COLUMN

උකුසු දඩයම…

Summary

මේ ආණ්ඩුවෙන් අපි අයින් වෙමු කියලා මම මධ්‍යම කාරක සභාවට යෝජනා කරේ මීට මාස 04 කට කලින්

” මේ ආණ්ඩුවෙන් අපි අයින් වෙමු කියලා මම මධ්‍යම කාරක සභාවට යෝජනා කරේ මීට මාස 04 කට කලින් ”
– ලසන්ත අලගියවන්න පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමති ( ශ්‍රීලංකා නිදහස් පක්ෂය )-

” මම පරාක්‍රම සමුද්‍රයෙ වැව් බැම්මේ හවස ඇවිදින්න යනකොට දැක්කා දියකාවෙක් ගොඩාක් වෙලා මහන්සි වෙලා මාළුවෙක් අල්ලගෙන ගලක් උඩට ගෙනත් කන්න ලෑස්ති වෙනකොටම එකපාරටම උකුස්සෙක් ඇවිත් මාළුවා ඩැහැගෙන ගියා ”
– මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති –

මේ ආණ්ඩුව පත්වෙලා වසර 02 කට ආසන්නයි. මේ වසර දෙක ඇතුළත මේ ආණ්ඩුව මුහුණ දුන්න ප්‍රධානතම අර්බුද 03 තමයි, සහල් මිල, ගෑස් අර්බුදය සහ පොහොර ප්‍රශ්ණය.
මේ ගැස් සම්බන්ධයෙන් කටයුතු කරන ඇමතිවරයා තමයි ලසන්ත අලගියවන්න කියන්නෙ.
පොහොර අර්බුදය ගත්තොත් ලංකාවෙ වී වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වන කුරුණෑගල, අම්පාර, අනුරාධපුරය, මොණරාගල වැනි දිස්ත්‍රික්ක වල 90% කට වඩා වී වගා කරලා තියෙනවා. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඒ ප්‍රමාණය 25% යි. පොලොන්නරුව දිස්ත්‍රික්කය හසුරුවන අදෘශ්‍යමාන බලවේගය මෛත්‍රීපාල සිරිසේන.
සහල් මිල පාලනය කිරීමේ ඒකාධිකාරය හිමිව තියෙන්නෙ හිටපු ජනාධිපති සිරිසේනගෙ මල්ලි ඩඩ්ලි සිරිසේනට.

ආණ්ඩුව පිරිහීමට ලක් කරන මේ සිද්ධි අතර සහසම්බන්ධයක් ඔබට පේන්නෙ නැද්ද..?
වර්තමානය ආණ්ඩුවට එල්ලවෙලා තියෙන අනික් බරපතලම චෝදනාව පාස්කු ඉරිදා ප්‍රහාරයෙ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ඨ නොවීම. ඒ හේතුව නිසා කතෝලික ජනතාව වේගයෙන් ආණ්ඩුවෙන් ඈත් වෙමින් ඉන්නවා. කාදිනල්තුමා වක්‍රාකාරව කියන්නෙ හිටපු ජනාධිපති සිරිසේනව ආරක්ෂා කරන්න ඕන නිසා වත්මන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්න පරක්කු කරනවා කියලා.

2020 සැප්තැම්බර් මහමැතිවරණයට සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිප නඩය සම්බන්ධ කරගන්න එපා කියලා අපි මුහුණු පොතේ සෑහෙන සටන් කලා. ඒ වෑයම ගඟට කපපු ඉණි උනා. එදා අපි පෙන්නපු අනතුර අද මහපොළොවෙ යථාර්තයක් වෙලා තියෙනවා.

එදා ජනාධිපතිවරණය මොහොතේ සිරිසේන සහයෝගය දැක්වූයේ ගෝඨාභයට නොව සජිත්ට කියන එකත් දේශපාලන ලෝකයෙ රහසක් නොවේ..
දියකාවා අසීරුවෙන් ලබා ගත් ජනවරම දඩයම් කරන්නට සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපය අද උකුසු ගේම් එක පටන් අරගෙන ඇත.
එදා සිරිසේන පිහියෙන් ඇන්නෙ පිටිපස්සේ ඉඳගෙන අද පිහියෙන් අනින්න ලෑස්ති වෙන්නෙ මුණට මුණ බලාගෙන. මේ තමයි ආණ්ඩුවෙ අනාගතය තීරණය කරන තීරණාත්මක හෝරාව.
ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට කියන්නට ඇත්තෙ මෙපමණය..
මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන   නැගෙනූ
කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනූ
සංග්‍රාමයට නවගුණ වැල ගෙන       නොඑනූ
සංග්‍රාමයෙන් පසු නවගුණ වැල          ගනිනූ
-නන්දා මාලිනී ( පවන )-
මේ මොහොතෙත් ආණ්ඩුව නිද්‍රාශීලී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරනවා නම් ආණ්ඩුවට අබ සරණය.

Leave a Reply

Your email address will not be published.