COLUMN

ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය – 14 වැනි කොටස

Summary

විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලයෙන් සහ දිස්ත්‍රික් නායක මණ්ඩලයෙන් ජාතික විධායක සභාව සමන්විත වෙයි. මේ අනුව විෂයානුබද්ධ ජනතා නියෝජනයකින් සහ භූමිය මත පදනම් වූ ජනතා නියෝජනයකින් ජාතික විධායක සභාව සැකසෙයි.

බෞද්ධ ජනරජ ප්‍රවාදය – 14 වැනි කොටස

බෞද්ධ ජනරජය තුළ “ජනතාවගේ විධායක බලය” ක්‍රියාත්මක කරවීමට පමණක් බහුපක්‍ෂ ක්‍රමය.යොදාගන්නා බව මෙයට පෙර ලිපිවලින් පැහැදිළි කළෙමු. ඒ අනුව, ජනරජයේ විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට සහ සියළු කෝරළ සභාවල සභාපතිවරුන් තෝරා පත් කරගැනීමට බහුපක්‍ෂ ක්‍රමය යොදා ගැනෙයි. ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර කෙරෙනුයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ “ජාතික විධායක සභාව” විසිනි.

විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලයෙන් සහ දිස්ත්‍රික් නායක මණ්ඩලයෙන් ජාතික විධායක සභාව සමන්විත වෙයි. මේ අනුව විෂයානුබද්ධ ජනතා නියෝජනයකින් සහ භූමිය මත පදනම් වූ ජනතා නියෝජනයකින් ජාතික විධායක සභාව සැකසෙයි.

ජනාධිපතිවරයා විසින් විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලයට සාමාජිකයන් තෝරා පත්කර ගනුයේ ඒ ඒ අමාත්‍යංශය පාලනය කිරීමට ස්ථාපිත කරනු ලබන පාලක සභාවලිනි. ඒ ඒ අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවලින් තේරි පත්වෙන ආයතනික සහ වෘත්තීය නියෝජියන්ගෙන් ද ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන විට අපේක්‍ෂකයන් විසින් ඒ ඒ අමාත්‍යංශ සභාවට නම්කිරීම සඳහා යෝජනා කරනු ලබන්නන් අතුරින් ජයග්‍රාහි පාර්ශ්වයේ නියෝජිතයන්ගෙන් ද අමාත්‍යංශ පාලක සභා සැකසෙයි. එ ලෙස අමාත්‍යංශ පාලක සභාවලට පත්වෙන ආයතනික, වෘත්තීය නියෝජිතයන් සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන අය අතුරින් විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලයට සාමාජිකයන් තෝරා ගැනෙයි. මෙය විධායක ජනාධිපතිවරයා හට තම අභිමතය පරිදි කළ හැකි කාර්යයකි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ දී ම ඒ ඒ අමාත්‍යංශ පාලක සභාව සඳහා පත්කිරීමට අපේක්‍ෂා කරන සාමාජිකයන් කවුරුන් ද යන වග ප්‍රකාශ කිරීමට නියම කිරීමෙන් එම තේරීම ද ජනතාවගේ අනුමැතියට ලක්වෙයි. එක් එක් අමාත්‍යංශ පාලක සභාව සාමාජිකයන් තිදෙනා බැගින් යෝජනා කරන ලෙස අපේක්‍ෂකයන් හට නියම කළ හැකිය. මෙම පිළිවෙත අනුව, ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි සාමාජිකයන් තිදෙනකු බැගින් සෑම අමාත්‍යංශ පාලක සභාවකට ම නම් කළ හැකි අපේක්‍ෂකයන් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇත්තේ ය.

කෝරළ සභා සඳහා සභාපතිවරුන් තෝරා පත් කරගන්නේ ද ජනාධිපතිවරණයත් සමඟ ම පැවැත්වෙන මැතිවරණයක දී ය. මෙ ලෙස තේරී පත්වන කෝරළ සභා සභාපතිවරුන් අතරින් දිස්ත්‍රික් නායක මණ්ඩලයට සාමාජිකයන් තෝරා ගැනෙයි. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි මෙම තෝරාගැනීම කළ හැකි ය.

මෙ ලෙස තෝරා පත් කරගන්නා සාමාජිකයන්ගෙන් සැකැසෙන ජාතික විධායක සභාව විෂයානුබද්ධ සහ භෞමික යන අංශ දෙකෙන් සමන්විත වෙයි. මේ අනුව ඒ ඒ විෂයය ගැන සහ භූමිය ගැන දැනුමක් ඇති අය සමඟ එක් වී ආණ්ඩුවේ පාලනය සහ ඒ පාලනය පිළිබඳ විධානය මෙහෙයවීමට ජනාධිපතිවරයාට හැකිවෙයි. තව ද මෙම අරමුණ සාක්‍ෂාත් කරගැනීම උදෙසා විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලය සහ දිස්ත්‍රික් නායක මණ්ඩලය වෙන වෙනම ද සහ අවශ්‍ය විටෙක ඒකාබද්ධව ද රැස්කිරීමට ජනාධිපතිවරයාට හැකිය.

බහුපක්‍ෂ ක්‍රමය අනුව තේරී පත්වන ජනතා නියෝජිතයන් (කෝරළ සභා සභාපතිවරුන්) මෙවැනි වාතාවරණයක් තුළ ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය නියෝජනය කරන්නේ කෙ ලෙසින් ද? “රාජ්‍ය මන්ත්‍රණ සභාව” ස්ථාපිත කරනුයේ ඒ වෙනුවෙනි. සියළු කෝරළ සභා සභාපතිවරුන්ගේ නියෝජනයෙන් “රාජ්‍ය මන්ත්‍රණ සභාව” සැකසෙයි. ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය සමන්විත වනුයේ එම නියෝජිතයන්ගෙනි.

කලින් ලිපිවලින් පැහැදිළි කළ ආකාරයට “රාජ්‍ය මන්ත්‍රණ සභාව” යනු “ජාතික ව්‍යවස්ථාදායක සභාව” නොවේ. රාජ්‍ය මන්ත්‍රණ සභාව යනු හුදෙක් ම විධායක කටයුතුවලට සහායවීමට සහ විධායකයේ යම් වරදක් වේ නම් ඒ පිළිබඳ විවේචන ඉදිරිපත් කරමින් ඒවා නිවැරැදි කිරීමට මැදිහත් වන ආයතනයකි. රාජ්‍ය අයවැය සම්මත කිරීම, දෝෂාභියෝග සහ විශ්වාසභංග යෝජනා ගෙන ඒම වැනි කටයුතු ද එයට පැවරෙයි. දිස්ත්‍රික් නායක මණ්ඩලය නියෝජනය කරන්නේ ද කෝරළ සභා සභාපතිවරුන් විසින් බැවින් ඔවුහු ද රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරති. අවශ්‍යතාව අනුව විෂයානුබද්ධ ඇමැතිවරුන් තම අභිමුඛයට කැඳවීම ද රාජ්‍ය මන්ත්‍රණ සභාවට කළ හැකිය.

මේ අනුව බෞද්ධ ජනරජයේ විධායකය තුළ ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය හැකි වෙයි. තව ද, මේ තුළින් විධායකය සහ ව්‍යවස්ථාදායකය පැහැදිළිව ම වෙන් කිරීමට අවස්ථාව ලැබෙයි. විධායකය හා සම්බන්ධ ආයතනවලට (එනම් ජනාධිපති ධුරයට, අමාත්‍ය මණ්ඩලයට, දිස්ත්‍රික් නායක මණ්ඩලයට, රාජ්‍ය මන්ත්‍රණ සභාවට සහ කෝරළ සභා සභාපති ධුරවලට) විධායක හැකියාව ඇති අයට පත්විය හැකි ය.

“ජාතික ව්‍යවස්ථාදායක සභාව” සඳහා තේරිපත් වන අය ඒ සඳහා සුදුස්සන් විය යුතුය. ව්‍යවස්ථා සම්පාදන හැකියාවක් නැති අය එම කාර්යයට පත්කිරීම නොකළ යුත්තකි. මෙය කළ හැක්කේ ඒ සඳහා ම වන විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කිරීමෙනි. මෙම ලිපි මාලාවේ ඊ ළඟ ලිපියෙන් යෝජනා කරන්නේ එවැනි විශේෂිත වැඩපිළිවෙළක් මාර්ගයෙන් “ජාතික ව්‍යවස්ථාදායක සභාව” ස්ථාපිත කරනු ලබන ආකාරය ගැනයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.