Opinion

ඉගෙනීම පුදුමාකාර දෙයකි.

Summary

මිනිසුන් රවටන්නෙකු දුටු විට අපට වහා කල්පනා වන්නේ ඔහු නොකළ යුතු දෙයක් කරන අයෙකු හැටියට නොවේ. අපිට බැරි දෙයක් කරන අයෙකු හැටියටයි. ඊළගට අපට වහා කල්පනා වන්නේ අපට ද එය ඉගෙනගැනීමට හැකි බවයි.

ඉගෙනීමේ දී මුලින් ම සිදුවන්නේ ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව අප තුළ ඇති බව අපි දැනගැනීමයි. ඒ වැටහීම ලැබුණු පසුව අපි ඕනෑම දෙයක් ඉගෙනගැනීමට පෙළඹෙමු.

බොරු කියන අයෙකු දුටුවිට අපට ඔහු බොරු කියන්නට ඉගෙන ගෙන ඇති බව කල්පනා වේ. ඔහු බොරු කියන්නට ඉගෙන ගෙන ඇති නම් අපට ද බොරු කියන්නට ඉගෙන ගත හැකි බව දෙවනුව අපට කල්පනා වේ. ඔහුටත් වඩා හොඳට බොරු කියන්නට අපට ඉගෙනගැනීමට තුන්වනුව අපට කල්පනා වේ. සතර වෙනුව අපි ඒ අනුව ක්‍රියාකිරීම අරඹමු. එනම් ඉගෙනගනිමු. ඉගෙනීම පුදුමාකාර දෙයක් යැයි මා කීවේ ඒ නිසාය.

මිනිසුන් රවටන්නෙකු දුටු විට අපට වහා කල්පනා වන්නේ ඔහු නොකළ යුතු දෙයක් කරන අයෙකු හැටියට නොවේ. අපිට බැරි දෙයක් කරන අයෙකු හැටියටයි. ඊළගට අපට වහා කල්පනා වන්නේ අපට ද එය ඉගෙනගැනීමට හැකි බවයි. අනුන් රැවටීම හා වංචා කිරීම වරදක් වුව ද ඉගෙනීම වරදක් නොවේ.

ඉගෙනීම ඇත්තෙන් ම පුදුමාකාරය. අඬන අය දුටු විට අපි එසේ අඬන හැටි ඉගෙනගනිමු. දොඩන අය දුටු විට ද එසේ ම දොඩන්නට ඉගෙනගනිමු. බිම පෙරළෙන අය දුටු විට බිම පෙරළෙන්නට ද ඉගෙනගනිමු. මෙය අඬන දොඩන බිම පෙරළෙන සමාජයක් වී ඇත්තේ ඒ නිසාය. ඉගෙනීම නිසාය.

පාතාලයේ ද සිදුවන්නේ ඉගෙනගැනීමකි. වෙඩි තැබීම වරදක් යැයි නොසිතෙන්නේ එය ඉගෙන ගතහැකි දෙයක් නිසාය. ඉගෙනගත යුතු දෙයක් නිසාය. ඉගෙනගැනීම වරදක් නොවේ. කුඩු විකිණීම ද එලෙසමය. එය ද ඉගෙනගත යුතු දෙයකි. ඉගෙන ගැනීමෙන් තොරව කළ නොහැකි දෙයකි. ඉගෙනීම වරදක් නොවේ. ඒ අනුව කුඩු විකිණීම ද වරදක් නොවේ.

කඩුවෙන් කොටන්නට ඉගෙනගැනීම සාමාන්‍ය පෙළ වැනිය. පිස්තෝලයෙන් වෙඩි තියන්නට ඉගෙනගැනීම උසස් පෙළය. ටී පනස් හය වැනි නවීන අවි ආයුධ හරඹය උපාධිය සමත්වීමකි. කුඩු ව්‍යාපාරය දැනගැනීම පශ්චාත් උපාධි ලැබීමකි. පාතාලය තුළ වුව ද එලෙසින් ඉගෙනීමේ ක්‍රියාවලිය පවතියි.

ඉගෙනීම අත්හැර ගන්නට නොහැකිවීම අපට ඇති ලොකුම අබැද්දියකි. හැම හොරකමක් ම හැම අපරාධයක් ම හැම වංචාවක් ම ඉගෙනගැනීමේ පුදුම හැකියාව අප තුළ ඇත. ඒ නිසා ම අපට පුදුමාකාර උගතුන් ද හමුවේ. අපට උගතුන්ගෙන් අඩුවක් නැත.

ආදරයේ දී වංචා හතරක් සිදුවේ. එකක් මා ඇයට ආදරය කරන බව මා විසින් සිතාගැනීමය. දෙවැන්න ඇය මට ආදරය කරන බව මා විසින් සිතාගැනීමය. තෙවැන්න ඇය මට ආදරය කරන බව ඇය විසින් සිතාගැනීමය. සිව්වැන්න මා ඇයට ආදරය කරන බව ඇය විසින් සිතාගැනීමය. ආදරයේ දී පමණක් නොව බොහෝ සමාජ සම්බන්ධතාවන්හිදී මේ වංචා හතර සිදුවේ. ගුරුගෝල සම්බන්ධතාවකදී මෙය මෙසේ විය හැකිය. එනම් තමා ගෝලයාට හිතවත් බව ගුරුවරයා විසින් සිතාගැනීමය, ගෝලයා තමාට හිතවත් බව ගුරුවරයා විසින් සිතාගැනීමය, ගුරුවරයා තමාට හිතවත් බව ගෝලයා විසින් සිතාගැනීමය හා තමා ගුරුවරයාට හිතවත් බව ගෝලයා විසින් සිතාගැනීමය වශයෙනි. මේ තත්වය මාපිය දූදරු සම්බන්ධතාවන්ට පවා අදාළ විය හැකිය. මේවා පවා අප ඉගෙනගත් දේ ය.

මේ සියල්ල ම වූයේ කන්නංගර මහතා නිසා යැයි ද කිව හැකිය. ඉගෙනීම සියලූ දෙනාගේ අයිතියක් බවට පත්කළේ එතුමන් විසිනි. ඒ නිසා අද වන විට පාසල් නොයා වුව ද පාතාලයේ සාමාජිකයන්ට ඉගෙනීමට අවස්ථාව ලැබෙන තරමට අධ්‍යාපන අවස්ථා පුළුල් වී තිබේ.

අපට අද යහපත් මිනිස්සුන් වන්නට තිබෙන ලොකුම බාධාව වී ඇත්තේ අප තුළ ඇති ඉගෙනීමේ හැකියාවය. ඉගෙනීමේ හැකියාව අත්හළ හැකි නම් අපට මීට වඩා බොහෝ යහපත් මිනිස්සුන් වන්නට හැකිය. එහෙත් මොනවා අත්හැරියත් අපට ඉගෙනීම අත්හැරීමට නොහැකිය.

මෙය පාතාලයටත් අපටත් කාටත් පොදුය.

මෙයට වියත් මග සම්බන්ධ කරගත යුතු නැත. ඇත්තටම වියත් මග හැර අන් කිසිදු මගක් මේ වන විට මේ රටේ ඉතිරි වී නැත.

උගන්නන්නෝ ද බොහෝය. ඉගෙනගන්නෝ ද බොහෝය. ඉගෙන නොගන්නෝ අද නැති තරම්ය. අපේ රටට අනාගතයක් නැත්තේ ඒ නිසා ය.

මට දැන් ඇත්තේ එකම අධිෂ්ඨානයක් පමණි. එනම් ඉගෙනගැනීමෙන් වැළකීමය. එහෙත් එය අධිෂ්ඨානයක් පමණි. ක්‍රියාවට නැගෙන්නක් නොවේ. මක්නිසාද යත් අද වන විට අප දන්නේ ඉගෙන ගන්නට පමණක් වන බැවිනි.

නූගත් මිනිහෙක් සොයා දෙන ලෙස මම ඔබට අභියෝග කරමි. ඔබට එවැන්නෙක් සොයා දෙන්නට නොහැක. නූගත් මිනිසුන් හා සැසඳීමේ දී කළුනික සුලබ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *