Opinion

ඇවිදින මංතීරු ප්‍රශ්නය – මම දකින හැටි

Summary

මේ වෙලාවේ ප්‍රමුඛත්වය ඇවිදින මංතීරුද? රටේ උග්‍ර මූල්‍ය අර්බුදයක් තියෙන වේලාවක මේවාට වියදම් කිරීම හරිද? බැලූ බැල්මට මේ තර්කය සාධාරණය. එහෙත්, අපේ රටේ ව්‍යාපෘතිවලට මුදල් ලැබෙන ක්‍රමය ගැන දැනුවත් බවක් ඇති අයෙකුට මෙහි පුදුම වෙන්නට දෙයක් නැත. කොහෙන් හරි ලැබෙන ආධාරයකට, ණයකට අනුව ව්‍යාපෘති සැකසී අනුමැතිය ලැබී ඇත්තටම මුදල් එන්නේ පටන්ගත්තාට සෑහෙන කාලයකට පසුවය. එහෙම එන මුදල දැං ප්‍රමුඛත්වය තියෙන සෞඛ්‍යයට ඇදලා ඇරගෙන වියදම් කරන්නටද බැරිය. ඒ නිසා ව්‍යාපෘතිය කරන්නටද වෙනවාය. ⁣හැබැයි “කොරෝනාවලින් කෙලවෙලා ඉන්නකොට මංතීරු හදනවා “කියන එක හොඳ සටන් පාඨයක් නෙව!

  • Save

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම වටේට තියෙන කාපට් ඇතිරූ පාරටත් රලපනාවටත් අතර ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීම අරභයා ගොඩ නැගුණු කතිකාවත ලාංකීය සමාජය මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවල ප්‍රතිබිම්බයක් වැනි යැයි මට සිතෙයි.

ලංකාවේ මිනිස්සු ප්‍රශ්නයක් අල්ලාගන්නේ තමන්ට පහසු කොණෙන්ය. තමන්ට තේරෙන කොණෙන්ය. තමන්ගේ දේශපාලන මතය⁣ට ළඟ කොණෙන්ය.

ලංකාවේ බොහෝ සංවර්ධන ව්‍යපෘති කෙරෙන්නේ ඒ වටේ ඇති කොමිස් මුදල් හා ඒ ව්‍යාපෘතිය කෙරෙන අමාත්‍යාංශයේ දේශපාලන බලාධිකාරයේ දේශපාලන ව්‍යාපෘතියේ හැඩතල අනුවය. ආණ්ඩුවේ දේශපාලකයා ඒ කොණෙන් අල්ලාගනිද්දී විපක්ෂ දේශපාලකයා බලන්නේ ව්‍යාපෘතිය වෙන්නට දීමෙන් ඇති දේශපාලන අවාසිය හෝ විරුද්ධ වීමෙන් ඇති දේශපාලන වාසියය. ඇත්තටම පක්ෂ විපක්ෂ මොන දේශපාලකයෙකුටවත් වැවවත්, රළපනාවවත්, වැවේ පෞරාණික බවවත් අදාළ වන්නේ ඒවා තමන්ගේ බල ව්‍යාපෘතියටත් ඒ සමඟ ඇති කොමිස් කුට්ටියටත් මොන තරම් සාධනීය ලෙස යොදා ගත හැකිද යන්න අනුව පමණය. ඒ නිසා බුකියේ දෙපසට බෙදී කෙරෙන සංවාදවල කොණක පක්ෂ විපක්ෂ බල ව්‍යාපෘතිවල සෙවණැලිද තියෙන බව දැන ගැනීම හොඳය.

ඒ පාලක පංතියේ ප්‍රවේශයය…
සාමාන්‍ය මහජනතාවගේ ප්‍රවේශය කුමක්ද?
මේ ඇවිදින මංතීරු ප්‍රශ්නය හරහා එලියට එන ලංකාවේ මිනිසුන්ගේ යම් ප්‍රශ්නයක් ගැන ඇති ප්‍රවේශයද, ඒ උඩ ඇති මතවාද කියවීමද ඒවා තේරුම් ගැනීමද රසවත්ය…
අපි එකිනෙක ඒවා ලිහා ගනිමු…

මංතීරුවක් ඉදිකිරීමෙන් වැවේ ආරක්ෂාවට හානි වෙයි – මේ සම්බන්ධව ප්‍රාමාණික උගත්කමක් ඇති වාරිමාර්ග ඉංජිනේරුවරයෙකුගෙන් මේ ගැන මම විමසීමි. වැවට හානියක් නොවන ලෙස මෙය ඉදිකළ හැකි බව ඔහුගේ මතය විය. මේ සම්බන්ධව වගකීම දරණ වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ විද්‍යාත්මක විශ්ලේෂණයකින් පසුව ඒ ප්‍රශ්නය පහසුවෙන් ලිහා ගත හැකිය.

මංතීරුවක් ඉදිකිරීමෙන් වැවේ පෞරාණික වැදගත්කමට හානි වෙයි. – මේ කතාවේ යම් සත්‍යතාවයක් ඇතත් මෙය අවම වන සේ මේ ඉදිකිරීම කළ හැකිය. ඇත්තටම ලංකාවේ පෞරාණික වැව් වටේ පුංචි සංචාරයක් ගියහොත් ඒවාට රටේ මිනිස්සු දක්වන සෙනෙහසේ තරම බියර් කෑන්වලින්, කුඩු කළ අරක්කු බෝතල්වලින්, කෑම ⁣ඔතන පොලිතින් කොලවලින් මැන ගත හැකිය.

පොළොන්නරුවට මොන ඇවිදින මංතීරුද? – ⁣උතුරු නැගෙනහිර පළාත්වල ඉන්නා ගොවි ජනතාව අතර කියලා දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී බෝ නොවන රෝග අඩු නැත. ඔවුනටද ව්‍යායාම කිරීමට හරිහමන්, ආරක්ෂාකාරී තැනක් තිබීම හොඳය. අනාරක්ෂිත ලෙස පාරවල්වල ඇවිදින්නට ගොස් වාහනයකට යට වෙනවාට වඩා, නයෙක් ගහනවාට වඩා එය හොඳය.

මේ වෙලාවේ ප්‍රමුඛත්වය ඇවිදින මංතීරුද? රටේ උග්‍ර මූල්‍ය අර්බුදයක් තියෙන වේලාවක මේවාට වියදම් කිරීම හරිද? බැලූ බැල්මට මේ තර්කය සාධාරණය. එහෙත්, අපේ රටේ ව්‍යාපෘතිවලට මුදල් ලැබෙන ක්‍රමය ගැන දැනුවත් බවක් ඇති අයෙකුට මෙහි පුදුම වෙන්නට දෙයක් නැත. කොහෙන් හරි ලැබෙන ආධාරයකට, ණයකට අනුව ව්‍යාපෘති සැකසී අනුමැතිය ලැබී ඇත්තටම මුදල් එන්නේ පටන්ගත්තාට සෑහෙන කාලයකට පසුවය. එහෙම එන මුදල දැං ප්‍රමුඛත්වය තියෙන සෞඛ්‍යයට ඇදලා ඇරගෙන වියදම් කරන්නටද බැරිය. ඒ නිසා ව්‍යාපෘතිය කරන්නටද වෙනවාය. ⁣හැබැයි “කොරෝනාවලින් කෙලවෙලා ඉන්නකොට මංතීරු හදනවා “කියන එක හොඳ සටන් පාඨයක් නෙව!
ඉතිං මේ වාගේ සංවේදි කාරණාවක් දේශපාලනික ලෙස පහර දෙන්නට අපේ දේශපාලකයා යොදා නොගන්නේ නම්ය තමා පුදුමේ !

පොළොන්නරුව ගොවියන්ට පොහොර නෑ…වතුර නෑ…උන්ට ඒව දීල හිටිය නම් හොඳයි මංතීරු හදන්න කලින් – ඇත්තටම මේ පන්නයේ විවේචන නම් ලංකාවේ කවරදාකවත් ඉවර වෙන ඒවා නෙවෙයි. මීට අවුරුදු පහළොවකට කලින් මා දුටු පොළොන්නරුව අද වෙනස්ය. පො⁣ළොන්නරුවේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයද තිබුණාට වඩා උසස්ය. ඒ කාලේ පත්තරවල මුල්පිටු සැරසූ “වී විකුණා ගන්නට නොහැකිව වස බොන ” ගොවියා අද එහි නැත. අද පො⁣ළොන්නරුවේ ගොවියාට හොඳ මිලක් ලැබෙයි. මා සමඟ සේවය කළ පොළොන්නරුවේ ගොවි පවුල්වල ළමයි කවුරුත් ඒ දේ කියති. මෛත්‍රීපාල පොළොන්නරුවට සෑහෙන වැඩ කොටසක් කර ඇත.
තව කෙරෙන්නට බොහෝ දේද ඇති මුත්, පොළොන්නරුවේ ජීවත් වන මිනිසුන්ටත් ව්‍යායාමයක් කරන්නට මංතීරුවක් හදන එක ප්‍රමුඛතා ලැයිස්තුවේ අන්තිමටම දැමිය යුතු යයි මම නම් නොසිතමි.

ආදරණීය මිත්‍රවරුනි,
ඇත්තටම මේ ඇවිදින මංතීරුව සාකච්ඡාවට බඳුන් කළ යුතු මහා ප්‍රශ්නයක් නොවූවත්, අප ප්‍රශ්නයක් කෙරහි දක්වන ප්‍රවේශය කොතරම් පටු දැයි හිතා බලන්නට මේ මංතීරු ප්‍රශ්නය වුවද ඇති යැයි මම සිතන්නෙමි. මේ පටු ප්‍රවේශය අප රටේ සංවර්ධනයටද ඉදිරි ගමනටද උවමනාවටත් වඩා අකුල් හෙළා ඇති බවද කියන්නෙමි.

වැවේ ආරක්ෂාව, පෞරාණික වැදගත්කම, ප්‍රමුඛත්වය වැනි ප්‍රශ්න සාධනීය ලෙස විසඳාගතහොත් මෙවන් ව්‍යාපෘතියක මා දකින හොඳ පැත්ත ගැනද ලියන්නට කැමතිය…
ලංකාවේ මිනිසුන්ට විවේකයෙන් ඉන්නට, විනෝදාස්වාදය ලබන්නට තැනක් තියෙන්නේ කොහේද? දවසේ වැඩ කටයුතු අහවර වී පවුලේ අයත් සමග නිදහස් තැනකට ගිහිල්ලා පුංචි වුන්ට නිදහසේ ඉන්නට දීලා තමනුත් නිදහසේ ඉන්නා සංස්කෘතියක් ඕනෑ නැතිද? ඒ අතර තමන්ගේ ව්‍යායාම ටිකද කර ගැනීමට ඉඩ ලැබෙයි නම් හොඳ නැතිද?

ආදරණීය මිත්‍රවරුනි, මේ සංස්කෘතිය මම එංගලන්තයේදී අත්වින්දෙමි. ඒ නිසාම එහි වැදගත්කම දන්නෙමි. කොළඹ ඉන්නා හැම දවසකම කිඹුලාඇල මංතීරුවට ගොස් ඇවිදින්නෙමි. එහෙම කර කර අපට ඉගැන්නු අනුරාධපුරයේ පොළොන්නරුවේ මිනිසුන්ගේත් එක ප්‍රශ්නයකට හෝ විසඳුමක් ලැබෙන එකට විරුද්ධ වන එක නොකරමි.

ලක්මාල් කුලසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap