COLUMN

අසික්කිත සංශෝධන

Summary

පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය. පොතේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ) හැටියට ගත්තොත් පාර්ලිමේන්තුවට ඕන වෙලාවක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න, ඒ වගේ ම, තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන්. ඒත් පාර්ලිමේන්තුවට තියෙන ජනතාවගේ කැමැත්ත එක දිගටම මුල විදිහට ම තියෙන්නේ නෑ. […]

පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය. පොතේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ) හැටියට ගත්තොත් පාර්ලිමේන්තුවට ඕන වෙලාවක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න, ඒ වගේ ම, තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන්. ඒත් පාර්ලිමේන්තුවට තියෙන ජනතාවගේ කැමැත්ත එක දිගටම මුල විදිහට ම තියෙන්නේ නෑ. කාලයත් එක්ක මේ කැමැත්ත අඩුවීමේ ඉඩකඩ වැඩියි. ඉතින් පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් ඒක කරන්න ඕන පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ බලය හොඳින් ප්‍රකාශවෙන කාලයක දී
1972 ජනරජ ව්‍යවස්ථාව හඳුන්වලා දුන්නේ ඒ පාර්ලිමේන්තුව බලයට පත්වෙලා අවුරුදු දෙකක් ගතවෙන්න කලින්. ඒ වෙද්දීත් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය හොඳින් ක්‍රියාත්මක වුණා. ඉතින් ජනරජ ව්‍යවස්ථාව හඳුන්වාදීම සදාචාරාත්මක විදිහට වෙච්ච වැඩක්.
1977 මැතිවරණයෙන් ජේ. ආර්. මහත්තයා හයෙන් පහක බලයක් ගත්තා. ඒ බලය හොඳින් ක්‍රියාත්මක වුණු මුල් ම කාලයේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව හඳුන්වලා දුන්නා. ව්‍යවස්ථාවේ අන්තර්ගතය ගැන මොන විවේචන තිබුණත් ඒ ව්‍යවස්ථා වෙනස කළේ නියම විදිහට බලය ප්‍රකාශවෙච්ච පාර්ලිමේන්තුවකින්.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ඉන්දියාවේ බලහත්කාරකමට යටවෙලා. ඒ වෙද්දී පැවැතුණේ වංචා සහගත විදිහට ජනමත විචාරණයක් මාර්ගයෙන් බලයේ එල්ලිලා හිටිය ආණ්ඩුවක්. එක පැත්තකින් ඉන්දියාවේ බලහත්කාරකම, අනිත් පැත්තෙන් ආණ්ඩුවේ සුජාත බවක් නැතිකම, තවත් පැත්තකින් රටේ තිබුණු ආණ්ඩු විරෝධය කියන මේ හැම සාධකයක් ම සළකා බලද්දී ඒ සංශෝධනය අසික්කිත වැඩක් කියලා පැහැදිළියි.

15 වැනි සහ 16 වැනි සංශෝධන දෙක සම්මත කරගත්තේ 1988 ජනාධිපතිවරණයේ ප්‍රචාරක වැඩ අවසන් කරලා ඡන්දය දෙන දවස දක්වා දීලා තිබුණු විරාම කාලය තුළ දී. ඉතින් ඒකත් අසික්කිත සංශෝධනයක්. ඒ වගේ ම, මැතිවරණ දූෂණයක්. 2001 අවුරුද්දේ 17 වැනි සංශෝධනය ගෙනාවෙත් ආණ්ඩුවට බහුතරය අහිමිවෙලා, රටම අස්ථාවර වෙලා තියෙන වෙලාවක. එහෙම වෙලාවක ව්‍යවස්ථාවට විශාල පරිච්ඡේද පහක් අලුතින් එකතුකරන්න ජවිපෙ ප්‍රමුඛ පිරිස කටයුතු කළා. ඉතින් චන්ද්‍රිකා නෝනාගේ බෙල්ලට පිහිය තියලා කරපු ඒ ව්‍යවස්ථා සංශෝධනයත් අසික්කිත එකක්.

2010 මැතිවරණයෙන් තුනෙන් දෙකක් ගත්ත මහින්ද මහත්තයා ඉදිරිපත් කරපු 18 වැනි සංශෝධනය වැදගැම්මකට නැති එකක් වුනත් ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ බලය හොඳින් ප්‍රකාශවුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ 2010 බලයට ආපු ආණ්ඩුවේ ඡන්දයෙන්. ඒ, මහින්ද මහත්තයා ජනාධිපතිවරණයෙන් පැරැදිලා, පාර්ලිමේන්තුව තක්බීර් වෙලා හිටිය අවස්ථාවක්. ඉතින් ඒ අය 19 වැනි සංශෝධනයට අත ඉස්සුවේ කැමැත්තකින් නෙවෙයි. එහෙම අත උස්සපු සෑහෙන පිරිසකට මාස කීපයක් ඇතුළත මන්ත්‍රී ධූරත් අහිමිවුණා. ඉතින් 19 වැනි සංශෝධනයත් අසික්කිත විදිහට කරපු එකක්.

2020 මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ගත්ත ආණ්ඩුව ඉතා කෙටි කාලයක් ඇතුළත 20 වැනි සංශෝධනය හඳුන්වලා දුන්නා. 19 වැනි සංශෝධනයෙන් කරපු වැරැදි මුළුමනින්ම නිවැරැදි නොකළත් එහෙම වෙනසක් කරන්න අවශ්‍ය බලය ආණ්ඩුවට තිබුණා. මැතිවරණයෙන් ලබාගත්ත බලය ඒ විදිහට ම පාර්ලිමේන්තුව ඇතුළේ රැකිලා තිබුණා. දැන් ආණ්ඩුවේ බලය අභියෝගයට ලක්වෙලා. රට පුරාම මිනිස්සු ආණ්ඩුව ගැන කලකිරිලා. ආණ්ඩුවට තුනෙන් දෙක තියා සාමාන්‍ය බහුතරය තියෙනවා ද කියන එකත් ෂුවර් නෑ. ඉතින් මෙහෙම වෙලාවක ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් ද? ඉතින් දැන් 21 නමින් ඉදිරිපත් කරලා තියෙන්නේ තවත් අසික්කිත සංශෝධනයක්.

ආණ්ඩුවක් බලයට ඇවිල්ලා අවුරුදු දෙකක් ඇතුළත ඒ අයගේ සහ අනෙකුත් හවුල්කාරයන්ගේ බලයේ ලොකු වෙනසක් සිද්දවෙලා නැතිනම් විතරක් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්, අලුත් ව්‍යවස්ථා හඳුන්වලා දෙන්න පුළුවන් කියලා විධිවිධානයක් පනවන්න ඕන. එහෙම නැතුව බලය පිරිහිච්ච ආණ්ඩුවලට සහ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවත් එක්ක සෙල්ලම්කරන්න දෙන්න හොඳ නෑ.
(මේත් එක්ක පළකරන ඡායාරූපයෙන් පෙන්නන්නේ 2001 අවුරුද්දේ 17 වැනි සංශෝධනය හඳුන්වලා දෙද්දි රටේ පැවැතිච්ච තත්ත්වය).

Leave a Reply

Your email address will not be published.