Opinion

අලි සබ්රි මහතා සිතියමෙන් නොපෙන්වන දෑ

Summary

මේ ගැන විරුද්ධ වෙන මිනිස්සු ඔක්කොම ජාතිවාදීන්, අන්තවාදීන් කියා හංවඩු ගහන්න එපා. ඔබ විසින් යෝජනා කරන අවදානම ගන්න එක ඒ මුස්ලිම් වරුන්ගේ ඊළඟ දරු පරම්පරාවල සුවපත් පැවැත්මට පවා බාධාවක් වෙන්න හැකි.

  • Save

සයන්ස් සඟරාව අනුව ලංකාවේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා උපුටා දැක්වීමක් කරලා. භූගත ජල මට්ටම ඉතාම අවම ගැඹුරකින් තිබෙන රටවල් වල නම් සඳහන් කරලා. සබ්රි මහතා දක්ෂ සහ ප්‍රසිද්ධ නීතීඥ මහතකු සේ ම සයන්ස් සඟරාවේ පාඨකයෙක් බවත් අපට දැනගන්නට ලැබීම හොඳයි.

මා නම් එතරම් උගතෙක් නොවෙයි. නමුත් අපට කාරුණික ව නමුත් දැඩිව අහන්න ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. අධිකරණ අමාත්‍යවරයා ගෙන් අහන්න ඕනෑ අධිකරණය සහ අධිකරණ ක්‍රියාවලියට අදාළ ප්‍රශ්න වුණාට හිතවත් සබ්රි මහතාගෙන් ඉන් පරිබාහිර ප්‍රශ්න අහන්න බාධාවක් නැහැ. මේ ලිපිය නිසා බොහෝ දෙනා මා එක්ක අමනාප වෙන්නත් මට බොහෝ පාඩු වෙන්නත් ඉඩක් නොතිබෙනවා නොවේ. සිරකරුවෝ ද මනුෂ්‍යයෝය. නීතීඥයෝ ද මනුෂ්‍යයෝය. මේ කාලේ මිනිසුන්ගේ හැටි මා දන්නවා. ඒකට කමක් නැහැ. දැන් ප්‍රශ්නය මදක් විමසා බලමු.

කැනඩාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, නෙදර්ලන්තය, රුසියාව කියන රටවල් කොවිඩ් ආසාදිතයන්ගේ මල සිරුරු වලලනවලු.

සබ්රි මහතා මේ කරුණ යොදා ගන්නේ එය ලංකාවේ ත් කෝවිඩ් ආසාදිත මළසිරුරු වල දමන්න පක්ෂව යොදාගන්න හැකි තර්කයක් ලෙස බව පැහැදිලියි. එතුමාගේ සටහනෙහි මට තේරෙන ඉංග්‍රීසි අනුව මේ ප්‍රශ්නය ජනවර්ගය හෝ ආගම පිළිබඳව නොවෙයි, එය “විද්‍යාව ගැනයි”. එතුමා මේ කියන්නේ බටහිර විද්‍යාව ගැන බවත් පැහැදිලියි. මොන විද්‍යාව අනුව සැලකුවත් මේ ගැන විචාරබුද්ධියකින් නිදහස්ව බලන්නයි අවශ්‍ය. සිතියමක් භාවිතා කරලා සයන්ස් සඟරාවේ මෙහෙම තියෙනවා කීව පලියට යමක් පිළිගන්න තරම් සමාජයක් මෝඩ වෙන්න ඕනෑ නැහැ.

භූගත ජල මට්ටම ගැන ඔයවගේ සංඛ්‍යාන දත්ත වල තියෙන්නේ අනුමාන බවත් ඒවා සියලු තැන් වලදී (විශේෂයෙන් අවදානම් අධික සංසිද්ධි විෂයෙහි) යොදා ගන්න බැහැ කියල සබ්රි මහතා ට නොවැටහෙන බව පැහැදිලියි. ඇතැම් වෛද්‍යවරුන් පවා සංඛ්‍යානය දත්ත යොදා ගන්න ආකාරය දැක්කම නීතීඥයන්ට සහ දේශපාලනඥයන් ට ඒ ගැන මනා අවබෝධයක් නොතිබීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

තමන්ට වාසි එක කොනකින් අල්ලා ගෙන තර්කයක් යම් සන්දර්භයක ජයග්‍රහණය කිරීමට අවශ්‍ය උපාය යෙදීම අප බොහෝ දෙනා කරනවා. නීති ක්ෂේත්‍රයේදී ත් එහෙම තමයි. නමුත් මේ වගේ ව්‍යසනයකදී එවැනි උපායක් තෝරාගැනීම ඉතාම භයානකයි.

භූගත ජල තලයේ ගැඹුර ගැන සයන්ස් සඟරාවේ තිබේය කියා සබ්රි මහතා කියන කතාව සාවද්‍ය නැහැ කියල අපි මොහොතකට විශ්වාස කරමු (ඇත්තටම සයන්ස් හෝ වෙනත් සඟරාවක් එබඳු මතයක් දරන්නේ නැහැ. එහි යම් පර්යේෂණ පත්‍රිකාවක ඒ පත්‍රිකාවේ කතෘ වරුන් ගේ මතයක් තමයි දක්වන්නේ. සබ්රි මහතාගේ අදහසේ තාක්ෂණික දෝෂය අපි නොසලකා හරිමු දැනට). දැන් එවැනි එක නිර්ණායකයක් අරගෙන මේ ගැන නිශ්චයකට එන එක කොතරම් නුවණැති ද? පහත සඳහන් දත්ත ගැනත් ටිකක් අවධානය යොමු කරන්න කාරුණික වෙන ලෙස සබ්රි මහතා ගෙන් මා ඉල්ලා සිටිනවා.

ජන ඝනත්වය

සබ්රි මහතා දක්වන රටවල් වල සහ ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය සංසන්දනය කරමු.

කැනඩාව – වර්ග කිලෝමීටරයට මිනිස්සු 4 යි.
බ්‍රසීලය – වර්ග කිලෝමීටරයට මිනිස්සු 25 යි.
ආර්ජන්ටිනාව – වර්ග කිලෝමීටරයට මිනිස්සු 17 යි.
නෙදර්ලන්තය – වර්ග කිලෝමීටරයට මිනිස්සු 422 යි.
රුසියාව – වර්ග කිලෝමීටරයට මිනිස්සු 9 යි.
ශ්‍රී ලංකාව – වර්ග කිලෝමීටරයට මිනිස්සු 341 යි.

මෙතන නෙදර්ලන්තය හැරුනම අනෙක් සියලු රටවල් පාහේ ජන ඝනත්වය අතින් ලංකාව එක්ක සංසන්දනය කරන්න බැරි තරම් ඉතාම පහල ජනඝනත්වයක ඉන්නේ. ඒ නිසා, කැනඩාව වගේ ජනඝනත්වය ඉතාම අඩු රටක භූගත ජල මට්ටමේ ගැඹුර අඩු බව දක්වල ලංකාවට එය ආදේශ කිරීමට යාම ඉතාම භයානක වැඩක් බව සබ්රි මහතාට වැටහේවා!

මේ රටවල් වල අවශ්‍යතරම් ජනශුන්‍ය ප්‍රදේශ වියලි ප්‍රදේශ තිබෙනවා. වෙන් කිරීම් ඉතාම පහසුයි අපිට සාපේක්ෂව. ඔවුන්ගේ ආහාර නිෂ්පාදන සහ වගා කටයුතු බෙහෙවින්ම පාලිත තත්ත්වයන් යටතේ කෙරෙන්නේ. ජල සැපයුම් බොහෝ විට ප්‍රාථමික නොවන විධිමත් පිරිපහදු කිරීම් වලින් යුක්තයි. අපේ රටේ නළ ජලයේ පිරිපහදුව පවා විවිධ බලපෑම් වලට ලක්වෙනවා. පිරිපහදු තාක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය අවම මට්ටමක තියෙන්නේ. නළ ජලය භාවිතා කරන බොහෝ දෙනා පවා ලිඳක් නළ ලිඳක් භාවිතා කරනවා. මුස්ලිම් වරුන් වැඩි වශයෙන් ජීවත්වන පළාත් බොහොමයක ඔවුන්ගේ සංස්කෘතිය අනුව ජන ඝනත්වය වඩාත් වැඩියි. රටේ වගා සඳහා ගන්නේ වැව් ජලය මිසක ඔබ පෙන්වන රටවල් වල වගේ නළ ජල සැපයුම් ජාලයක් නොවෙයි. නැගෙනහිර විශාල වශයෙන් වගා කටයුතු කරන කුඹුරු කරන මුස්ලිම් වරුන්ගේ ජල සැපයුම ගැන හා ප්‍රමිතීන් ගැන ඔබේ අවධානය යොමු වුණාද?

අපි නෙදර්ලන්තය ගැනත් පොඩ්ඩක් කතා කරමු- නෙදර්ලන්තය සබ්රි මහතාගේ තර්කයට පක්ෂ උදාහරණයක් කියල කෙනෙක්ට හිතෙන්න හැකි නිසා. නෙදර්ලන්තය කියන්නේ ඉතාම ඉහල ආර්ථික ශක්තියක් තියෙන රටක්. එහි ඒක පුද්ගල වාර්ෂික ආදායමේ සාමාන්‍ය ඇමෙරිකානු ඩොලර් 50000 ට වැඩියි. නෙදර්ලන්තයේ විධිමත් ජල සැපයුම ජනගහනයෙන් 100% කියා සඳහන් වෙන්නේ. ලංකාවේ එහෙමද?

ලංකාවේ ආර්ථිකය කොතනද තියෙන්නේ කියල සබ්රි මහතාට මා වැන්නෙක් කියන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. අනික ආදාහනයක් වෙනුවෙන් භූමිදානයක් තෝරාගන්න තැනකදී ඒ සඳහා ගත යුතු සහ ගත හැකි ඕනෑම ප්‍රමිති මට්ටමක් උසස්ම ලෙසින් ක්‍රියාත්මක කරන්න නෙදර්ලන්තයට තියෙන ආර්ථික හයිය, සංවිධානමය හයිය මේ වෙලාවේ ලංකාවේ තියෙනවද? එවැනි සහතිකයක් ජනතාවට දෙන්නේ අලිසබ්රි මහතා පෞද්ගලිකවද? නැත්නම් අධිකරණ අමාත්‍ය වරයා ලෙසද? යන ප්‍රශ්නයත් මගේ සිතට එනවා වෙලාවකට.
අපි තව කරුණක් සලකා බලමු.

භූමි ප්‍රමාණය.

කැනඩාව – වර්ග කිලෝමීටර 9,984.670
බ්‍රසීලය – වර්ග කිලෝමීටර 8,515,767
ආර්ජන්ටිනාව – වර්ග කිලෝමීටර 2,780,400
නෙදර්ලන්තය – වර්ග කිලෝමීටර 41,526
රුසියාව – වර්ග කිලෝමීටර 17,125,242
ශ්‍රී ලංකාව – වර්ග කිලෝමීටර 65610

දැන් මේ ඉලක්කම් වල පරතරය නොතේරෙන්න නම් අකුරු ඉලක්කම් කියවන්න බැරි වෙන්න ඕනේ. එහෙම බැරි වුනත් සබ්රි මහතා පෙන්වපු සිතියමේ රටවල් වල විශාලත්වය තේරුම් ගත්තත් ඇති. එකම වෙනස් තියෙන්නේ නෙදර්ලන්තයේ විතරයි. දැන් අපි ඔක්කොම නෙදර්ලන්තය ගත්ත අවදානම ගන්න ඕනෙද වෙන සාධක කිසිවක් නොසලකා?

නෙදර්ලන්තය සතුව දැනට පවතින දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය පමණක් 50000 ට වැඩියි. ලංකාවේ දාහක් වත් තියෙනවද? නෙදර්ලන්තයට වඩා ලංකාවේ ජනගහනය වැඩියි.

ඊ ලඟට මේ සියලු රටවල් සමග සංසන්දනය කරමින්,

  • අපේ රටේ භූ විෂමතාවය
  • ජලය ගලා යන ආකාරය සහ එහි විචලනයන්
  • වර්ෂාපතනය සහ එහි විචලනයන්
  • සුළං ගමන දිශාව සහ වේගය
  • රළු මුහුදකින් වටවී තිබීමෙන් වන බලපෑම
  • ඉන්දියානු අර්ධද්වීපයට ආසන්නව පිහිටීම නිසා ඇති බලපෑම
  • ලංකාවේ පසෙහි ජීවීන් හා ජීරණ ක්‍රියාවලියේ සාධක

සබ්රි මහතා සහ භූමිදානය කිරීම් වලට පක්ෂ පිරිස් මේ තත්වයන්හි බලපෑම සලකා බැලුවද?
පොදුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය මල සිරුරු භූමි දානයේ දී පිළිපදින්න අවශ්‍ය මූලික කරුණු කිහිපයක් නිර්දේශ කර තියෙනවා. ලංකාවේ අඩු තරමේ මේ සාධක පවා හරියටම පිළිපදින්න අවශ්‍ය ස්වභාවික දත්ත එකතු කිරීම් කර ඇති බවක් පෙනෙන්න නැහැ. ලංකාවේ භූගත ජල ධාරා ගැන ඒ ඒ වර්ෂා කාල වලදී එහි වන විචලනයන් ගැන තාක්ෂණික දත්ත සිතියම් කර තිබෙනවාද? ඒවා මාස කිහිපයකට වතාවක් තියා අවුරුදු කීපයකට වතාවක් වත් යාවත්කාලීන කරනවාද? භූ තල සහ භූ ගත ජල මට්ටම් වල සහ ජල ප්‍රවාහයන් හි ආසන්න වශයෙන් වත් දත්ත ලංකාවේ තියෙනවද? සයන්ස් සඟරාවෙන් හරි කමක් නැහැ සොයා දෙන්න හැකිද එවැනි තොරතුරු?

එපමණක් නොවෙයි, භූමිදානයන් නොකරන නෙදර්ලන්තයේ කොරෝනා ව්‍යාප්තිය ඉතාම අධිකයි. මේ වනවිට කොවිඩ් මරණ 8000 ට වඩා වාර්තා වුන, මේ දිනවල දවසකට නව රෝගීන් 5000 කට වඩා අලුතෙන් එකතු වන සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවන රටක්. සබ්රි මහතා කියන්නේ අපි නෙදර්ලන්තය වගේ වෙන්න ඕනේ කියලද?

දැන් අපි මේ රටවල් වල ආදායම් මට්ටම ටිකක් සලකා බලමු.

කැනඩාව – 1,700,000,000,000 (ඩොලර් ට්‍රිලියන 1.7)
බ්‍රසීලය – 1,800,000,000,000 (ඩොලර් ට්‍රිලියන 1.8)
ආර්ජන්ටිනාව – 520,000,000,000 (ඩොලර් බිලියන 520)
නෙදර්ලන්තය – 913,000,000,000 (ඩොලර් බිලියන 913)
රුසියාව – 1,600,000,000,000 (ඩොලර් ට්‍රිලියන 1.6)
ශ්‍රී ලංකාව – යාන්තම් ඩොලර් බිලියන 88 යි.

දැන් මේ ආර්ථික සාධක ජන ව්‍යාප්තිය දේශගුණික සාධක වගේ සාධක ගණනාවක් සලකල මිස මම සිංහලද දෙමල ද මුස්ලිම්ද කියල නොවෙයි තීරණ ගන්න ඕනෑ. තව අවුරුදු සිය දහස් ගණනක අපිට පරිසරය එක්ක තියෙන සම්බන්ධය අපේ දරු පරම්පරා වල ආරක්ෂාව ගැන හිතල අවදානම් වලට ඉඩක් නොදී ගන්න ඕන ඉතාම බරපතල තීරණයක් සබ්රි මහතාට එන ඇමතුම් වලින් 99% කගේ ඉල්ලීම මත ප්‍රමුඛතාව දීල ගන්න එක කොයි තරම් සාධාරණ ද?

මේ ලිපය නිසා හෝ දැනටමත් මාව “Racist Rant” ලැයිස්තුවකට ඇතුළු වෙයිද කියා මා දන්නේ නැහැ. නමුත් අපගේ කාරුණික ආයාචනය තමන්ගේ අදහස දක්වද්දී ඒකපාක්ෂික කරුණු දැක්වීම් කරන්න එපා. ආදාහනය නිසා මළසිරුර ආශ්‍රය කරගෙන වියහැකි පැතිරීම් පිලිබඳ අවදානම අතිශයින් දුරු වෙනවා. අවම වෙනවා. භූමිදානය ට ඉඩ දීමෙන් අවදානම් ගණනාවකට යොමුවෙනවා. එහෙම තීරණයක් ගත්තත් අවශ්‍ය ප්‍රමිතීන් පවත්වාගෙන එය කරනන් විශාල පිරිවැයක් සහ ස්වභාවික සම්පත් ප්‍රමාණයක් වැය වෙනවා. ඔබේ දහමින් ඉගැන්වෙන කරුණා දයා විචාරශීලී බවක් වේ නම් එය යොදාගන්න මේ ඉතාම සුදුසු වෙලාවක්. සහෝදර මුස්ලිම් වරුන්ගේ භූමිදාන අවශ්‍යතාව ගැන අප අසංවේදී වෙනවා නොවෙයි. නමුත් මේ ප්‍රශ්නය ඊට වඩා බොහෝ පුළුල්.

සයන්ස් සඟරාව නොවෙයි, මොන සඟරාවට වත් කොවිඩ් ආවේ කොහොමද? කොවිඩ් වලට බෙහෙත් මොනවද? කොවිඩ් වල ප්‍රභේද සහ වර්තමාන තත්වය මොකක්ද? එය මහපොළොව ඇතුලේ මොනවගේ වෙනසකට, ජීවමය විකාශනයකට භාජනය වෙයිද ? මල සිරුරක විලෝපික ජීවීන් ගේ හැසිරීම් මොනවගේ වේවිද? යනාදී දහසකුත් එකක් ප්‍රශ්න වලින් එකකට වත් උත්තරයක් නැහැ.

බලවත් ය උසස් ය ශ්‍රේෂ්ඨ ය විශිෂ්ට ය කියල අපිට උගන්වන විද්‍යාව සහ ඒ විද්‍යාව එක්ක බැඳිලා තියෙන කාර්මික සහ නගර සංස්කෘතිය කොවිඩ් හමුවේ තවම පරාදයි. ඒ නිසා, මේ ගැන විරුද්ධ වෙන මිනිස්සු ඔක්කොම ජාතිවාදීන්, අන්තවාදීන් කියා හංවඩු ගහන්න එපා. ඔබ විසින් යෝජනා කරන අවදානම ගන්න එක ඒ මුස්ලිම් වරුන්ගේ ඊළඟ දරු පරම්පරාවල සුවපත් පැවැත්මට පවා බාධාවක් වෙන්න හැකි. රටේ බලවත් අමාත්‍ය වරයෙක් ලෙස ඔබේ විෂය පථයෙන් බාහිර කරුණකදී පවා ඔබේ මතයට ඇති සමාජ දේශපාලන බලය අපට පැහැදිලියි. නමුත්, මේ මොහොතේ ඔබ කියනා පරිදිම මේ තත්වය ගැන මීට වඩා විවෘත විචාරශීලී මනසකින් බලන ලෙස ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap