Opinion

ආසියානු දේශාභිමානය බටහිර නූතනත්වයේ ප්‍රථිපලයක්ද

Summary

තායිලන්තය යටත්විජිතකරණය ට ලක් නොවී සිටියේද යටත්විජිත වුවමනාවක් වෙනුවෙන්මය. තායිලන්තය නූතන රාජ්‍යයක් බවට පත් වූයේ තමන් විසින් තම දේශසීමාව සලකුනු කර ගැනීමෙන් නොව, එකිනෙකට එදිරිව සහ බියෙන් සිටි ප්‍රංශයත් එංගලන්තයත් තම දේශසීමා තිර කරගැනීමේ අතුරු ප්‍රථිපලයක් ලෙසටය

ජාතිය සහ ජාතික රාජ්‍යය කියන්නෙම පරිකල්පිත දේවල්. අපිට කවදාවත් හමු නොවෙන , කතා කරන්න හැසිරෙන්න නොලැබෙන මිනිස්සු අපේ මිනිස්සු කියල හිතන්නත්, කිසිම දිනක අඩිය ගහන්න දකින්න නොලැබෙන භූමි භාගයන් අපේ රටේ කොටස් විදිහට භාර ගන්නත් පුළුවන් වෙන්නෙ පරිකල්පනයෙන් නොවේ නම් වෙන කොහොමද. ( කියවන්න Imagined Communities – Benadict Anderson).

19 වන සියවසේ අග භාගය වන විට අග්නිදිග ආසියාව තුල, ප්‍රංශ හමුදාවට මුහුණ දීමට එංගලන්ත හමුදාවත් , එංගලන්ත හමුදාවට මුහුණ දීමට ප්‍රංශ හමුදාවත් බියෙන් පසු වුනා . මේ වෙනකොට සියමට නැගෙනහිර පලාත අල්ලගෙන හිටියෙ ප්‍රංශය. සියමට බටහිරින් හිටියෙ එංගලන්තය.මේ රටවල් දෙකටම එකිනෙකා හමුනොවී සිටීමේ උවමනාවක් තිබුනා. මොවුන් දෙපලම ඉතා උනන්දුවෙන් පොදු ස්වාරක්ෂක කලාපයක් නඩත්තු කළා . ඒ තමයි තායිලන්තයයි. කුමන මොහොතක කවුරුන් තමන් යටත් කරගනීවිදැයි බියෙන් සිටි බැංකොක් නුවර චක්‍රි රජ මැදුරට ටික දිනක් යන විට වැඩේ අවබෝධ වුනා . ඔය අතරතුරේ බැංකොක් රජ මැදුරේ මහා චූලාලන්ග්කෝන් රජුටත් අවශ්‍ය උනා මේ අලුත් පන්නයට දේශසීමා ඇඳගන්න.

මෙතනදී එංගලන්ත සහ ප්‍රංශ දෙජාතිකයන්ම තමන්ගෙ දැනුමත් තාක්ෂණයත් සමග සියම් රජුට සේවය කරන්න ඉදිරිපත් උනා. සියම් රජු කලේ එහෙම ඉදිරිපත් වෙච්ච ප්‍රංශ ජාතික මැනුම් විද්‍යාඥයන් එංගලන්ත කිරීටය සහ සියම අතර දේශසීමාව නිර්ණය කරන්න බටහිර මායිමට යවපු එකත් , එංගලන්ත ජාතික මැනුම් විද්‍යාඥයන් ප්‍රංශ කිරීටය සහ සියම අතර මායිම නිර්ණය කිරීමට නැගෙනහිරට යවපු එකත්ය. මේ දෙකොට්ඨාශයම හැකි තරම් සියම් දේශසීමාව ප්‍රසාරණය කරන්න කටයුතු කළා. මොකද ප්‍රංශය සහ එංගලන්තය යන රටවල් දෙකම එකිනෙකාට විරුද්ධව උදව් කලේ සියමට නිසා.

එංගලන්තයත් ප්‍රංශයත් තමන් අනුදත් භූ විද්‍යා ශිල්පයත් ඉංජිනේරු ශිල්පයත් අනුව ඉතා සීග්‍රයෙන් තම දේශසීමා සලකුනු කරමින් සිටියහ. ටික දිනක් යන විට තායිලන්තයට වැටහුනේ මේ බල කඳවුරු දෙකට අයත් නොවන භූමියක් අලුත් අනන්‍යතාවයක් , පොදු බවක් සහිතව ඉතිරි වී ඇති බවයි. එතෙක් කල් ලන්නා, කයක්, බැංකොක්, නාකෝන් ශ්‍රී ධම්මරත් ලෙස තැනින් තැන , එකිනෙක අති පිහිත සීමා සහිතව , එකිනෙකාට අවනත භාවය ප්‍රකට කරමින් සිටි නාගරික රාජ්‍ය කීපයක් නූතන දේශසීමාකරණයකට ලක්වී තිබින. එහිදී වඩාත් බලගතුව සිටි බැංකොක් රජ මැදුර සමස්ථයේ නායකත්වයට පත් වීම සිතාගැනීමට අසීරු නැත.

තායිලන්තය යටත්විජිතකරණය ට ලක් නොවී සිටියේද යටත්විජිත වුවමනාවක් වෙනුවෙන්මය. තායිලන්තය නූතන රාජ්‍යයක් බවට පත් වූයේ තමන් විසින් තම දේශසීමාව සලකුනු කර ගැනීමෙන් නොව, එකිනෙකට එදිරිව සහ බියෙන් සිටි ප්‍රංශයත් එංගලන්තයත් තම දේශසීමා තිර කරගැනීමේ අතුරු ප්‍රථිපලයක් ලෙසටය. අතීත පෞර රාජ්‍යයක් නූතන දේශසීමා සහිත රාජ්‍යයක් බවට රූපාන්තරණය වීම පර්යේෂණාගාර තත්ව යටතේ හැදෑරිය හැකි කදිම උදාහරණයකි නූතන තායිලන්තය ගොඩ නැගීම පිලිබඳ කතාව.

මෙන්න මේ අලුත් සිතියම්කරණ වැඩේ සියම් රජු තායි භාෂාවෙන් නම් කලා ” thesaphiban” නමින්. මෙහි තේරුම protection of territory එහෙම නැත්නම් භූමි කලාපයේ ආරක්ෂාව කියන එක.

තායි සහ සිංහල භාෂා වල විශාල නෑ කමක් තියෙනවා පාලි හා සංස්කෘත මව් භාෂා හරහා. තායි භාෂාවෙන් thesaphiban කිව්වමත් සිංහලෙන් ” දේශාභිමානය” කිව්වමත් ශබ්ධ වෙන්නෙ ලඟින් යන විදිහට. තේරුමත් ලඟයි. භාෂා පිලිබඳ කිසිම ශ්‍රාස්ත්‍රීය දැනුමක් නොමැතිව හිතලු මට්ටමිනුයි මේ කියන්නෙ. මෙතනින් පොඩි සංඥාවක් දෙනවා නූතන දේශාභිමානය ගැන. ඒක සුද්දො ඇඳපු සිතියම් වලින් හටගත්ත දෙයක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

ඇත්ත වශයෙන්ම අප අද බුක්ති විඳින දේශසීමා ටික අපට ඇඳ දුන්නේ බටහිර ජාතීන්ය. මට ඒ ගැන ඇත්තේ අපුල දනවන හැඟීමකි. නමුත් ඔවුන්ගේ වෙහෙස පිලිබඳ අනේ අපොයි කියාද සිතෙයි.

ඇත්ත වශයෙන්ම ප්‍රංශයත් එංගලන්තයත් දහනම වන සියවස තුලදී ” සුදු මිනිසාගේ දෙවුර මත පැටවුනු බර” නිදහස් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කොට තිබේ.

මේ පරිකල්පනය බටහිර නූතනත්වයේ ප්‍රථිපලයක්.

One thought on “ආසියානු දේශාභිමානය බටහිර නූතනත්වයේ ප්‍රථිපලයක්ද
  1. මේ ලිපියේ පරස්පරයක් තිබෙනවානෙ. මෙහිම කියනවා තායිලන්ත රජු විසින් උපායමාර්ගිකව බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශක්කාරයන් යොදාගෙන සිය දේශසීමාව ලොකුවට “හදාගත්තා” කියා. ඊට පස්සේ කියනවා ඔවුන්ගේ දේශසීමාව “හදලා දුන්නේ” බටහිරයන් විසින් කියා…

    දේශසීමා හැමදාම තිබුණා. අද වගේ සැටලයිට් රූප අනුව ඇන්දේ නැති වුනත් වචනයෙන් හරි විස්තර කර තිබෙනවා. දේශසීමා කොහොමත් ඉතිහාසයේ හැමදාම වෙනස් වෙලත් තිබෙනවා. මානව ඉතිහාසයේ හැමදාම දේශසීමා අරගල තිබෙනවා. අප්‍රිකාවෙන් එළියට යෑමත් දේශසීමා අරගලයක්. යුදෙව්වන් පොරොන්දු දේශයට යන්නෙත් දේශසීමා අරගලයකට. පැරණි අධිරාජ්‍යයන් දේශසීමා අරගල. දේශසීමා දැනුත් වෙනස් වෙමින් තිබෙනවා. අද තිබෙන දේශසීමා අනාගතයේ වෙනස් වෙනවා. අන්තර්ජාලය වැනි තාක්ෂණ නිසා සම්ප්‍රදායික “දේශසීමා” පිලිබඳ සංකල්පයම වෙනස් වී තිබෙනවා. යුරෝපියානු සංගමය අලුත් දේශසීමාවක්. එක්සත් රාජධානිය ඉන් ගැලවෙන්නේ දේශසීමා අරගලයක් ලෙස. ඒ නිසා අපට කියන්න බැහැනේ “දේශසීමා” හැදුනේ 18/19 වැනි සියවසෙන් පසුවය කියා… ඒ වගේම නූතන ජාතික රාජ්‍යයන්ගේ දේශසීමා හැදුනේ බටහිර යටත් විජිතයටම ඕන විදිහට නොවෙයිනේ. උදාහරණයක් හැටියට ලක්දිව දේශසීමාව අතීතයේ සිටම ලකුණු වෙන්නේ භූගෝලීය සීමා සහ ඓතිහාසික රාජ්‍යත්වය අනුවනෙ. මොකද අද අපේ දේශසීමාවයි දුටුගැමුණුගේ දේශසීමාවයි අතර වෙනසක් නැහැනෙ…. දේශාභිමානයෙන් මිනිස්සු සටන් කළේ බටහිරයන් දේශසීමා ඇන්දට පස්සෙ නොවෙයිනෙ… ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යය ලකුණු වෙන්නේත් එහෙමනෙ. මොකද චීනයේ දේශසීමා මුලින්ම ඇන්දේ බටහිරයන්ද? මොන බොරු කතාද මේ…

    මහාවංශයේ එන හැටියට දේවානම්පියතිස්ස රජු අරහත් මහේන්ද්‍ර මහා තෙරුන්ගෙන් අහනවා “ඔබවහන්සේ වැනි භික්ෂූන් තව සිටීද” කියා. ඊට පිළිතුර “දඹදිව කසාවතින් බබළයි.” එදත් මිනිස්සු තමාට කිසිදා හමුනොවන මිනිසුන්ව එහෙම පරිකල්පනය කළා. නමුත් එයින් ඔප්පු වෙන්නේ නැහැනේ එහෙම භික්ෂුන් හිටියේ නැහැ කියා. ඉතින් එයින් ජාතිය යනු පරිකල්පනයක් කියා ඔප්පු වෙන්නේ නැහැනෙ….

    එක පොතක් කියවලා ඒකේ තියෙන ප්‍රවාද හැම මගුලටම ආදේශ කරන්න ගියාම ඔහොම වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *