COLUMN

ආර්ථික යුද්ධ

Summary

අපි හැමෝම යුද්ධ ගැන දන්නවා. අද මේ රටේ ජීවත්වෙන බහුතරයක් යුද්ධයේ බිහිසුණු බව අත්දැකපු අය. යුද්ධවල දී මිනිස්සු මැරෙනවා. තමන් මැරෙන බව දැන දැන ම තරුණ අය හමුදාවට බැ‍ඳෙනවා. සටන් පෙරමුණේ යන හැම කෙනෙක් ම එහෙම කරන්නේ තමන්ගේ ජීවිත පරදුවට තියලා. ඒ අතරින් සැළකිය යුතු පිරිසක් සටනේ දී මියයනවා. තවත් සෑහෙන පිරිසක් තුවාල ලබනවා. ඒ අතරින් සැළකිය යුතු පිරිසක් සදාකාලික ආබාධිතයෝ බවට පත්වෙනවා.

අපි හැමෝම යුද්ධ ගැන දන්නවා. අද මේ රටේ ජීවත්වෙන බහුතරයක් යුද්ධයේ බිහිසුණු බව අත්දැකපු අය. යුද්ධවල දී මිනිස්සු මැරෙනවා. තමන් මැරෙන බව දැන දැන ම තරුණ අය හමුදාවට බැ‍ඳෙනවා. සටන් පෙරමුණේ යන හැම කෙනෙක් ම එහෙම කරන්නේ තමන්ගේ ජීවිත පරදුවට තියලා. ඒ අතරින් සැළකිය යුතු පිරිසක් සටනේ දී මියයනවා. තවත් සෑහෙන පිරිසක් තුවාල ලබනවා. ඒ අතරින් සැළකිය යුතු පිරිසක් සදාකාලික ආබාධිතයෝ බවට පත්වෙනවා.
යුද්ධයක දී මියයන්නේ, තුවාල ලබන්නේ පෙරමුණේ සටන්කරන අය විතරක් නෙවෙයි. ඈතින් ඉන්න සාමාන්‍ය මිනිස්සු පවා යුද්ධයට බිලිවෙනවා. සමහරු මියයනවා. තවත් සමහරු ආබාධිත වෙනවා. ළමයින්ට දෙමව්පියෝ නැතිවෙනවා. දෙමව්පියන්ට ළමයි නැතිවෙනවා. පවුල් කඩාකප්පල් වෙනවා. සමහර ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. ආතක් පාතක් නැතිවුණු සමහරු අපරාධවලටත් පෙළැඹෙනවා.
මේ මොන අලාභ සිද්දවුනත් මිනිස්සු යුද්ධකරනවා. හැම දෙනෙක් ම ආරක්‍ෂාවෙලා කරන්න පුළුවන් යුද්ධ මේ ලෝකයේ නෑ. යම් පිරිසකට අනිවාර්යයෙන් ම ඒ වෙනුවෙන් කැපවෙන්න, තමන්ගේ ජීවිත පූජාකරන්න සිද්දවෙනවා. සමාජයේ බහුතරයකට සෙත සළස්වන්න පුළුවන් වෙන්නේ, ජාතියේ අනාගතය සුරක්‍ෂිතකරන්න පුළුවන් වෙන්නේ යම් පිරිසක් විසින් මෙහෙම කැපකිරීම් කළොත් විතරයි.
ආර්ථික යුද්ධත් මෙහෙම තමයි. මේ කියන්නේ රටවල් අතර ඇතිවෙන ආර්ථික යුද්ධ ගැන නෙවෙයි. යම් නිශ්චිත රටක් ඇතුළේ ඇතිවෙන මහා ආර්ථික ප්‍රශ්න විසඳගගැනීම වෙනුවෙන් කරන්න ඕන යුද්ධ ගැනයි මේ ලිපියෙන් කියන්නේ.

මේ වෙද්දි අපේ රට මහා ආර්ථික අර්බුදයකට මුහුණපාලා ඉන්නේ. හෙට අනිද්දා වෙද්දි එදා වේල කන්න පුළුවන් වෙයි ද කියන විශ්වාසයත් අපිට නැතිවෙලා. මෙච්චර හොඳින් ඉර පායන, වහින රටක කන්න නෑ කියන එක විහිළුවක්. දරට ගන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙන රටක බතක් උයාගන්න විදිහක් නෑ කියලා කියන එක විලිලැජ්ජාවට කාරණයක්.
මෙච්චර අර්බුදයකට පත්වෙලා ඉඳිද්දිත් අපි තවමත් කරන්නේ දේශපාලනඥයන්ට බැන බැන ඉන්න එක. දේශපාලනඥයන්ට බැනලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් නම් අපේ රට සුඛිත මුදිතවෙලා සෑහෙන කල්. දේශපාලඥයෝ අතරින් සෑහෙන පිරිසක් තමන්ගේ වගකීම් ඉටුකරන්නේ නෑ. සෑලකිය යුතු පිරිසක් දූෂණයට යොමුවෙලා. දූෂණයට විරුද්ධයි කියලා කෑගහන අයත් ජීවත්වෙන්නේ තමන්ගේ ආදායම් පෙන්නන්න බැරි විදිහට. තමන් අඳින පළඳින ඇඳුම් පැළඳුම් පවා යාළුවෝ දීපු එවා කියලා තමයි ඒ අය කියන්නේ. මෙහෙම තෑගි ගන්න එකත් දූෂණයක්. මේ විදිහට තෑගි ගැනීම චීනයේ තහනම්කරලා තියෙන්නේ ඒ හින්දා. තමන් ජීවත්වෙන්නේ යාළුවෝ දෙන දේවල්වලින් කියලා ඒ රටේ දේශපාලනඥයන්ට කියන්න බෑ. තමන්ගේ වියදම් සහ ආදායම් පිළිබඳව කියන්න ඒ අය බැඳිලා ඉන්නවා. එහෙම නොකර ධනය උපයන අයට දඬුවම්කරනවා. මරණ දඬුවම දුන්නත් සමහර දේශපාලනඥයෝ දූෂණ වැඩ නතරකරන්නේ නෑ. ඒ තමයි මිනිස්සුන්ගේ හැටි.

මේ ආර්ථික අර්බුදය කෙටි කාලයක් තුළ නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි. මේකට අපි හැම කෙනෙක් ම වගකියන්න ඕන. අපි අපේ ආදායම් ඉක්මවපු විදිහකට තමයි ජීවත්වෙන්නේ. මේ රටේ ණයවෙලා තියෙන්නේ ආණ්ඩුව විතරක් නෙවෙයි. අපේ මිනිස්සුන්ගෙන් සෑාහන පිරිසක් (විශේෂයෙන් ම, ඔය “මධ්‍යම පංතිය” කියන එකට අයත් අය) ණයවෙලා තමයි ගෙවල් හදන්නේ, වාහන ගන්නේ, ජේත්තුවට ජීවත්වෙන්නේ.
2019 අවුරුද්දේ සංඛ්‍යාලේඛනවල හැටියට, චීනයේ දළ දේශීය ඉතිරිකිරීම් ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 44 ක්. 2010 අවුරුද්දේ ඒ ප්‍රමාණය තිබුණේ සියයට 51 ටත් වඩා ඉහළ අගයක. ඒත් 2019 අවුරුද්දේ අපේ රටේ දළ දේශීය ඉතිරිකිරීම් ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් විතරයි. පහුගිය අවුරුදු පනහට වැඩි කාලය තුළ අපේ රටේ ඉහළ ම ඉතිරිකිරීම් අනුපාතය වාර්තාවෙලා තියෙන්නේ 2012 අවුරුද්දේ. ඒ දළ දේශීය නිෂ්පාදතයේ ප්‍රතිශතයක් විදිහට සියයට 27 ක්.

මේ ආර්ථික අර්බුදයට හේතුවෙලා තියෙන කරුණු මහ ගොඩක් තියෙනවා. ඒ අතර මුලින් ම තියෙන්නේ දැනුම පිළිබඳ ප්‍රශ්නය කියලා තමයි මට හිතෙන්නේ. තියෙන සම්පත්වලින් වැඩගන්න අපි දන්නේ නෑ. අපේ උගත්තු කියන අයත් ඒ ගැන දන්නේ නෑ. මේ දවස්වල අපි හැමෝම වගේ ගෑස් ප්‍රශ්නය ගැන කතාකරනවා. ගෑස් කියන්නේ අපි ආනයනය කරන දෙයක්. ලෝක අර්බුදයක් ඇතිවෙච්ච වෙලාවට අපිට නොකා ඉන්න බෑ. ඉතින් ආහාර සුරක්‍ෂිතතාව කියන එකට ආහාර පිසීමත් ඇතුළත්. ඒකට අදාළ විකල්ප ක්‍රම අපි සූදානම් කරගෙන නෑ. හැම ගෙදර ම පොල් කටු තියෙන රටක ඒවා කාර්යක්‍ෂම විදිහට දහනය කරලා බතක් වෑංජනයක් උයන්න බැරි නම් ඒක දැනුම පිළිබඳ ප්‍රශ්නයක්.
ආර්ථික යුද්ධයක් කරනවා නම් ඒකට අදාළ දැනුම පිළිබඳ ප්‍රශ්නය විසඳගන්න ඕන. මේ ගැන අවධානය නොකර එක දිගට ම දේශපාලනඥයන්ට බැන බැන ඉන්න විතරක් අපේ කාලය ගතකරනවා නම් අපි තවදුරටත් විනාශයට තල්ලුවෙයි. ඉතින් ආර්ථික යුද්ධයට අදාළ දැනුම ගැන පොඩි කාරණයක් දෙකක් මම කියන්නම්.

චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව මම හොයලා තියෙනවා. ඒක මහා යුද්ධයක් වගේ වැඩක්. යුද්ධයක දී මිනිස්සු තමන්ගේ ජීවිත ඒ වෙනුවෙන් කැපකරනවා. චීන ආර්ථික යුද්ධය තුළත් මෙහෙම වුනා. ගම් මට්ටමේ නිෂ්පාදන කටයුතු හවුල් සමාගම් ක්‍රමයක් අනුව සංවිධානය කරපු හින්දා මිනිස්සු වැඩ කළේ පඩි ගැන සහ නිවාඩු ගැන හිතන්නේ නැතුව. ගහක් හිටවපු ගමන් ගෙඩි කඩන්න බැරි බව ඒ මිනිස්සු තේරුම් ඇරගෙන හිටියා. ඒ සමාගම්වල තමන්ට හිමි කොටස් වෙනුවෙන් ඉදිරියේ දී ලැබෙන ප්‍රතිලාභ ගැන හිතලා මිනිස්සු නොකා නොබී වැඩ කළා. වැඩබිමේ දී ලැබෙන කෑම වේලෙන් විතරක් යැපිලා වැඩකරන්න ඒ අයට පුළුවන් වුනා.
මෙහෙම කරද්දි ගෙවල් ගැන බලන්න විදිහක් නෑ. ළමයින්ගේ අධ්‍යාපනය ගැන හිතන්න විදිහක් නෑ. ඒවාට අදාළ ප්‍රාථමික විසඳුම්වලින් විතරක් යැපෙන්න ඒ අයට සිද්දවුනා. කිසියම් ව්‍යාපාරයක් ඇති කරලා ඒක ලොකු මහත් කරන එකයි ළමයෙක් ලොකු මහත් කරන එකයි අතර වෙනසක් නෑ. ළමයි පුංචි කාලේ දෙමව්පියන්ට නිදාගන්න ලැබෙන්නෙත් අඩුවෙන්. හුඟක් ළමයි දවල්ට නිදාගෙන රෑට ඇහැරිලා ඉන්නවා. නිතර නිතර අඬනවා. සමහර ළමයි නිතර නිතර ලෙඩවෙනවා. ඇඳේ මුත්‍රා නොකරන ළමයි මේ ලෝකයේ නෑ. මේ හැම දෙයක් වෙනුවෙන් ම දෙමව්පියෝ කැපවෙන්න ඕන. ළමයි ලොකුවෙද්දි ඒ ප්‍රශ්න නැතිවෙනවා. (අලුත් ප්‍රශ්න ඇතිවෙන එක වෙනම කතාවක්).
යම් නිෂ්පාදන කටයුත්තකට අදාළ ව්‍යාපාරයක් ඇතිකරලා, ලොකු මහත් කරගන්නවා කියන්නෙත් මෙහෙම වැඩක්. මේ මූලික කාරණය ගැන හිතන්නේ නැතුව යම් රටක මිනිස්සු තමන්ගේ වැටුප ගැන විතරක් හිතනවා නම්, නියමිත වෙලාව තුළ වැඩ නොකර අතිකාල ගැන හිතනවා නම්, ඉවරයක් නැතුව වැඩවර්ජන කරනවා නම් එහෙම රටක ආර්ථික වර්ධනයක් ඇතිකරන්න අමාරුයි. රටේ ආර්ථිකය නංවන්න පුළුවන්, හැමෝගේම අනාගතය සරුකරන්න පුළුවන් ව්‍යාපාර විනාශකරන පිළිල විදිහට තමයි එහෙම මිනිස්සු වැඩකරන්නේ. එහෙම මිනිස්සු ව්‍යාපාරය ලොකු මහත්වෙන්න කලින් ම ඒකේ සාරය උරාබීලා ඒක විනාශකරලා දානවා.
තමන්ගේ දරුවෝ, දෙමව්පියෝ ගම්වල තියලා ඈත නගරවල වැඩට ගිය චීන මිනිස්සු මහා ව්‍යාපාර ඇතිකරන්න තමන්ගේ ජීවිත කැපකළා. ඒ අය ගෙදර ගියේ අවුරුද්දකට වතාවයි. අනිත් මුළු කාලය ම වැඩට යොමු කළා. ඒ අය වැඩ කරපු තැන්වල හැම පහසුකමක් ම තිබුණේ නෑ. යන්තමට මූලික පහසුකම් විතරක් ලබාදීලා තිබුණා. එක ඇ‍ඳේ මාරුවෙන් මාරුවට නිදාගත්ත අය ඕන තරම් හිටියා. එදා වේල යන්තම් පිරිමහගත්ත ඒ මිනිස්සු දවසකට පැය දොළහක්වත් එක දිගට වැඩ කළා. ඒ වැඩ වෙනුවෙන් අතිකාල දීමනා ලැබුණේ නෑ. පඩිය වුනත් ලැබුණේ මාස කීපයකට වතාවක්. ඒ විදිහට ලැබෙන මුදලකින් ගෙවල්වලට කීයක් හරි යැව්වා. හරි හමන් දෙයක් ගෙදර ඇරගෙන ගියේ චීන අවුරුදු නිවාඩුවට ගෙදර යද්දි විතරයිි.

පරණ මහා කර්මාන්තශාලාවල ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු කරද්දි සෑහෙන පිරිසකට රස්සා නැතිවුනා. මුලින් ම මිනිස්සු ගෙදර යැව්වේ පොඩි වන්දියක් දීලා. පස්සේ පස්සේ “නිවාඩු දීලා” මිනිස්සු ගෙදර යැව්වා. එහෙම ගෙදර ගිය අති බහුතරයකට ස්ථීර රස්සා ලැබුණේ නෑ. මේ විදිහට ගෙදර ගිය අයගෙන් සෑහෙන පිරිසක් විවිධාකාර අයිල වැඩ, කුලි වැඩ හොයාගත්තා. වන්දි ඇරගෙන ගිය සමහරු රැවැටීම්වලටත් ගොදුරුවුනා. සමහරු හොරකම්කරන්න පවා යොමුවුනා. එහෙම අයට හිරේ යන්න සිද්දවුනා. මේ විදිහට රස්සා නැතිවෙච්ච අයගේ පවුල් කඩාකප්පල් වුනා. සෑහෙන පිරිසක් දික්කසාද වුනා. ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අතරමග නැවතුනා. ඒ අතරින් සෑහෙන ළමයි පිරිසක් දෙමව්පියන්ගේ කීම අහන්නේ නැති රස්තියාදුකාරයෝ බවට පත්වුනා. ඉවරයක් නැති කරදර මැද තමන්ගේ ජීවිත නැතිකරගන්නත් සමහරු පෙළැඹුණා.

ආර්ථික ප්‍රතිසංස්කරණ කවයුත්තක් කියන්නේ මේ ආකාරයේ යුද්ධයක්. හැම කෙනෙක් ම ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත කැපකරනවා. ඒ අතරින් සැළකිය යුතු පිරිසකට අලාභ හානි සිද්දවෙනවා. සමහරුන්ට තමන්ගේ ජීවිත පවා අහිමිවෙනවා. ඉතින් මේ ගැන දැනුමක් ඇති නොකර ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගන්න අමාරුයි. ඉතින් මේ කාරණයට අදාළ ලිපි ලේඛන ලියන්න ඕන. නවකතා, කෙටිකතා, කවි ලියන්න ඕන. නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය හදන්න ඕන. රණවිරු ගීත වගේ නිර්මාණ ඇහෙන්න ඕන. මේකත් හරියට යුද්ධයට අදාළ දැනුම පතුරුවනවා වගේ වැඩක් තමයි.

අපේ රටේ වුනත් රස්සා වෙනුවෙන් විදේශගත වෙන අයට හැම දා ම හවස ගෙදර යන්න බෑ. එහෙම අය රට යන්නේ තමන්ගේ අඹුදරුවෝ, දෙමව්පියෝ ගෙවල්වල නවත්තලා. රට යන හුඟක් අයට ගෙදර එන්න ලැබෙන්නේ අවුරුදු දෙකකට වතාවක්. මේ හා සමාන කැපකිරීමක් රට ඇතුළේ රස්සාවලටත් අදාළ කරගන්න අපිට පුළුවන්වෙන්න ඕන.
මෙහෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයකට අදාළ අනෙකුත් දැනුම නිර්මාණය කිරීම, හඳුන්වලා දීම තමයි උගතුන්ගේ වගකීම. මේ දවස්වල ලියන “බෞද්ධ ජනරජ ප්‍රවාදය” හරහා මෙහෙම වැඩක් කරන්න මම උත්සාහකරනවා. කැපවෙලා වැඩකරන්න මිනිස්සු පොළඹවන නිෂ්පාදන මාදිලියක් ඒ තුළින් හඳුන්වාදෙන්න පුළුවන් කියලා මම හිතනවා. තවමත් මූලික මට්ටමක තියෙන ඒ අදහස් තවත් වර්ධනය වෙන්න ඕන කියලා මම පිළිගන්නවා. ඒ කොහොම වුනත්, මෙහෙම පිළියමක් ගැන හිතන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ.

තමන් මහ උගත්තු කියලා රටට පෙන්නන අඥාන මිනිස්සු සහ ඒ අය මෙහෙයවන දේශපාලන සංවිධාන රටේ ආර්ථිකය තවදුරටත් විනාශකරන්න මහන්සිවෙයි. ඉතින් ඒ අය ඉවරයක් නැතුව කාට හරි බැන බැන ඉඳියි. ඕන වැඩක වැරැද්ද විතරක් පෙන්නයි. වැඩවර්ජන කරයි. උද්ඝෝෂණ කරයි. එහෙම අය හිතන්නේ රට විනාශවෙන තරමට තමන්ට බලයට එන්න තියෙන ඉඩ වැඩිවෙනවා කියලා.
රටේ බහුතරයක් අය ඒ අඥාන මිනිස්සුන්ට උත්තරදෙන්න, ඒ අයත් එක්ක වාදකරන්න මහන්සිවෙන්න ඕන නෑ. රටේ අභිවෘද්ධිය ගැන හිතන අය කළයුත්තේ සුළුතර අඥානයන්ගේ උගුල්වලට අහුවෙන්නේ නැතුව ආර්ථික යුද්ධයකට අදාළ දැනුම සහ ආකල්ප ජනගතකිරීමයි. හොඳ දේශපාලනඥයෝ බිහිවෙන්නේ හොඳ දැනුමක්, හොඳ ආකල්ප තියෙන මිනිස්සු අතරින්.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.