Opinion

ඇමෙරිකාව, චීනය හෝ ඉන්දියාව රකුසන් නොවේ. දෙවියනුත් නොවේ.

Summary

1870 වෙනකල්ම ලෝකෙ විශාලතම ආර්ථිකය උනේ චීනය. තව දශක දෙකකින් පමණ නැවතත් ඔවුන් තමන්ට අහිමි වුනු ඒ තැන ලබා ගන්නවා.

විවිධ සංස්කෘති වල විවිධ මිනිස්සු සාමූහික වශයෙන් පෙන්වන ගති ලක්ෂණ, ආකල්ප සහ විවිධ හැසිරීම්  තියෙනවා. සිංහල මිනිස්සු මෙහෙම දක්වන ගතියක් තමයි පිටස්තර පාර්ශවයන් කෙරේ දක්වන සැකය.  ඒ වගේම වෙනස් වෙන්න දක්වන ප්‍රතිරෝධය. ලිබරල් චින්තකයො, ජාත්‍යන්තර වාදියො මේ ගතියට කොදෙව් මානසිකත්වය කියලත් කියනවා. කොදෙව් මානසිකත්වය නැත්නම් දූපත් මානසිකත්වය ඇති වෙන්නෙ හුදකලාවෙ හිටියම කියල එක පාරටම හිතුනත් ඒක එහෙමම නෙවෙයි. මොකද ලංකාව කවදාවත් හුදකලාවෙ හිටපු රටක් නොවෙයි. නිරන්තර මුණගැසීම් වලට වගේම අමුත්තන්ගෙ පැමිණීම් වලට මුහුණ දීපු රටක්. කොදෙව් මානසිකත්වය ඇති වෙන්නෙ මෙන්න මේ අමුත්තන්ගෙ නිරන්තර පැමිණීම් හමුවෙ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න ගියාමයි.

කොදෙව් මානසිකත්වයේ හොඳ නරක දෙකම තියෙනවා. එක අතකින් ඒක අපේ ආරක්ෂණ විධි ක්‍රමයක්. සැකය හැම විටම නිවැරදි නොවුනත් සැකයෙ වාසිය ගන්න එක අපේ මිනිස්සු කලාවක් විදිහට ප්‍රගුණ කරල තිබුනා. විශේෂයෙන්ම සියවස් කීපයක් තිස්සෙ අපි ගිවිසුම් වලින් පරාජය උනාට පස්සෙ සැක කිරීම කියන එක වෙනම ශිල්පීය ක්‍රමයක් විදිහට අපේ අය දියුණු කලා.

අපි ජාතියක් විදිහට ශක්තිමත් වගේම දුර්වල තැනුත් බොහෝමයක් තිබෙනවා. ශක්තිමත් භාවයකට උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන් හදිසි මොහොතකදී සංවිධානය වෙන්න අපිට තිබෙන හැකියාව. කැරලි මානසිකත්වය කියන්නෙත් මේ වගේ දේකට තමයි. කැරැල්ලක් පැණ නගින්නෙ බොහොම හදිස්සියෙන්. දේවල් කලින් සැලසුම් කරනවා නං කැරලි අවශ්‍ය වෙන්නෙ නෑ. සිංහල මිනිස්සු ප්‍රශ්න විසඳන්න පුරුදු වෙලා තියෙන්නෙ සැලසුම් කරන අදියර මගහැරලා ඉන් පසුව කැරැල්ලක් හරහා ගිහින්. අපි කොවිඩ් ප්‍රශ්ණෙට උනත් මුහුණ දෙන්නෙ එහෙමයි.

අපේ දුර්වල ලක්ෂණයකට උදාහරණයක් තමයි ඇතැම් විට වෙනසට පෙන්වන ප්‍රතිරෝධය වගේම විදේශ සම්බන්ධතා විෂයෙහි දක්වන පෞරුෂ හීන ගතිය.  මේ පෞරුෂ හීන ගතිය පිටු පස්සෙ ඔය ඉහතින් කියැවුණු සැක කිරීමේ ගතියත් තියෙනවා. ඒක සැකය නිසා අපිට ඇති වෙලා තියෙන අවාසියක්.

මීට දශක කීපයකට කලින් ලෝකෙ තිබුණු ජනප්‍රියතම විදේශ ප්‍රතිපත්ති මාදලිය තමයි නොබැඳි විදේශ ප්‍රතිපත්තිය. නේරුගෙ පංච සීල ප්‍රතිපත්තිය මුල් කොටගෙන හටගත්ත එම මාදිලිය සිරිමාවෝ මැතිනිය වගේ දේශීය නායකයන් යටතේ ඉතාම සරුසාරවත් විදිහට ක්‍රියාත්මක වෙචිච බව අපි දන්නවා. නමුත් දැන් සීතල යුද්ධය ඉවරයි. ‌ප්‍රධාන බල කඳවුරු දෙකක් වෙනුවට එකිනෙකා හා තරඟකාරීව වර්ධනය වෙන කඳවුරු ගනනාවක් ලොව පුරා ඇතිවෙලා. ඒ වගේම ඒ සියලු කඳවුරු විදුලි වේගයෙන් එකිනෙකා හා ගනුදෙනු කරන්නත් පටන් අරගෙන. දැන් ඉතින් මේ එකකටවත් නොබැඳී හිටියොත් අපිට මේ ලෝකෙ මුකුත්ම කරන්න වෙන්නෙ නෑ. නොබැඳී ඉන්නව වෙනුවට අපි කරන්න ඕන හැකි තරම් බැඳෙන එක, හැමෝත් එක්කම.

ඇමෙරිකාව , ඉන්දියාව සහ චීනය කියන රටවල් තුනෙන් අපිට ස්වායත්ත වෙන්න විදිහක් නෑ. ඇමරිකාව මේ මොහොතෙත් ලෝකෙ අංක එකේ බලවතා. චීනය තව මොහොතකින් එතනට පත් වෙන්න නියමිත කෙනා. ඉන්දියාව සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් අපිට ඉතාමත්ම බලපෑම් සහගත රට. නමුත් අවාසනාවකට අපේ රටේ ජනප්‍රිය ජනමතය මේ රටවල් තුනටම විරුද්ධයි.

ඕනෑම රටක් තවත් රටකට ආධාරයක් දෙන්නෙ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇමරිකාව බලාපොරොත්තු වෙන්නෙ බොහෝ විට දේශපාලන ප්‍රතිලාභ. ඉන්දියාවත් එහෙමයි. නමුත් චීනය සහමුලින්ම ආර්ථික ඉලක්ක තිබෙන රටක්.

චීන ණය උගුලක ලංකාව හිරවෙල කියල බලවත් මතයක් තියෙනවා. ඒක බොහොම කරුණු සහිත මතයක්. කොහොම වෙතත් චීනය කියන්නෙ අපිට ගනුදෙනු කරන්න තිබෙන ප්‍රධානතම රට කියන එකත් අමතක කරන්න හොඳ නෑ. 1870 වෙනකල්ම ලෝකෙ විශාලතම ආර්ථිකය උනේ චීනය. තව දශක දෙකකින් පමණ නැවතත් ඔවුන් තමන්ට අහිමි වුනු ඒ තැන ලබා ගන්නවා. One Belt One Road ව්‍යාපෘතිය මගින් ඔවුන් අපේක්ෂා කරන්නෙ මැකී ගිහිපු පැරණි සේද මාවත නැවත මිහිපිට අඳින එක. මෙවර එය මුළු ලොව වටාම ඇඳෙන්න නියමිතයි. මේ අතරතුර ඉන්දියාවත් Act East ක්‍රියාන්විතය හරහා නැගෙනහිර ලෝකය දෙස බලාගෙන ඉන්නවා. ඔවුන් දන්නවා ලෝකයේ දේශපාලනික ,ආර්ථික ගුරුත්ව කේන්ද්‍රය මීලඟට ස්ථානගත වෙන්නෙ නැගෙනහිර බව. ඇමෙරිකානු සාධකය තව දුරටත් වලංගුයි. නමුත් සියවසකින් පමණ එය රටක් විදිහට බිඳ වෙටෙයි කියල සමහර න්‍යායාචාර්ය වරු පුරෝකථනය කරනවා. සිග්මන්ඩ් ප්‍රොයිඩ් වරක් කියල තියෙනවා ” ඇමෙරිකාව නමැති සමූහ මනෝ ව්‍යධිය සොබා දහම මගින් සුව කරනු ඇති” කියල. කොහොම වෙතත් එතෙක් අපිට ඒ එක්කත් ගනුදෙනු කරන්න වෙනවා. අපි MCC ගිවිසුම දිහා උනත් බලන්න ඕන මේ විදිහට මිසක් ඇමෙරිකාව අපිව යටත් කරගන්න ඉන්නවා කියන මානසිකත්වයෙන් නෙවෙයි.

චීන මුදල් ගනුදෙනු මූල්‍යමය වශයෙන් අපිට අවාසි වෙන්න පුළුවන්. හැබැයි අපි මේ වෙනකොට චීනය පමණක් ඉතුරු වෙන තැනකට තල්ලු වෙලා තියෙනවා. ලංකාවෙ විදේශ චිත්‍රය ඇතුළෙ ඇමෙරිකාව සහ ඉන්දියාව මීට වඩා සක්‍රීය උනා නම් , ඔවුන් කෙරේ අපේ තියෙන පිලිගැනීම මීට වඩා පළල් උනා නම් චීනය සමග උනත් අපිට තිබෙන සම්බන්ධය මීට වඩා සාරවත් වෙන්න , වාසි සහගත වෙන්න ඉඩ තිබුණා.

කිසිම රටකට බිය වීමෙන් පලක් නෑ. හැම රටක් එක්කම ගණුදෙනු කිරීමයි වැදගත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *