Opinion

අසලාම් මලෙක්කුම් ඉම්රාන් ඛාන්!

Summary

ඉම්රාන් ඛාන්ගේ පැමිණීමත් කෝවිඩ් වැළදී මිය ගිය අයගේ මළ සිරැරැ භූමදානය කිරීමට අවසර දීමත්, කිසිදු සම්බන්ධයක් නැති අහඹු සිදුවීම් දෙකක් බව මිත්‍රයා වැඩිදුරටත් පැවසුවේය. එසේම කෝවිඩ් වැළදී මිය ගිය අයගේ සිරැරැ භූමදානය කිරීමට මෙතෙක් ඉඩ නොදීමත් කෝවිඩ් බෝවීමත් අතරත් කිසිදු සම්බන්ධයක් නොතිබූ බව මිත්‍රයා නොකීවේය.

ලංකාවට දින දෙකක නිල සංචාරයකට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ සම්බන්ධීකරණ කටයුතු පැවරී තිබුණේ මාගේ මිත්‍රයෙකු හටය. කලක් ශ්‍රී ලංකා කණ්ඩාමට ක්‍රීඩා කළ ඔහු අනූව දශකයේ මුල ඉම්රාන් සමග ද ක්‍රිකට් තරඟ කිහිපයක් ද ක්‍රීඩා කර ඇත. පසුව එංගන්තයේ එකම ප්‍රාන්ත කණ්ඩාමට ද ක්‍රීඩා කරන අතර හොද මිතුරන්ව උන් මේ දෙදෙනා දශක දෙකකින් පමණ මුණගැසී තිබුණේ නැත.
මාගේ මිත්‍රයා දුටු ඉම්රාන්ගේ මුහුණට ආවේ මල් හිනාවකි. මිත්‍රයා ලැජ්ජාවෙන් ඇඹරැණි. ඉම්රාන්ගේ රිවස් ස්වින්ග් යොකර් එකෙන් කකුලේ ඇගිලි බේරගන්න ගිහින් තම දකුණු පොල්ල ගැලවී ගිය අවස්ථාවෙත් ඔහු දැමූවේ ඔය හිනාවම නේදැයි මිත්‍රයාට සිහි විය.
“කොහොමද ඉතිං රිටෑයමන්ට් එක?” ඉම්රාන් ඇසුවේය.
“උඔට නම් ඉතිං වාසියිනෙ නේද? ඔයා එදත් පාකිස්ථාන් කැප්ටන් අදත් පාකිස්ථාන් කැප්ටන්. මම නම් කල්පිටියෙ ඉස්සො කොටුවක් කරනවා. වෙලාවක් තිබ්බොත් වරෙන් කමු ඉස්සෙක්” මිතුරා කීය.
“ඉස්සො? ඇයි ක්‍රිකට් ජොබ් නැද්ද?” ඉම්රාන් විස්මයෙන් ඇසීය.
“වැඩක් නෑ මචං. ක්‍රිකට් බෝර්ඩ් එකත් එක්ක වැඩ කරනවට වැඩිය හොදයි මාලු මරණ එක. දැක්කනෙ වාස්ටත් වෙච්චි දේ” මිත්‍රයා කණස්සල්ලෙන් කීය.
මගේ මිත්‍රයාට වචන පහකට වරක් මචං කීමේ පුරැද්දක් තිබේ. පැරණි මිතුරෙකු වූ ඉම්රාන් සමගද ඔහුට එහි වගක් නොවීය.
“මොකක්ද මචං කියන එකේ තේරැම?” පාකිස්ථානු අගමැති ඇසුවේය.
රාජ්‍ය නායකයෙකු මචං වීමේ බරපතලකම මිතුරාට වැටහුණේ එවිටය. ඔහු සනත් ජයසූරිය වගේ පන්දුව දඟ කැවීමට උත්සාහ ගත්තේය. ඒ කියන්නේ පන්දුව දඟ කැවුනේ නැත.
“මචං කියන්නේ සර් කියන එකනෙ” කියා මිතුරා ඇඹරැණේය.
“කමක් නෑ මචං, මචංම කියපං” ඉම්රාන් කීවේය. එකල එංගලන්තයේදී ඉම්රාන්ට කියා දුන් සිංහල පාඩම් ඔහුට සිහි විය. ස්ලෝ ෆුල්ටොස් පන්දුවකට මැද ඉන්න ගැලවී ගිය බව මිතුරා වැටහුණි.
“ඒක නෙමෙයි මචං, කොහොමද ලංකාවෙ මුස්ලිම් මිනිස්සුන්ගෙ තත්ත්වෙ?”
එවර ඉම්රාන් මචං කතාව පටන් ගත්තේය. එන්නේ හොද පොටකට නොවන වග මිත්‍රයාට වැටහුණි. එකල ඉම්රාන්ගේ පන්දු යැවීම තමාට කෙතරම් මානසික පීඩනයක් වී තිබුණාදැයි මිතුරාට සිහිවූයේ එවිටය. තමා යළි ඉම්රාන් සමඟ පිටිය මැද තනි වී සිටින බැව් ඔහුට දැනුණි.
“අවුලක් නෑ. අපි පිලවුස් එකෙන් හරක් මසුයි පරාටයි කාලා තමයි උන්ට #රි තම්බි කියලා බනින්නේ. ගැහුවත් ගහන්නෙ බුරියානියක් කාලා”
ඉම්රාන්ට තමා තවමත් බිය බැව් මිත්‍රයාට පසක් වූයේ වැරදී ඇත්ත කියවීමෙන් සහ සියොලඟ දහඩියෙන් බත්වී තිබීම හේතුවෙනි. ඒත් තමා කලබල වී පිත්ත දැමුවේ අහක යන පන්දුවකට බැව් ඔහුට වැටහුණේ ඊටත් පසුය.
“ඒ කියන්නේ තත්ත්වෙ බරපතලයි නේද?” ඉම්රාන් බැරෑරැම් මුහුණක් දා ගත්තේය.
“අපෝ නෑ. එහෙම වුණාට අපි පාකිස්ථානෙට ෆුල් සපෝට්. (හැබැයි ලංකාවෙ තම්බි උඹලගේ ටීම් එකට සපෝට් කරොත් නම් අපි නෙලනවා හොදේ). පොඩී අවුලකට තියෙන්නේ උඹලගෙ රටේ නම විතරයි”
මිතුරා එක දිගට ඉම්රාන්ගේ පන්දු හයකට මුහුණ දුන්නාක් මෙන් ඔල්මොරොන්දන් වී සිටියේය.
“මොකක්ද පාකිස්තාන් නමේ උඹලට තියෙන අවුල?”
ඉම්රාන් පිට ඉන්නට මදක් මෙපිටින් පන්දුව පතිත කළේය. නිදැල්ලේ පන්දුවට යෑමට දීමට ද මිතුරාට බය සිතුණි. ලීව් කරලා පොලු ගියොත් ලැජ්ජාවේ බැරිය. ඔහු පසු පාදයේ ආරක්ෂක පහරකට ගියේය.
“නෑ. මචං. උඹලගේ රටේ නම කෙටි කරලා මෙහේ එවුන් කියන්නේ ‘පක්කො’ කියලා. ඒක සිංහල කුණුහරුපයකට ටිකාක් ලඟයි. ඒකයි. එච්චරයි. ඒ ඇරැණම අර ‘ඉස්ලාම් ජනරජය’ කියන කෑල්ල අපි අමතක කරලා දාමුකෝ”
තමා අපරික්ෂාකාරී ලෙස දුවද්දී දැවී යාමකට ආසන්න බව මිතුරාට වැටහුණි.
“ඇයි යකෝ එතකොට උඹලා, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියලා උඹලගෙ රටේ කවදාවත් තිබ්බෙ නැති රෙද්දවල් නමට දාගෙ තියෙන්නෙ?” කියමින් ඉම්රාන් සිනාසුනේය. ඉම්රාන් සිනාසෙනු දැකීමට ද මගේ මිත්‍රයා බයය. සෑම බවුන්සර් පන්දුවකට පෙරම සිනාසීමේ පුරැද්දක් ඉම්රාන්ට තිබුණි.
“එතකොට උඹලා අනෙක් සුලු ජාතීන්ට සලකන්නෙත් එහෙමද?”
මිත්‍රයා බවුන්සරයට ඔලුව පාත්කර මෙසේ කීවේය.
“නැත්තං මචං. අපි සියලු සුලු ජාතීන්ට සමසේ සලකනවා. ඒකනෙ ආදරේට අපි පර දෙමළු කියන්නේ”
එය ඇසූ ඉම්රාන් මිතුරාගේ කනට ලංකළේය.
“ඒකට ඉන්දියාව උඹලට තග දාන්නෙ නැද්ද?” ඔහු රහසින් මිමිණුවේය.
“මොකද නැත්තේ මචං. අපි බැක් ෆුට් එකේම තමයි ගේම ගහන්නේ. හැබැයි අපි බය බව ප්‍රසිද්ධියේ පෙන්නන්නෙ නෑ (ඔයාට වගේම තමයි). බටහිර ජැටිය ඉල්ලුවොත් නැගෙනහිර එක හරි දෙනවා. ඒවුණාට ඇත්තටම අපිට පෙන්නන්න බැරි අපේ රටේ උන් විතරයි. පිටරට ඉන්න ලාදුරැකාරයෙක් වුනත් අපි ඉඹලා පිළිගන්නේ. උඹලගෙ රටේ සහෝදර ජනතාවටත් අපි ආදරෙයි” මාතෘකාව දෝලනය වී කඩුල්ලෙන් පිටතට යෑම පිළිබදව මිතුරාට ඇති වූයේ සැනසීමකි.
“ඒ වුනාට මුරලිදරන්ට උඹලා ලව්නෙ?” ඉම්රාන් ඒපාර අංශක පහළොවට වඩා අත නමා පන්දුව දමා ගසන්නට පටන් ගත්තේය.
“ආ එයාට අපි, ගෞවරවනීය සිංහල බෞද්ධ පුරවැසිකමක් දුන්නනෙ. දැන් ඌව පෙන්නන්න බැරි දෙමළ මිනිස්සුන්ට”
ඉම්රාන් ප්‍රශ්න ඇසීම පසෙක තබා කල්පනා කිරීමට ගත්තේය. ඊළඟ පන්දුව පැමිණීමට පෙර තමන්ම කඩුල්ලට පිත්තෙන් පහර දී හිට් විකට් වී දැවීයෑම යෙහෙකැයි මිතුරා සිතා ගත්තේය.
“ලංකාව යන පාර හොදයි. උඹලට අපෙන් ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. එතකොට දවසක ඔහේලටත් පුලුවන් අපේ රට වගේම වෙන්න. පාකිස්ථානෙ අලි බූතො නඩු අහලා මැරැවා. බෙනාසීර් පාරෙදි මැරැම් කෑවා, අල්ලස් දූෂණ වලට රටේ අගමැතිලා හිරේ ගියා, හමුදාව හිතුණු හිතුණු වෙලාවට බලේ ඇල්ලුවා, නායකකම ගන්න යූසුෆ් යොහානා – යූසුෆ් මොහොමඩ් වුණා. කොටින්ම ඔසාමා බින් ලාඩෙන් පවා හිටිය රටක් අපි. උඹලා දන්නවද අපි ඒවයින් ගොඩ එන්න මොකද කළේ කියලා?”
කැමති පැත්තකට ගහ ගන්නයැයි කියා පිටිය මැද කොටා ඉම්රාන් මද වේගී නිපන්දුවක් එව්වේය. මිත්‍රයා ලෑල්ල දැම්මේය.
“ඉතිං මොකද උඹලා කලේ?” මිතුරා ඇසුවේය.
“මුකුත් නෑ” ඉම්රාන් කීවේය.
ඉම්රාන් ඛාන්ගේ පැමිණීමත් කෝවිඩ් වැළදී මිය ගිය අයගේ මළ සිරැරැ භූමදානය කිරීමට අවසර දීමත්, කිසිදු සම්බන්ධයක් නැති අහඹු සිදුවීම් දෙකක් බව මිත්‍රයා වැඩිදුරටත් පැවසුවේය. එසේම කෝවිඩ් වැළදී මිය ගිය අයගේ සිරැරැ භූමදානය කිරීමට මෙතෙක් ඉඩ නොදීමත් කෝවිඩ් බෝවීමත් අතරත් කිසිදු සම්බන්ධයක් නොතිබූ බව මිත්‍රයා නොකීවේය.

Leave a Reply

Your email address will not be published.