Opinion

ආදරය විඳින්නට ලැබේවා…

Summary

ආදරය කියන්නෙ මුලාවක් නෙවෙයි මිත්‍රවරුනි, අපි ආදරය කියවගන්නෙ නෑ. අපි ආදරය කරන්න දන්නෙ නෑ. ආදරය තියෙන්නෙම අනෙකාට නිදහස දීම ඇතුළෙ බව අපි තේරුම්ගන්නෙ නෑ. එහෙම දන්නෙ නැති අපි ආදරයට දෙස්දෙවොල් තියනව. අවසාන වශයෙන් “සල්ලි තියෙනම් ආදරේ තියෙනව” කියල පොර ටෝක් දිදී ඉන්නව..හහ්! තියෙයි ලබ්බ.

  • Save

අපි බොහෝ දෙනා ආදරය කරල තියෙනව. දැනටත් ආදරය කරනව. නමුත්, මා සමග තමන්ගේ ජීවිතයේ ආදරය ගැන කතාව බෙදාගන්න බොහෝ අය⁣ට ආදරය ගැන තියෙන්නෙ යහපත් මතකයක් නෙවෙයි; අමිහිරි රහක් ඉතිරිවෙච්ච කතාවක්. බොහෝ අය කියනව ආදරය කියල ඇත්ත දෙයක් නෑ; තියෙන්නෙ බොරුවක්, මුලාවක් කියල. සල්ලිවලට ආදරේ ගන්න පුලුවන් කියන අයත් ඉන්නව!

මේ කතා ඇත්තද?
පහුගිය අඟහරුවාදා මගෙ පුතා⁣ට කථික තරඟයක් තිබ්බ. සති අන්තෙ කොල්ලව ඒකට සූදානම් කරල වැඩට එන්න හදද්දි මගෙ හිතෙ දෙගිඩියාවක් තිබ්බ තරඟය වෙලාවෙ මා නොහිටීම පුතා කොහොම ගනියිද කියල. “අප්පච්චිට මගෙ තරඟෙ වෙලාවෙ ඉන්න බෑනෙ; අප්පච්චිට බදුල්ලෙ පේෂන්ට්ල ලොකුයිනෙ” කියල පුතා කියයිද කියල හිතේ සැකයකුත් තිබුණ. මන් පාන්දර එද්දි පුතා නිදි. තරඟය පටන් ගන්න කලින් මිනිහ කෝල් එකක් ගත්ත.

“අප්පච්චි, I am ready and I am confident” සුදුෂර්ට් එකට කොලේජ් ටයි එකත් දාගෙන ලොක්කෙක් වගේ පුතු කියනව.

“All the best පුතේ” ආදරයෙන් බර වෙලා පපුව හිර වෙන්න ආවත් ඉවසගෙන මං කිව්ව.
පැය බාගෙකට පස්සෙ ආයෙත් ඇමතුමක්….

“අප්පච්චි, I did well…Everything went according to the plan” පුතාගෙ කටහඬේ සතුට උතුරනව…

“I am sorry i could not stay with you පුතේ, please dont think i dont love you”
“It is Ok අප්පච්චි, I felt like you were right next to me all the time…I know you love me” මයෙ පපුව ආදරෙන් පුරවන්න ඒ වචනවලට මහ වෙලාවක් ගියෙ නෑ…

අවුරුදු දහයක් වෙච්ච මගෙ දරුව ආදරය කියවගෙන තියෙන හැටි තමයි ඒ….ආදරය කියන්නෙ ළඟට වෙලා ඔප්පු කළ යුතු කාරණයක් නොවන බව ඔහු තේරුම් ඇරන් තියෙනව. ඒක පපුවට දැනෙන පිවිතුරු හැඟීමක් බව ඔහු තේරුම් ඇරන් තියෙනව.

ආදරණීය මිත්‍රවරුනි,
අපි ආදරය කියව ගන්⁣න අසමත් වෙන්නෙ, ආදරය ඇතුළෙ ෆේල් වෙන්නෙ, ආදරය කියන එක වදයක් කර ගන්නෙ ඔතැනදි නේද?

අපි කුමන හෝ කාරණාවක් නිසා හිතේ ඇතිවන කැමැත්තට ආදරය කරන්න පටන් ගන්නව. ඒ පටන් ගන්න කොටම මේ ආදරය කරන්නෙ වෙනම ඇට,මස්,ලේ නහර වලින් හැදිච්ච මිනිහෙකුට ⁣හෝ ගැහැණියකට බව අමතක වෙන්න පටන් ගන්නව. අනෙකා අවුරුදු දහඅටක් විස්සක් වෙනම විදිහකට කන්න බොන්න අඳින්න පලඳින්න පුරුදු වෙච්ච වෙනස් සංස්කෘතික ජීවියෙක් කියන එක තේරුම් ගන්න අසමත් වීම තුළම අර ඇතිවෙච්ච ආදරය ඉරි තළල යන්න පටන් ගන්නව. එහෙම ඉරි තළල යන ආදරකතාවල ඒ ඉරිතැලීම් එලියට නොපෙනෙන ප්ලාස්ටර් එක තමයි ‘දරුවො’ එහෙම නැත්නම් ‘සමාජයට මුහුණ දෙන්න බැරිකම’ එහෙමත් නැත්නම් ‘එයා නැතුව මට ඉන්න බෑ’ කියල හදාගන්න කඩතුරාව. මේ එකක්වත් නැති තැන බිඳිල යන ආදර කතාවල කෑලි එකතු කරන්නත් අමාරුයි…ඒ කෑලිවල බිඳිල ගිය ආදර කතාවල අකුරු නලියනව ඔබ දැකල ඇති….

කල්පනා කරල බලන්න ඔබේ ජීවි⁣තයෙ ආදරය නතර වෙලා තියෙන්නෙ කොතැනද කියල.
ඔබ වෙනම සංස්කෘතික ජීවියෙක්. ඔබ ආදරය කරන ගැහැණිය හෝ මිනිහා වෙනම සංස්කෘතික ජීවියෙක්. හැම සංස්කෘතික මිනිහෙකුටම සිහින තිබෙනව. සමහරෙකුට වෘත්තීය ජීවිතයෙ ඉදිරියට යන්න අවශ්‍ය වෙන්න පුලුවන්; තව සමහරෙකුට ගෙදර මල් වවන්න ආස හිතෙන්න පුලුවන්; තව සමහරෙකුට පොත් ලියන්න ආස හිතෙන්න පුලුවන්; තමන්ගෙ ආදරවන්තියගෙ, බිරිඳගෙ සංස්කෘතික සිහිනයට ගරු කරන්න පුලුවන් නම් එතැන ආදරය රැඳෙනව.
තමන්ගෙ ස්වාමියාගෙ, ආදරවන්තයගෙ සංස්කෘතික ජීවිතයට ඉඩ දෙන්න පුලුවන් නම් එතැන ආදරය රැඳෙනව.

සරල වචනවලින් කිව්වොත් සංගීතයට දක්ෂ ගැහැණියක් ආදරය හෝ විවාහයේ නාමයෙන් ගෙදරට හිරකරල දාන එක ඇතුළෙ ආදරයක් කොහින්ද? “ඔයාගෙ දක්ෂකමෙන් වැඩ ගන්න යන්න වැඩ කරන්න ඒ වෙනුවෙන්” කියන මිනිහ ඒ ගැහැණියට ආදරේ කරනව. සිකුරාදා හවසට යාලුවොත් එක්ක මධුවිතක් සප්පායම් වෙන එක බිරිඳගෙන් රැවුම් ගෙරවුම් ලබන්න වෙන වැඩක් නම් එතැන ආදරයක් කොහින්ද? “බීල Drive කරන්න එපා, Cab එකක් දාගෙන ගෙදර එන්න” කියන ගැහැණිය මිනිහාට ආදරය කරනව.

ආදරය කියන්නෙ මුලාවක් නෙවෙයි මිත්‍රවරුනි, අපි ආදරය කියවගන්නෙ නෑ. අපි ආදරය කරන්න දන්නෙ නෑ. ආදරය තියෙන්නෙම අනෙකාට නිදහස දීම ඇතුළෙ බව අපි තේරුම්ගන්නෙ නෑ. එහෙම දන්නෙ නැති අපි ආදරයට දෙස්දෙවොල් තියනව. අවසාන වශයෙන් “සල්ලි තියෙනම් ආදරේ තියෙනව” කියල පොර ටෝක් දිදී ඉන්නව..හහ්! තියෙයි ලබ්බ.

ආදරණීය මිත්‍රවරුනි,
ආදරය කරනව කියල යන එන තැන්වල අප්ඩේට් දෙන එකෙන් මෙහාට ඇවිල්ල, අනිත් කෙනාගෙ ජීවිතයෙ සංස්කෘතික කොටස්වලට නීති දාන එකෙන් මෙහාට ඇවිල්ල අනිත් මිනිහා හෝ ගැහැණිය අමුවෙන් බාර ගන්න ඉගෙන ගත්ත දවසට ඔබ ආදරය විඳියි. සිහිනෙන් ගෑ මුදු සුවඳක් වගේ ඔබ ලඟ දැවටෙන ආදරයක් ඔබත් විඳියි. යැද යැද පස්සෙන් යන්න අවශ්‍ය නොවෙන ආදරයක් ඔබත් විඳියි…
එහෙම විඳින්නට ලැබේවා කියල මං ප්‍රාර්ථනය කරනව….

ලක්මාල් කුලසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap