COLUMN

ඊළඟ මැතිවරණය

Summary

අනෙක් කාරණය නම්, උගතුන්ද ඇතුළුව මේ රටේ කිසිවකු ඡන්දය භාවිත කළ යුත්තේ කුමකටදැයි දන්නේ නැහැ. ඡන්දය භාවිත කළ යුත්තේ සමාජ ප්‍රගමනය වෙනුවෙන් ආණ්ඩුවක් පත්කර ගන්න කියලා කිසිවෙකු හිතන්නෙවත් නැහැ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වහා මැතිවරණයක් ඉල්ලා නිවේදනයක් නිකුත්කර තිබෙනවා දැක්කා ඊයේ දවසේ.
ඔවුන්ට කියන්න තියෙන්නෙ මේ රටේ ඔවුන්ද ඇතුළුව සියල්ලන් හැමදාම ඡන්දය දීලා තියෙන්නෙ සමාජ වගකීමක් ඇතිව නොවේ කියලා. ඡන්දයෙන් ගත යුතු සමාජීය ප්‍රයෝජනය වෙනුවෙන් නොවේ යැයි කියලා.
සියල්ලට පෙර මේ රටේ උගතුන් ඇතුළු ජනතාව ඡන්දය දෙන හැටි තේරුම් ගත යුතුයි. ඊළඟ මැතිවරණයට මොන සන්ධාන, මොන පෙරමුණු හැදුනත් ඒවා මොන පොරොන්දු දුන්නත් මැතිවරණය පැවැත්වෙන්නේ මැ.කො පිළිගත් දේශපාලන පක්ෂ තරග කිරීමෙන්. ඒ පක්ෂ මෙහෙය වෙන්නෙ ජාවාරම්කාර මුදල් වලින්. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කරන්නෙත් ජාවාරම්කාරයින්.
ජන මාධ්‍ය, විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය මෙහෙය වන්නෙත් ජාවාරම්කාරයින්.
ඡන්දය දෙන අයගෙන් බහුතරය, සියයට 70ක් සිංහල-බෞද්ධයින්. ඔවුන් මැතිවරණ ප්‍රතිපල තීන්දු කරන බහුතර ගොනුව බවට ජන මාධ්‍යයද හවුල් වී මතවාදීව දැන් පදම් කරලා ඉවරයි.
අනෙක් කාරණය නම්, උගතුන්ද ඇතුළුව මේ රටේ කිසිවකු ඡන්දය භාවිත කළ යුත්තේ කුමකටදැයි දන්නේ නැහැ. ඡන්දය භාවිත කළ යුත්තේ සමාජ ප්‍රගමනය වෙනුවෙන් ආණ්ඩුවක් පත්කර ගන්න කියලා කිසිවෙකු හිතන්නෙවත් නැහැ.
මෙතෙක් පැවති පාර්ලිමේන්තු මැතිවරණ 16 කදී ඔවුන් වැඩි වැඩියෙන් ආණ්ඩු විරෝධීව ඡන්දය දීලා තියෙන්නේ ඊළඟට පත්වන ආණ්ඩුව ගැන ඇති විශ්වාසයක් සමග නෙවෙයි. පසුගිය කාලයේ ආණ්ඩු විරෝධයද වඩාත් ජාතිවාදී ලෙස ඡන්ද හසුරවලා තියෙන්නෙ කුලයට, ඥාතිත්වයට, ගමේ කමට, වැලි පර්මට් බාර් පර්මිට්, රජයේ කොන්තරාත් ගන්න, අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු, සහ සංස්ථා සභාපතිකම් ගන්න විතරයි. කෙටියෙන්ම කියනවා නම්, අති පුද්ගලවාදී ආත්මාර්ථකාමිත්වයක් වෙනුවෙන්.
මුළු කාලය පුරා මේ සමාජය ඊට වඩා පරිනත වීමක් පෙන්වන්නේ නැහැ. ඇත්ත නම්, හැම පාලනයක් සමගම, සමාජය වඩාත් දූෂිත වෙලා, පිරිහිලා. ඒ නිසා ඊළඟ පාර්ලිමේන්තුවට මිලියන 15 කින් 12 ට වැඩිය ඡන්දය දෙන්නෙත් පරණ තාලෙටමයි.
ඊළඟ මැතිවරණයට මොන සන්ධාන හැදුනත් ඡන්දය භාවිත කළ යුත්තේ කුමන අරමුණක් සඳහාදැයි නොදන්නා වියතුන් උගතුන් සහ ටොයියන් බයියන් හවුලේ පත් කරන ඊළඟ පාර්ලිමේන්තුවත් මේ පාර්ලිමේන්තුවට වඩා බාල්දුවක් මිස මීට වඩා යහපත් නොවන්නකි.
එනිසා මේ වි.විද්‍යාල උගතුන් මැතිවරණයට පෙර ඉල්ලා සිටිය යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් තියෙනවා. පක්ෂ අරමුදල්, මැතිවරණ ප්‍රචාරක වියදම්, අපේක්ෂක වත්කම් හා බැරකම් ප්‍රකාශ ආදිය ප්‍රසිද්ධ කිරීමේ සිට, ඡන්දය භාවිත කිරීමේ සමාජ වගකීම ගැන වහා සමාජ කතිකාවකට මුල පිරිය යුතුයි.
උගතුන්ගේ මේ මොහොතේ වගකීම එයයි.

Leave a Reply

Your email address will not be published.