Opinion

ආණ්ඩුවට අවුරුද්දයි – ෆේල් වෙන්න හේතු ගොඩයි

Summary

අවුරුද්දක් ඇතුළත ගාගෙන තියන මේ කුණු කන්දරාව ලොන්ඩරි හතක දාලාවත් හෝදන්න බැරි වුණත් අඩුම ගාණේ තමන් ෆේල් වුණේ ඇයි කියලා හරි තාර්කිකව හිතන්න පුළුවන් වුණොත් ඊළඟ මැතිවරණය වෙනකල්වත් අල්ලන් ඉන්න පුළුවන් වෙයි.

  • Save

තීරණාත්මක ජනාධිපතිවරණ ජයග්‍රහණයකින් වසරක් ගත වුණු තැන සාඩම්බරයෙන් එය සමරනවා වෙනුවට “ස’ ෆේල් නෑ” කියලා පරාජිතවාදී ප්‍රචාරක මෙහෙයුමක් කරන තැනට මේ ආණ්ඩුව පත් වුණේ ප්‍රධාන හේතු කිහිපයක් නිසා.

මේ ආණ්ඩුව බලයට පත් වුණු දවසේ ඉඳන් අපි දැකපු ප්‍රධාන ම ලක්ෂණය තමයි එක අරමුණක් නැති එක. ළඟම උදාහරණය තමයි කෝවිඩ් 19 කියන ගෝලීය වසංගතයට මුහුණ දුන්න ආකාරය. මේ වසංගතය සාර්ථකව කළමනාකරණය කරගත් නවසීලන්තය, තායිවානය, වියට්නාමය වගේ හැම රටක ම නායකයන් මුළු මහත් සමාජය ම වසංගතය පරාජය කරන අරමුණ එක්ක පෙළ ගස්වලා, නිරෝධායන නීති එක්ක සෙල්ලම් කරන්නේ නැතුව, මිත්‍යාව වෙනුවට විද්‍යාව කෙරෙහි විශ්වාසය තියලා ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා.

ඒ කිසිම රටක ආණ්ඩුවේ ලොක්කන්ට එක නිරෝධායන නීතියකුයි, ආණ්ඩු පක්ෂයට මැතිවරණ කරන්න සල්ලි පොම්ප කරන ව්‍යාපාරිකයන්ට තව නිරෝධායන නීතියකුයි, පොලීසියේ ලොක්කන්ට, එයාලගෙ දුවලා පුතාලට, මීඩියා චැනල්වලට තව නිරෝධායන නීතියකුයි, සාමාන්‍ය පුරවැසියන්ට තවත් නිරෝධායන නීතියකුයි ක්‍රියාත්මක වුණේ නැහැ. හැමෝට ම එක නීතියක් ක්‍රියාත්මක වුණා ම සංචරණය සීමා කරන්නත්, ආශ්‍රිතයන් හඳුනාගන්නත් විතරක් නෙවෙයි ජන ජීවිතය යම් තරමකින් හෝ අඩාල නොවී පවත්වාගෙන යන්නත් පහසු වුණා.

ඒ කිසිම රටක කොරෝනා ආසාදිතයෙක් කියන්නේ ත්‍රස්තවාදියෙක්, නිරෝධායනය කියන්නේ දඬුවමක් කියලා සමාජයට සන්නිවේදනය වෙන විදියට බලධාරීන් කටයුතු කළේ නැහැ. “යුද්දෙ දිනපු අපිට කොරෝනා කජ්ජක් ද” වගේ පුහු ආඩම්බරයකින් සහ මහන්තත්ත්වයකින් ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කළේ නැහැ. මොන තරාතිරමක පුද්ගලයෙකුට වුණත් ගරුත්වයකින් යුතුව සැළකුවා. කොරෝනා කියන්නෙ අති සංකීර්ණ සමාජ ප්‍රශ්නයක් කියලා තේරුම් ගත්තා. රටේ ජනතාව ඇස්, ඉස්, මස් ලේ තියන මිනිසුන් කියලා හිතලා තීරණ ගත්තා.

ඒ කිසිම රටක ලොක්ඩවුන් එක කියන්නේ “භීෂණයක්” කියලා සැළකුවේ නෑ. වසංගතය මර්දනය කිරීම වෛද්‍ය විශේෂයඥයන්ට භාර දීලා අනෙක් හැමෝම පුළුවන් උපරිමයෙන් ඒ අයට සහය වුණා. මාධ්‍ය සාකච්ඡා කියලා ජනතාව දැනුවත් කළේ, කොරෝනා මරණ ගැන හේතු පැහැදිලි කළේ වෛද්‍ය විශේෂඥයන් මිස හමුදා ප්‍රධානීන් නෙවෙයි. මේ නිසා ම රටේ මිනිස්සුන්ට සෞඛ්‍ය සේවය ගැන, ආණ්ඩුවේ නිවේදන ගැන, ලොක්ඩවුන් ගැන විශ්වාසයක් ඇති වුණා. මිනිස්සු ඒවට අනුගත වුණා.

ඒ කිසිම රටක මාස 6-7 තිස්සේ එක ම වෙන්ටිලේටරයක්වත් ඇණවුම් නොකර හිටියේ නෑ. අයවැයෙන් සෞඛ්‍ය වියදම් කප්පාදු කළේ නෑ. පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න විපක්ෂය කෑ ගහනකල් හිටියේ නෑ. වඩාත් ම වැදගත් දේ ඒ රටවල ඇමතිවරු මතුරපු පැන් කළ ගංගාවලට අත ඇරලා ජනතාව ඉදිරියේ විහිළුකාරයන් වුණේ නැහැ. යන්තර මන්තරකාරයො, කට්ටඩියො “රාජකීය වෛද්‍යවරු” විදියට පත් කරගත්තේ නෑ. ඒ නිසා ජනතාවට විශ්වාසයක් ඇති වුණා ආණ්ඩුව පුළුවන් උපරිමය කරනවා කියලා.

ඒ කිසිම රටක රාජ්‍ය නායකයෙක් වසංගතය වෙලාවේ ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා, තමන්ට අසීමිත බලතල පවරාගෙන, විපක්ෂ මන්ත්‍රීවරුන් දොළ පිදේනී දීලා ආණ්ඩුවට අරගෙන ඔළුගෙඩි සෙල්ලම් කළේ නෑ. ආත්මාර්ථකාමී, පෞද්ගලික බල අරමුණු නිසා වසංගතයට එරෙහි සටන අඩපණ වෙන්නෙ දුන්නේ නෑ. පාර්ලිමේන්තුවේ හදිසි අණ පනත් සම්මත කරගත්තේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන්නට මිසක් පාලකයාගේ බලය වැඩි කරගන්න නෙවෙයි.

ඒ වගේ ම මේ කිසිම රටක නායකයෙක් සීමිත වශයෙන් හරි සාර්ථක ප්‍රතිඵල ගන්න වෙලාවට “මම තමයි හොඳට ම කළේ” කියලා පම්පෝරි ගහන්න ගියේවත් ආසාදිතයන් වැඩිවෙන කොට ජනතාවට වරද පටවන්න ගියේවත් නෑ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරලා ඉතා ම සුපරීක්ෂාකාරීව හැම දෙයක් ම දිහා බලාගෙන හිටියා. කොරෝනා පාලනය ගැන ගරු බුහුමන්, නම්බු නාම ලෝකයෙන් ලැබෙන එක ගැන හරි නොලැබෙන එක ගැන හරි හිතන්නෙ නැතිව තමන්ගේ රාජකාරිය හරියට කළා. ආණ්ඩුවේ ඇමතිවරු හරි නීති කැඩුව නම් කෙළින් තීරණ අරගෙන ගෙදර ඇරියා. වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට වැඩ බාර දීලා කැමරා ඉස්සරහ සංදර්ශන නොදා ඒ අයට අවශ්‍ය පහසුකම් සැලසීම විතරක් කළා.

බල උන්මාදයයි, හැමදේම මිලිටරි බලයෙන් කරන්න පුළුවන් කියන අන්ධ විශ්වාසයයි, විෂය දැනුම තියෙන විශේෂඥයන්ට වඩා පවුල සහ පවුලේ හිතවතුන් විශ්වාස කිරීමයි, මිත්‍යාව කර පින්නගෙන කට්ටඩින් ලවා වසංගත පාලනය කරන්න යාමයි තවත් ලියලා ඉවර කරන්න බැරි හේතු ගණනාවකුයි අවුරුද්දක් ගත වන තැනදි ආණ්ඩුව ෆේල් වෙන්න මූලිකවම බලපෑවා.

අවුරුද්දක් ඇතුළත ගාගෙන තියන මේ කුණු කන්දරාව ලොන්ඩරි හතක දාලාවත් හෝදන්න බැරි වුණත් අඩුම ගාණේ තමන් ෆේල් වුණේ ඇයි කියලා හරි තාර්කිකව හිතන්න පුළුවන් වුණොත් ඊළඟ මැතිවරණය වෙනකල්වත් අල්ලන් ඉන්න පුළුවන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap