සාමය ලැබුනා. ඉඩම් ලබා ගන්න නැත්තම් ඉඩම් පොදු අයිතියට පවරා ගන්න කාලයක් ගියා. ඒ සඳහා ලේ වන්දියක් ගෙවීමටත් සිද්ධ වුනා. ආහාර ප්‍රශ්නය විසඳුනේ පරක්කු වෙලා. ඒත් සිස්ටම් එක චේන්ජ් වුනා.

ප්‍රංශයේ ‘අරගලකරුවන්’ #ලුවීමරමු කියල කියන්න ඇති. ඒත් ප්‍රධාන තේමාව/අරමුණ වුනේ නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය. ලුවී ඇතුළු ප්‍රංශ රජ පවුල ඝාතනය කළා, ඇත්ත. ඒත් ප්‍රංශයේ රාජාණ්ඩුක්‍රමය අවසන් වුනා. වැඩවසම් නිෂ්පාදන මාදිලියෙන් ධනවාදී ක්‍රමයක් වෙත ප්‍රංශය ගමන් කරන්න පටන් ගත්තා. සමානාත්මතාවය සහ සහෝදරත්වය කෙසේ වෙතත් සිස්ටම් එක චේන්ජ් වුනා.

රුසියාව, ප්‍රංශය, වගේම විප්ලව සිද්ධ වුන කියුබාව සහ වියෙට්නාමය වගේ රටවල විප්ලවවාදීන්ට නැත්තම් අඩුම තරමේ ඒ අරගල වල නායකයින්ට පුළුල් දැක්මක් තිබුනා. ඒ වගේම දේශපාලන සහ සටන් ක්‍රියාමාර්ග සංවිධානාත්මක ව්‍යුහයක් මතයි පදනම් වුනේ. බල ව්‍යුහය බිඳ දමන්නත්, පාලක පාර්ශව පළවා හරින්නත් පුළුවන් වුනේ ඒ නිසයි. විකල්ප සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහයන් ගොඩ නගන්න පුළුවන් වුනෙත් ඒ නිසයි.

ප්‍රංශයේ, රුසියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වුනේ නෑ. ලංකාවේ කරන්නේ විප්ලවයක් කියලත් සිද්ධ වුනේ විප්ලවයක් කියලත් සමහරු කිව්වත් හිතුවත්, එහෙම දෙයක් වෙලා නැති බව දැන්වත් අවබෝධ වෙන්න ඕන. ලොකු අකුරින් අරගලය පුරාවටම ලියවිලා තිබුනේ #gotagohome. පසුව චූටිම චූටි ෆොන්ට් සයිස් එකකින් #ranilgohome කියල වෙනස් වුනා තමයි. ඒත් කෝ අර බරපතල සිස්ටම් චේන්ජ් එක? දිනාගත්ත ‘වෙනස’ හරහා ඉඩම්, සාමය සහ ආහාර ලැබෙන ලකුණක් නැහැ. නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය ලැබෙන ලකුණක් නැහැ. අඩුම තරමින් අරගල භූමියේ දක්නට ලැබුණු නිදහස,සමානාත්මතාවය සහ සහෝදරත්වය අරගලකරුවන් අතරේ දැන් නැහැ. ඒ සියල්ල පුද්ගල කේන්ද්‍ර සටන් පාඨයකටම ලඝු වූ ‘අරගලයක’ තාර්කික අවසානය ලෙස හේදිලාම ගියා.

මෙහෙම වුනේ ඇයි? අරගලය පුරාවට ආර්ථික අගහිඟකම් ගැන සටන් පාඨ තිබුනත්, සමස්ථ ආර්ථික අර්බුදය පුද්ගලයෙකුට නැත්නම් පවුලකට නැත්තම් පක්ෂයකට ලඝු කළා මිස අර්බුදයේ සංකීර්ණ සහ පුළුල් දේශපාලන ආර්ථික මූලයන් හොයන්න උත්සාහයක් තිබුනේ නෑ. ක්‍රමයක අවුල් පුද්ගලයෙකුට බැර කිරීම පහසුයි, තාවකාලික (සහ අවසානයේ සිල්ලර) ජයග්‍රහණයන් අත්පත් කරගන්න ප්‍රමාණවත් වුනා. එච්චරයි.

අරගලයට නැත්තම් අරගලකරුවන්ට හෝ නායකයින් කියලා හිතාගත්ත අයට අර්බුදය සහ අර්බුදයට අදාළ දීර්ග ඉතිහාසය සහ අර්බුදය නිර්මාණය වෙන සමස්ථ දේශපාලන ආර්ථිකය කියව ගන්න බැරිවුනා. ඒ ඇයි? අරගලකරුවන් සහ අරගලය ගැන විශ්වාසය තැබූ අය හමුවේ ඒ ප්‍රශ්නය ඉතුරු වෙලා තියෙනවා. එවැනි කියවීමක් වෙත යන්න අවශ්‍ය දැනුම නැති නිසාද? වුවමනාවක් නැති නිසාද? ඒවා ගැන හොයන්න ගියොත් ලැබෙන උත්තර අනුව අරගලයට චිය(ර්)ස් දාපු දෙස් විදෙස් විද්වතුන්, හිතවතුන්, ගමන් සගයින් සහ මූල්‍යමය ආධාර සැපයු පරිත්‍යාගශීලී සිල්වත්තු උරණ වෙන්න ඉඩ තියෙන නිසාද?

එතකොට අරගලයේ සැබෑ පාර්ශවකරුවන් කවුද? කා සඳහාද කා වෙනුවෙන්ද අරගල කෙරුවෙ? උත්තරය: ජනතාව. ඒත් ජනතාවමද? ජනතාව කියන්නේ කාටද? මේවත් හොයන්න ඕන.

අරගලයේ නිතරම කියවුනේ ජනතාව ගැනයි. ජන දුක, ජනතා අභිලාෂයන් ගැනයි. හැම තක්කඩි දේශපාලනඥයා වගේම අවසන් විග්‍රහයේදී අරගලයත් අරගලයේ ඊනියා නායකයිනුත් ‘ජනතාව’ කියන වචනය ගසා කෑව, තම තමන්ගේ පුද්ගල ඉල්ලක්ක සඳහා ‘ජනතාව’ දඩමීමා කරගත්තා. ඒ විතරක් නෙවෙයි, ජනතා නාමයෙන් පුද්ගලයින්ට එලව එළවා පහර දුන්නා, ගෙවල් ගිනි තිබ්බා, පුද්ගලයින්ට මරණ තර්ජන නිකුත් කළා, මැරුවා, පොදු දේපළ වලට හානි කළා, මංකොල්ල කෑවා. අරගලයට චියර්ස් දාපු අය එක්කෝ මේවා අනුමත කෙරුවා නැත්තම් නිහඬ අනුමැතිය දුන්නා.

අවසානයේ ඒ හැම දෙයක්ම අරගලයට පාරාවළල්ලක් වුනාට පස්සේ කිව්වේ ‘බලයේ ඉන්න අරයයි මෙයයි අරක කෙරුව මේක කෙරුව, ඒවා ගැන කතා කරන්නේ නැතුව අරගලකරුවන්ගේ වැරදි හොයන්න එපා’ කියලයි. ඒකෙ අත්තක් තියෙනවා. ඒත් අරයගෙයි මෙයාගෙයි අර වැරැද්දයි මේ වැරැද්දයි පෙන්වල දුන්න, ඒවාට විරුද්ධව කටයුතු කළ අරගලකරුවෝ හිටියේ නැද්ද? ඒ අයට අරගලයේ තක්කඩිකම් හෙලා දකින්න සදාචාර අයිතියක් තියෙනවා නේද? සමස්තයක් හැටියට නිහඬව හිටියා නේද? හොරකමේ, තක්කඩිකමේ ප්‍රමාණයන් තියෙනවා තමයි. ඒත් හොරකම හොරකමමයි. තක්කඩිකම තක්කඩිකමමයි.

එසේනම් ‘අරගලය’ නැත්නම් පහුගිය මාස කිහිපය තුල ගෝල් ෆේස් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කළ ‘අරගල’ තේරුම් ගන්නේ කොහොමද? සර්ව අසුභවාදී වෙන්න අවශ්‍ය නැහැ. විවිධ අගහිඟකම් හේතුවෙන් සමාජයේ විවිධ ක්ෂේත්‍ර තුල සහ සියලු සමාජ ස්ථර හරහා කණස්සල්ල, බිය සහ කෝපය ගොඩ නැගී ඒ සියලු වේදනා උද්ඝෝෂණ බවට පරිවර්ථනය වුනා. නේකවිධ කෛරාටිකයින්ට සහ පටු අරමුණු ඇති පුද්ගලයින්ට, සංවිධාන වලට සහ ඇතැම් රටවල් වලට රඟන්න වේදිකාවක් නිර්මාණය වුනේ එහෙමයි. සමහරු අරගල භූමියේ කොටස් තමන්ගේ ව්‍යාපෘති වලට නතු කරගත්තා. සමහරු තිරයෙන් පිටිපස සිට තම කාර්යයන් වල යෙදුනා. සමහරු විසිල් ගැහුවා, තක්කඩිකම් සාධාරණය කෙරුව. උද්දාමයට පත්ව තම තමන්ගේ වෘත්තීමය සදාචාරයන විශ්‍රාම යවපු අයද මේ අතර හිටියා. ඒ සියලු දෙනා ප්‍රීතියෙන් මෝහනය වූ නිසා තම තමන්ගේ රෙදි ගලවගත්තා. සමාජ මාධ්‍යයේ සටහන් වල ස්ක්‍රීන් ෂොට් නැතුව නොවේ.

ඒ කෙසේ වෙතත්, අරගලය තුල පුටු මාරුවලට එහා ගිය, ව්‍යුහයන් වෙනස් කිරීමේ අභිලාෂයන් තිබුන සහ ගෝටා ගෙදර යැවීම ඒ දිගු ගමනේ අනිවාර්ය සහ පළමු පියවට පමණක් බව අවබෝධ කරගත් පිරිස් හිටියා. තවමත් ඒ පුළුල් අරගලය සහ අරමුණු වෙනුවෙන් පෙනී සිටින සහ නැවතුන තැන සිට නැවත ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඒවෙනුවෙන් කරයුතු කරන බොහෝ අය ඉන්නවා. තමන් ඉත්තෝ බවට පත් වෙයි කියල එයාලා හීනෙකින් වත් හිතුවේ නැතුව ඇති. එහෙම නැත්තම් ඉත්තෝ වීම වළක්වන්න බැරි දෙයක්, පතන සමාජ විපර්යාසය වෙනුවෙන් ගෙවිය යුතු මිලක් කියලා හිතන්න ඇති. අරගලය පාවා දෙන්න සුදානම් අය ඉන්න බවත් එයාල හඳුනාගන්නේ කෙසේද කියලත් එවැනි බාධක ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලත් එවන් අරගලකරුවන් මේ ක්‍රියාවලිය තුල ඉගෙන ගන්න ඇති.

විශේෂයෙන්ම නිශ්චිත සහ පුළුල් සමාජ, ආර්ථික දේශපාලන දැක්මකින් තොර අසංවිධිත දේශපාලන ක්‍රියාවලි අවසන් වන්නේ සිස්ටම් චේන්ජ් එකකට මෙහා බවත්, ආ මග ඇත්තටම කෙටි බවත්, යායුතු මග එහෙමම ඉතුරුව ඇති බවත්, සිස්ටම් එක හිතුවට වඩා දෘඩ බවත්, විප්ලවය ඔය විදිහට කළ නොහැකි බවත් ඒ එඩිතර, අධිෂ්ටානශීලී, නිර්මාණශීලී ආදරණීය මිනිසුන් මේ වන විට අවබෝධ කරගෙන ඇති බව මම විශ්වාස කරනවා. රටේ හෙට දවස ගැන බලාපොරොත්තු තියාගන්න නම් මෙය විශ්වාස කළ යුතුමයි. ආදරයට ඉඩක් ඉතුරු වෙන්නෙත් එහෙමමයි. අරගලය විප්ලවයක් දක්වා විකාශනය වෙන්න පුළුවන්. කොන්දේසි තියෙනවා. පාඩම් ඉගෙන ගැනීම ඉන් එකක්. පාඩම් ඉගෙනගනිමි සිටිනවා කියල හිතන්න මම ආසයි.

රැවටිලි එමටයි. රවට්ටන අය බොහෝයි. රැවටුනා වෙන්න පුළුවන්. යා යුතු මග යා යුතුමයි. යා නොයුතු මාර්ග ‘යා යුතු මගමයි’ කියල නම් කරත් කෙළවර වන්නේ ඉදිරියක් නැති තැන්වලයි. අරගලය නැවතිලා තියෙන්නේ එවැනි තැනකයි. ෆේක් අරගලකරුවන්ට ඒකෙ අවුලක් නැති වුනත්, සැබෑ විප්ලවවාදියාට එතැනින් නැවත ගමන පටන් ගන්න පුළුවන්. අර රුසියාවේ, චීනයේ, ප්‍රංශයේ, කියුබාවේ, වියෙට්නාමයේ සහ ඇතැම් යුග වල ලංකාවේ වුනා වගේ.

අරගල, විප්ලව සහ දේශපාලයේ අවලස්සන යටිපැත්ත එන්සෝ ට්‍රැවර්සෝ ලියූ ‘විප්ලවය: බුද්ධිමය ඉතිහාසයක්’ (‘Revolution: an intellectual history’) නම් කෘතියේ විශිෂ්ට ලෙස විස්තර කරනවා.

‘අරගලයක අරමුණ දේශපාලන තන්ත්‍රයක් බිඳ දැමීම නොවේ; ඇත්තටම අරමුණ එහි නියෝජිතයින් වෙනස් කිරීමක්. අරගලකරුවන් සාමාන්‍යයෙන් ඉලක්ක කරන්නේ පුද්ගලයින් මිස පන්තීන්, ආයනත හෝ බලය නොවේ. එබැවින් ඔවුන්ගේ ක්ෂිතිජයන් පටු වේ, ආයු කාලයද කෙටි වේ. ඒවා ස්ථානික විය හැකි භූමියකට යම් නිශ්චිත අවකාශයකට සීමා වේ. විප්ලව මීට වෙනස්. බලාපොරොත්තු නිර්මාණය වන්නේ මතවාදයන් සහ යෝතෝපියානු ප්‍රක්ෂේපන ඔස්සේය. ඒවා ක්‍රියාවට නංවන්නේ ජකොබියානුවන් හෝ බෝල්ෂෙවික්වරුන් වැනි දේශපාලන ව්‍යාපෘති හා බැඳී බලවේගයන් වේ. ඔවුහු පවතින සමාජ දේශපාලන ව්‍යුහයන් වෙනස් කිරීම සඳහා සවිඥානිකව කැප වෙති. කෙටියෙන්, ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ දැවැන්ත සහ ඇතැම් විට විශ්වීය අභිලාෂයන් ය.’

ට්‍රැවර්සෝ ලංකාවේ ‘අරගලය’ පුර්වාපේක්ෂා කෙරුවා වගේ. නේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *