Opinion

ඇයි අපි කළුද?

Summary

ප්‍රතික්ෂේප වීමට බිය නොවන්න. ප්‍රතික්ෂේප වීම ඔබ විශිෂ්ටයෙකු කරවයි.

  • Save

මීට දශක කීපයකට පෙර ඉන්දියාවේ රූපවාහිනී නිවේදකයෙකු වීමේ උණෙන් පෙලුනු පහැපත්, උස, හීන්දෑරි තරුණයෙකු රූපවාහිනී නිවේදක සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වු අතර ඔහු පළමු පරීක්ෂණයෙන්ම අසමත් විය. එහි සිටි විනිසුරු මඩුල්ල තීරණය කරන ලද්දේ ඔහුගේ පෙනුම නිවේදකයෙකු වීමට තරම් උචිත නොවන බවයි. එදා එලෙස ප්‍රතික්ෂේප වු තරුණයා වුයේ මෙදා ඉන්දියානු සිනමාවේ දැවන්තයා වන අමිතාබ්  බච්චන් ය.

එලෙසම මීට දශක කීපයකට පෙර  ලංකාවේ  ගායකයෙකු වීමේ උණෙන් පෙලුනු කොණ්ඩය පැත්තට පීරූ උස මහත  තරුණයෙකු තම ප්‍රථම චිත්‍රපට ගායන සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වු අතර එහිදී චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයා එතනින් ඔහුව එළවා දැමුවේ “තමුසෙට තියෙන්නේ ටකරන් කටහඬක්” යැයි පවසමිනි. ඉන් ටික කලකට පසුව බොහෝ වෑයම්කොට චිත්‍රපටයක පසුබිම් ගායනය සඳහා අවස්ථාවක් ලබාගත් අතර එහිදී ඔහුට ගායනා කීරීමට තිබුණේ පසුබිමෙන් ඇසෙන “තොටියෝ” යන කෑල්ල පමණි. එදා “ටකරන් කටහඬක්” ලෙස ප්‍රතික්ෂේප වු තරුණයා වුයේ ලංකාවේ සදා නොමියෙන කටහඬ වු එච්.ආර් ජෝතිපාල ය.

චීනයේ ජීවත් වූ අඩි පහක් පමණ උස, ඉතා කෘෂ වු සහ පෙනුමෙන් ප්‍රසන්න නොවූ තරුණයෙකු ඉගෙනීම සඳහා මහත් පරිශ්‍රමයක් යෙදුවේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට කීපවරක් උත්සාහ දැරුවද කඩයිම් විභාගය සමත් කර ගත නොහැකි වූ නිසා විශ්වවිද්‍යාලවලින් ප්‍රතික්ෂේප විය. ඉන් පසු KFC ආයතනයේ සුළු රැකියාවක් සඳහා කීප විටක් අයදුම් කළද එතනින් ද ප්‍රතික්ෂේප විය. රැකියා සඳහා සමාගම් සිය ගණනකට අයදුම් කළද සෑම විටම ප්‍රතික්ෂේප විය. ඉන්පසු සංචාරකයින්ට මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කර ඉන් සුලු මුදලක් උපයාගත් අතර සංචාරකයන් හා සංවාදයේ යෙදීම නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්නට හැකි විය. ඉන්පසු ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කොට ඉන් ඉවත් වී සමාගමක් ආරම්භ කළ අතර එය ද අසාර්ථක විය. 1995 වනතෙක්  පරිගණකයක් දැක නොතිබූ ඔහුට වසර 1999 වන විට ලොව විශාලතම අන්තර්ජාල වෙළදාමේ (e-commerce) ආරම්භ කිරීමට හැකිවිය. එදා විශ්වවිද්‍යාල හා රැකියාවලින් ප්‍රතික්ෂේප වු තරුණයා වුයේ ලෝ ප්‍රකට අලිබබා සමාගමේ නිර්මාතෘ සහ දැනට චීනයේ අංක එකේ ධනවතා වන “ඡැක් මා” ය.

20 වන සියවසේ මුල් අවධියේ ජපානයේ  කුඩා ගම් පළාතක උපත ලද, වසර පහලොවක් යනකම් නිසි අධ්‍යාපනයක් නොලැබූ තරුණ කොලුවෙකු රැකියාවක් සොයා ගැනීම සඳහා ටෝකියෝ අගනුවර බලා පිටත්වූ අතර එහිදී ඔහුට මෝටර් රථ කාර්මිකයෙකු වශයෙන්  වෘත්තීය පුහුණුවේ යෙදීමට හැකිවිය. රැකියාවක් නොලැබේ දෝ යන සැකය නිසා වසර හයක් එක දිගට වෘත්තීය පුහුණු වන්නෙකු ලෙසින් සේවය කළේය. ඉන් ටික කළෙකට පසුව තමාගේම මෝටර් රථ අමතර කොටස් නිපදවන කර්මාන්ත ශාලාවක් ආරම්භ කළද දෛවයේ සරදමකට මෙන් එය භූමිකම්පාවකට හසු වී විනාශ වී ගියේය. ඉන්පසු පසු ක්‍රමයෙන් නැවත වැඩ ආරම්භ කළ ඔහුට තම කැපවීම නිසාම  පිස්ටනය (Piston) නිර්මාණය කර ගැනීමට හැකි විය. තමන් සොයා ගත් පිස්ටනය එවකට ප්‍රබල මෝටර් රථ සමාගමක් වූ ටොයෝටා සමාගම වෙත හඳුන්වා දීමට උත්සාහ ගත්තද ඔවුන් එය ප්‍රතික්ෂේප කළේය. මෙලෙස තම ප්‍රථම නිර්මාණය ප්‍රතික්ෂේප වු තරුණයා වුයේ හොන්ඩා සමාගමේ නිර්මාතෘවරයා වු සොයිචිරෝ  හොන්ඩා ය.

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් විරැකියාව නිසා බොහෝ පීඩා විඳි අතර පළමු විවාහයෙන් දික්කසාද වීමට සිදුවීමත් තනිකඩ එක්‌දරු මවක් ලෙස සමාජාරක්ෂණයෙන් (social security) ලැබෙන මුදලින් ජීවිතය ගත කිරීමට සිදුවීමත් නිසා දරුණු ලෙස විෂාදය නැමති මානසික රෝගයන් පෙළෙන්නට විය. එම නිසා ජීවිතය නැති කර ගැනීමට බොහෝ අවස්ථාවලදී කල්පනා කලාය. කෙසේ වුවද මනස නිදහස් සෑම විටම ඇය ග්‍රන්ථකරණයේ යෙදෙන්නට විය. ඇය මහත් පරිශ්‍රමයක් දරා ලියු ග්‍රන්ථයක් මුද්‍රණය කිරීමට මුද්‍රණාලයක් වෙත ගියද එයින් ප්‍රතික්ෂේප විය. එලෙස මුද්‍රණාල 12 කින් දිගින් දිගට ප්‍රතික්ෂේප විය. එලෙස ප්‍රතික්ෂේප වු ග්‍රන්ථය වුයේ ලොව වටා පිටපත් මිලියන 400 කට වඩා විකිණූන “හැරි පොටර්” ග්‍රන්ථය යි. එහි කතුවරිය වුයේ ජේ.කේ රෝලින් ය.

ලෝ ප්‍රකට නිර්මාණකරුවෙකු වූ තෝමස් අල්වා එඩිසන් පාසලෙන් ප්‍රතික්ෂේප වු අතර ඇල්බට් අයින්ස්ටයින් මහාචාර්ය පදවියෙන් ප්‍රතික්ෂේප විය. වර්ල්ඩ් ඩිස්නි ආයතනයේ නිර්මාතෘ වෝල්ටර් ඩිස්නි සිය පුවත්පත් රැකියාවෙන් එලවා දැමුවේ “නිර්මාණශීලී නැත” යයි පවසා ය. ලොව ප්‍රකට නිලි මැර්ලින් මොන්රෝ රූමත් සහ දක්‍ෂ මදි යැයි පවසා චිත්‍රපට සමාගමෙන් ඉවත්කර දැමීය. බීටල්ස් සංගීත කණ්ඩායමට සංගීත ලෝකයේ අනාගතයක් නැතැයි නිෂ්පාදකවරු ප්‍රතික්ෂේප කළ අතර ලෝ ප්‍රකට රූපවාහිනී නිවේදිකා ඔප්රා වින්ෆ්‍රේ රූපවාහිනියට සුදුසු නැතැයි රැකියාවෙන් ඉවත් කළාය. KFC නිර්මාතෘ කර්නල් සැන්ඩර්ස් ගේ ආහාර ආපනශාලා දහසකින් ප්‍රතික්ෂේප වු අතර ලෝ ප්‍රකට පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් පාසලේ පැසිපන්දු කණ්ඩායමෙන් ප්‍රතික්ෂේප වූයේ අදක්ෂ ක්‍රීඩකයෙක් ලෙස සලකාය.

ඔබ ජීවිතයේ කෙදිනක හෝ ප්‍රතික්ෂේප  වී නොමැති නම් ඔබ ගමන් කරන්නේ නිවැරදි මාර්ගයේ නොවීමට බොහෝදුරට ඉඩ ඇත. ප්‍රතික්ෂේප වීමට බිය නොවන්න. ප්‍රතික්ෂේප වීම ඔබ විශිෂ්ටයෙකු කරවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap