Opinion

අරවින්දගේ ඔක්කොම සෙන්චරිවලට වඩා වටින මාගම් තෙන්නකෝන්ගේ වචන

Summary

පෘතුගීසින්ගෙන් ආ කතෝලික ආගම වෙනුවෙන් පල්ලි තියෙනවා. ලන්දේසීන්ගෙන් ආ රෝම ලන්දේසි නීතිය වෙනුවෙන් උසාවි තියෙනවා. සුද්දන්ගෙන් ලැබුණු ක්‍රිකට් වෙනුවෙන් පිට්ටනි තියෙනවා.

ක්‍රිකට් කියන්නෙත් ආගමක්. බෝන් අගෙන් කියන්නෙත් ආගමක්. මේ ආගම් දැන් පැටලිලා. සමහර අය දෙකේම ඉන්නවා. මේ දෙකේම ඉන්න අයට එකක ඉන්න අය විරුද්ධ බවත් පේනවා.

මාගම් තෙන්නකෝන් දිවි සයුරින් දිය දෝතක් කියලා පොතක් ලිව්වා. ඒක දැන් ප්‍රින්ට් එකේ නෑ. ගොඩගේ මහත්තයා එ්කෙ අලුත් මුද්‍රණයක් කරන්නෙ නැත්තෙ ඇයි කියලා මං දන්නෙ නෑ. දිවි සයුරින් දිය දෝතක් දෙවෙනි කොටස මංගාව තියෙනවා. ඒකෙ මේ වගේ කොටසක් තියෙනවා.

පෘතුගීසින්ගෙන් අපිට කතෝලික ආගම ලැබුණා. ලන්දේසීන්ගෙන් අපට රෝම ලන්දේසි නීතිය ලැබුණා. ඉංග්‍රීසින්ගෙන් එහෙම එකක් ලැබුණේ නෑ. ඉංග්‍රීසින්ගෙන් අපට ක්‍රිකට් ලැබුණා.

අරවින්දගේ ඔක්කොම සෙන්චරිවලට හරි ජයසූරියගේ හයේ ඒ්වට හරි මුරලිගේ විකට්වලට හරි වඩා මාගම් තෙන්නකෝන්ගේ මේ වාක්‍ය ටිකට මං ගරු කරනවා. ඒක නිසා ගොඩගේ මහත්තයගෙන් අර මුද්‍රණයේ නැති පොතත් ඉක්මනට මුද්‍රණය කරන්න කියලා ඉල්ලනවා.

ආගමක තියෙන ප්‍රධාන ලක්ෂණේ තමයි ඒකට විරුද්ධ ව කතා කරන්න බැරි එක. ක්‍රිකට්වලට විරුද්ධවත් කතා කරන්න බෑ. කොහොම නමුත් අපට ආගමක් නැතිව ජීවත්වෙන්නත් පුළුවන්. ඒත් ක්‍රිකට් නැතිව ජීවත්වෙන්න බෑ. ඒක තමයි සුද්දා දුන්න ආගමේ විශේෂත්වය. මාගම් තෙන්නකෝන් මහත්තයගෙ අර වචන ටික එච්චර වටින්නෙ ඒ නිසා.

පෘතුගීසින්ගෙන් ආ කතෝලික ආගම වෙනුවෙන් පල්ලි තියෙනවා. ලන්දේසීන්ගෙන් ආ රෝම ලන්දේසි නීතිය වෙනුවෙන් උසාවි තියෙනවා. සුද්දන්ගෙන් ලැබුණු ක්‍රිකට් වෙනුවෙන් පිට්ටනි තියෙනවා. හදනවා. තණතිලි වවනවා.

ඉරට හඳට වඩා වෘත්තාකාර දෙයක් තීයෙනවා නම් ඒ ලෙදර් බෝලේ. ලෙදර් බෝලේ ඉරට හඳටත් වඩා ලස්සණයි. කඳු මුදුනින් ඉර නැග එනවාටත් වඩා කොළ පැහැ තණතිල්ලෙන් පිරුණු පිට්ටනියට ක්‍රිකට් කණ්ඩායම ඇවිදගෙන එනකොට ලස්සනයි. එකළොස් දෙනෙක් වටකරගෙන දෙන්නෙක් ගහනකොට ඉර පෑව්වා වගේ. එහෙන නැත්නම් එකොළොස් දෙනෙක් දෙන්නෙකුට වටකරගෙන නෙලනකොට. ඒක තීරණය වෙන්නෙ අපේ පිල අනුව. ටීම් එකෙන් පිට්ටනිය හිස් කියන්නෙ ඉර බැහැලා ගියා වගේ.

ක්‍රිකට් ආගම වුණත් ඉඳහිට දෙයියොත් පිට්ටනියට එබිකම් කරනවා. සීයක් ගැහුවාම වගේ. එතකං දෙයියන්ට චාන්ස් එකක් නෑ පිට්ටනියට එන්න. සීයක් ගැහුවාම යන්තං ඇවිල්ලා බලලා යන්න පුලූවන්. මං මේ කියන්නෙ උඩ බලන එක ගැන බව සනත්ට වුණත් තේරෙනවා.

ඒත් බෝන් අගේන් දෙයියො නම් විවේකාගාරයේ වාඩිවෙලා ඉන්නෙ. එයා ඉන්නෙ උඩ නෙමෙයි. ඒ නිසා ම වෙන්නැති උඩ ඉන්න දෙයියන්ටත් වඩා බල සම්පන්න. සමහරවිට බෝන් අගේන් දෙයියෝ උඩයි බිමයි දෙකේම ඉන්නවා වෙන්නත් පුලුවන්. ගැහුවොත් උඩ ඉන්න දෙවියෝ. අවුට් වුණොත් බෝන් අගේන් දෙයියෝ. ක්‍රිකට් ආගම කරගත් අයට එහෙමත් පේනවා. කොහොම හරි මෙතන සුද්දො හදපු ආගම් දෙකක් අතර ගැටුමක් තියෙනවා. ඒ කියන්නෙ මැච් එකක් තියෙනවා. හැම මැච් එකක් වගේ ම ඒ මැච් එකෙත් ආතල් එකක් තියෙනවා. ඒ නිසා ක්‍රිකට් මැච් එකෙන් ආතල් එකක් නැති වුණාම ඒ මැච් එක හරි පටන් ගන්නවා. කොහෙන් හරි මැච්. සුද්දා දෙයියෙක්.

දුමින්ද තවම මැච් බලන්නෙ නෑ. මොකද හිතේ සතුටයි දුකයි දෙකම පිරිලා ඉතිරිලා තියෙන නිසා මැච්වලට හිතේ ඉඩක් නෑ. හිතේ හිස් තැනක් නෑ. ඒත් අපේ හිත් එහෙම නෑ. අපේ හිත් පිරිලා ඉතිරිලා යන්න තරම් හිතේ දුකක්වත් සතුටක්වත් නෑ. ඒ නිසා මැච් ඕනැ වෙනවා.

වඩා බලවත් බෝන් අගේන් ආගමේ දෙවියො ද ක්‍රිකට් ආගමේ ලෙදර් බෝලෙ ද කියන්න මං දන්නෙ නෑ. කොහොම වුනත් දෙකම සුද්දගේ. ඒ නිසා දෙකෙන් එකක්වත් නැති වෙන්න සුද්ද ඉඩ තියන්නෙ නෑ. ඒ නිසා මැච් දිගටම තියෙයි.

හදවතේ තියෙන්නෙ ලෙදර් බෝලේ වගේ හැඩයක් නෙමෙයි. මේ හදවත් හරහා ඊතල දෙකක් ගහලා අපට ආදරය ගැන හැඟීමක් ලබාදෙන්න ඇතැම් චිත්‍රශිල්පියෝ උත්සාහ කරලා තියෙනවා. ඒත් ලෙදර් බෝලයක් ඇතුළේ තියෙන ආදරේ මොනම හදවතකවත් නෑ. ඒකට හදවත වගේ ලෙදර් බෝලෙ හිල් කරන්න ඕනැ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *