Opinion

උගත් බුද්ධිමත් නිවටයෙක් -(කෙටිකතාවකි)

Summary

ඡන්දාපේක්ෂකයන් පෝස්ටර්වලට පමණක් දාන උගත් එඩිතර බුද්ධිමත්කම මම මා තුළ ඇත්ත වශයෙන් ඇතැයි සිතා සිටියෙමි.

  • Save

කොතරම් බලවන්ත  පුද්ගලයෙකු තුළ වුවත් යම් ආකාරයක නිවටකමක් පැවතිය හැකි ය. හොබවන තනතුර කොතරම් උසස් වූවත්, පවතින බලය කොතරම් වූවත්,  හිමි ධනය කොතරම් මහත් වූවත් එය එසේ විය හැකිය.

සමහර විට අයෙකු බලය ඉදිරියේ නිවට විය හැකිය. තවත් අයෙකු ව්‍යාජ සදාචාරය ඉදිරියේ නිවට විය හැකිය. තවත් අයෙකු ලැජ්ජාව ඉදිරියේ නිවට විය හැකිය. තවත් අයෙකු ආදරය ඉදිරියේ නිවට විය හැකි ය. මා ද ඉතා නිවට අන්දමින් ක්‍රියා කළ අවස්ථාවක් මගේ මතකයේ රැදී පවතියි. එහෙත් මා නිවට වූයේ කුමක් ඉදිරියේ ද යන්න මට පැහැදිලි නැත. මා මේ කතාව ඔබට කියන්නේ ඒ නිසාය. එවකට මම තරුණ පාසල් ගුරුවරයෙකු වූයෙමි. උසස් පෙළ සමත් වූ වහාම මට ගුරු පත්වීමක් ලැබිණි. සරසවියට යන තුරු මම ගුරු වෘත්තියේ යෙදුනෙමි.

එවකට මා ගැන සිතා සිටියේ නිවට නොව ඉතා එඩිතර තරුණයෙකු වශයෙනි. අසාධාරණයට එරෙහිවන, සාධාරණය වෙනුවෙන් ම ක්‍රියාකරන තරුණයෙකු වශයෙනි. ඇත්තටම යුක්තිගරුග, සාධාරණ, නිවට නොවන හෙවත් නොනිවට තරුණයෙකු වශයෙන් මට මා ගැන විශ්වාසයක් විය.

මම ඒ කාලය වන විට රුසියන් පොත් සෑහෙන ප්‍රමාණයක් කියවා තිබිණි. ඒවායේ ඇත්තේ නොනිවට චරිතය. මැක්සිම් ගෝර්කිගේ පොත්වල නිර්භීත චරිත මම ආදරයෙන් වැළදගත්තෙමි. මම ඇතැම් විටක මා ගැන ම සිතුවේ මා දොස්තයෙව්ස්කිගේ නවකතාවක එන චරිතයක් ලෙසිනි. පිස්සුවෙන් මෙන් ආදරය හා සත්‍යය වෙනුවෙන් දිවි පිදීමට වුවත් චරිත දොස්තයෙව්ස්කිගේ නවකතාවල තිබිණි. ඇන්ටන් චෙකොප්ගේ කෙටිකතාවල එන අදීන ස්වරය මට දැනී තිබිණි. අවිහිංසකත්වය මම හදුනාගෙන සිටියෙමි. ඒ අනුව ඉතාම සංවේදී තරුණයෙකු ලෙස මම මා ගැන ම සිතා සිටියෙමි.

ඉතින් මම සත්‍යය වෙනුවෙන් ම පෙනී සිටියෙමි. අසත්‍යය ඉදිරියේ නිවට නොවූයෙමි. ධනය බලය ඉදිරියේ නොනැමුණෙමි. අඩුම වශයෙන් එසේ සිතා සිටියෙමි.

මගේ එඩිතරකම ගැන මට ම උදාහරණ දෙන්නට ද පුලුවන. 1987 ජූලි මාසයේ දී ජේ. ආර්, ජයවර්ධන ජනාධිපතිතුමා හා රජීව් ගාන්ධි අගමැතිතුමා අතර ඉංදුලංකා ගිවිසුම අත්සන් කරන ලද අතර ඉන් ටික කාලයකට පසුව ඉන්දීය හමුදාව ලංකාවට පැමිණියේ ය. ඉන්පසුව 1988 පෙබරවාරි 4 වන දින නිදහස් දිනය එළඹුණේය. නිදහස් දිනය නිමිත්තෙන් පාසලේ උදෑසන විශේෂ රැස්වීමක් පැවැත්වීම සෑම පාසලකම සිදුවේ. අපේ පාසලේ පැවති ඒ රැස්වීමේ නිදහස් දිනය වෙනුවෙන් පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් වෙනුවෙන් කතාව පැවැත්වීම බාර ව තිබුණේ මට ය. මා ඉගෙනගත්තේ වයඹ පළාතේ ප්‍රසිද්ධතම පාසලක බව ද කිවයුතුය.

මා එහි දී ඉන්දීය හමුදාව අපේ රට තුළ සිටීම අපේ නිදහසට බාධාවක් බව කියන්නට තරම් එඩිතර වූයෙමි. මා එය මෙසේ පැවසුවෙමි. ‘විදේශ හමුදාවක් රැදී නොසිටින්නේ නම් එය අපේ නිදහසට වඩා හිතකරය‘. මගේ එඩිතර කතාව ගැන සහෝදර සිසුවෝ ද අමන්දානන්දයට පත්ව සිටියහ. ‘පරෙස්සෙම් වෙලා හිටපන් උඹවත් උස්සයි, ටයර් සෑයේ තමයි යන්න වෙන්නෙ‘ ආදී ලෙසින් ඔවුහු මට ඔවුන්ගේ සතුට පළ කළහ. මෙය රටේ භීෂණ කාලය ලෙස සැලකුණු කාලයයි. එවන් කාලයක මා දැක්වූ එඩිතරකම ගැන මම ම ආඩම්බර වූවෙමි. ඇත්තටම මා මගේ කතාවේ එසේ කීවේ ම මගේ එඩිතරකම පෙන්වීමට විය හැකිය. මම සාර්ථක වූවෙමි. කෙසේවුවත් ඒ දවස්වල වුවත් හැන්දෑවේ හයෙන් හතෙන් පසු පාරේ වෑන් රථයක් කාර් එකක් ගියත් එය ජීප් සද්දයක් සේ ඇසී පපුව ඇගපත දාගෙන යන ගතියක් දැනීම වෙන ම කතාවකි.

එසේ ම එඩිතර තරුණයෙකුට බුද්ධිමත් කම ද පැවතිය යුතු බව මම දැන සිටියෙමි. එඩිතර නොවී බුද්ධිමත් නොවිය හැකිය. බුද්ධිමත් නොවී එඩිතර නොවිය හැකිය. මගේ බුද්ධිමත් බව පිළිබද සහතිකය මට අපොස සාපෙ හා උසස් පෙළ ප්‍රතිඵල මගින් ලැබී තිබිණි. ඉන්පසුව ඉංග්‍රීසී ගුරුවරන් බදවාගැනීමේ තරග විභාගයෙන් සමත්ව ඩිරෙක්ට් පත්වීමක් ලැබීමෙන් මගේ බුද්ධිමත්කම හා දැනුම තවත් තහවුරු විය. ඡන්දාපේක්ෂකයන් පෝස්ටර්වලට පමණක් දාන උගත් එඩිතර බුද්ධිමත්කම මම මා තුළ ඇත්ත වශයෙන් ඇතැයි සිතා සිටියෙමි.

මා සැම විටම සිටියේ මේ සිතිවිල්ලෙනි. ක්‍රියා කළේ මේ සිතිවිල්ලෙනි. නිදාගත්තේ ද මේ සිතිවිල්ලෙනි. අවදි වූයේ ද මේ සිතිවිල්ලෙනි. එනම් මා උගත් බුද්ධිමත් එඩිතර තරුණයෙක් වශයෙන් සිතමිනි. මේ වයසට එසේ සිතීමේ වරදක් ද නැතැයි දැන් මට ඇතැම් විටක සිතේ. එනම් මේ වයසේ තරුණයෙකුට ඡන්ද පෝස්ටරයකට වඩා මොළයක් ඇති වන්නේ කලාතුරකින් හෙයිනි. කෙසේ වෙතත් ඒ කාලයේ මට එසේ සිතුණේ නැත.

මම ඒ කාලයේ තරුණ ගුරුවරයෙකු බව ඔබට කීවෙමි. මා පාසලට ගියේ ද පංති කාමරයේ ඉගැන්වූවේ ද මේ හැගීමෙනි. ළමුන් වෙනුවෙන් උපරිමයෙන් කැපවූවෙමි. කරුණාභරිත වූවෙමි. ඔවුන්ගේ හෙට දවස මගේ අරමුණ බව සිතුවෙමි. ඔවුන්ගේ පිවිතුරු අහිංසක සිනා වැනිම අනාගතයක් ඔවුන්ට උරුම කරදීම මගේ වගකීම වශයෙන් සැලකුවෙමි. මට උගන්වන්නට තිබුණේ ඉංග්‍රීසි ය. එය ඉගැන්වීමට ඉතා ම අමාරු දෙයකි. එතරම් නගරබද නොවන පාසලක වීම නිසා තවත් අමාරුය. නගරබද පාසලක නම් සිසුන්ගෙන් අසාගෙන හරි ඉගැන්වීමට හැකිව තිබිණි. එසේ වුවත් මම මගේ උපරිමයෙන් ඉගැන්වූයෙමි. එහි දී මට බාධාවක් වූයේ නියම ව තිබුණු ඉංග්‍රීසි පෙළපොත්ය. ඒවායේ මට කිසි ම රසයක් නොදැනුණි. අප ගුරු පුහුණුවකින් තොරව කෙළින්ම බදවාගෙන තිබුණු නිසා ඒවායේ ඇති රසයක් අපට ඉගැන්වීමක් ද සිදුව නොතිබිණි. මා විසින් ම පාඩම් නිර්මාණය කරන්නට සිතුවේ ඒ නිසාය. දොම්පෙට යන පාර කොයිබදෝ කවි, එහි තාලය රැකගෙන මම ඉංග්‍රීසියට පරිවර්තනය කර මම ම පාඩම් හැදුවෙමි. කෙසේ හෝ මම හැම විටම උගත් බුද්ධිමත් තරුණ ගුරුවරයෙකු ලෙස පාසලේ ක්‍රියාත්මක වු අතර ඇත්තටම එබදු පිළිගැනීමක් ද මට ලැබී තිබිණි.

මේ ආකාරයෙන් උගත් බුද්ධිමත් ආකාරයෙන් කටයුතු කරමින් මම පාසලේ උගන්වමින් සිටින දිනක මේ සිදුවීම සිදුවිය.

මට පංතියක් ද බාර දී තිබිණි. නොඑසේනම් මම පංති භාර ගුරුවරයෙක් ද වූයෙමි. මට භාර වූ පංතිය පිහිටියේ විදුහල් වත්තේ ඉහළ සීමාවේ පැවති ගොඩනැගිල්ලේය. එයට ඉහළින් වූයේ දන්ත චිකිත්සාගාරය පමණි. විදුහලට පිටතින් පිවිසීම සදහා ප්‍රධාන දොරටුවට අමතරව දන්ත චිකිත්සාගාරයට පිවිසිීම සදහා ද තාප්පයෙන් කුඩා දොරටුවක් පැවතිණි. මේ දොරටුවෙන් පිවිසී මා උගන්වන ශාලාව වෙත ද ළගාවීමට හැකිය.

මා පංතියේ උගන්වමින් සිටින අතර කමිසය දිග කලිසමට යටකර ඇද සිටි සපත්තු ද පැළදි කලු මහත මිටි පුද්ගලයෙකු අර කුඩා දොරටුවෙන් සීරුවෙන් ඇතුලු වූවේය. පාසල පිහිටි නගරයේ පිිහිටි සමුපකාර ගොඩනැගිල්ලේ සේවය කරන්නෙකු වශයෙන් මට ඔහු දැකපුරුදු වුව ද ඔහු සමග එයට පෙර කතා කර නොතිබිණි.  අඩි දෙක තුනක් පාසල තුළට සීරුවෙන් එන ඔහු දෙස බැලූ මට ඔහු එන්නේ මා දෙස බලාගෙන යැයි සිතිණි. එහෙත් මට හේතුවක් හිතාගැනීමට නොහැකි විය. ඔහු ශාලාව අයින දිගේ ශාලාව දිගටම මා සිටි පංතිය වෙත ඇවිද විත කොට බිත්තියට එපිටින් නතර වුණේය. ඉන්පසුව ඉතා විශ්වාසයෙන් හා සංසුන් ව මෙසේ කියන්නට වූයේය.

‘මගේ පුතා තමයි ශාන්ත. ඉස්කෝලෙ ඇරිලා යන කොට ඔය ඉන්න නිශාන්ත තවත් ළමයෙක් එක්ක එකතුවෙලා අපේ පුතාට ගහන්න ඇවිත් තියෙනවා. දවස් දෙක තුනක් මේක වෙලා තියෙනවා.‘

මම ඔහුගේ පුතා ශාන්ත දෙස බැලුවෙමි. තාත්තා කියන දෙය ඔහුටවත් විශ්වාස නැති බව පෙනෙන්නට තිබිණි. තමා විසින් තමාගේ ගුරුවරයා වන මාව ද පංතියේ යහළුවන් ද අනවශ්‍ය කරදරයක පටවලා ඇති බව ද ඔහුගේ දෑස කීවේ ය. මම නිශාන්ත දෙස බැලූ විට ඔහු නැගිට යමක් කියන්නට උත්සාහ කළේය.  එහෙත් අර පුද්ගලයා කිසිවක් කියන්නට ඉඩ නුදුන්නේය.

‘ඔය කතා වැඩක් නෑ. මගෙ ළමයා ඉස්කෝලෙ එන්නත් බෑ කියනවා.  සර් මේකට දැන්ම පියවරක් ගන්න ඕනැ‘

පියවරක් ගන්නා තුරු නොයන බව පෙන්වන්නට මෙන් මේ වන විට ඔහු කෙටිතාප්පය මත තමන්ගේ දෑත් ද තබාගෙන ඉතා පහසු ඉරියව්වකින් යුක්තිය ඉටුවන තුරු බලා සිටින්නට වූවේය. ඒ නිසා ඇත්ත තත්වය කුමක් විය හැකි වුවත් තමන්ගේ අහිංසක දරුවා වෙනුවෙන් අනවසරයෙන් හෝ අවිධිමත් ලෙස හෝ පාසලට ඇතුළ් වී යුක්තිය බලාපොරොත්තු වන ආදරණීය පියෙකු වශයෙන් මම ඔහු ගැන අලුතින් හිතාගත්තෙමි.  

ඒ අනුව මම ඒ පුද්ගලයා තාප්පෙන් එපිට බලාගෙන සිටිය දීම මම නිශාන්තව මා ළගට කැදවා තරවටු කළෙමි. මගේ දඩුවම තරවටුවට පමණක් සීමා වූ බව දැනට මගේ ඇති මතකයයි.  ඉන්පසුව ඒ පුද්ගලයා ආ පාරෙන් ම යන්නට ගියේය.

එම සිද්ධිය එතැනින් අවසාන විය. මම යළිත් උගත් බුද්ධිමත් තරුණයෙක් වශයෙන් ම සුපුරුදු පරිදි කටයුතු කරමින් සිටියෙමි. එහෙත් එසේ නොවන්නේයැයි සිතන්නට තුඩු දෙන සිදුවීමක් එදින ම හෝ ඊට ළග දිනක පාසලේ කැන්ටිමේ දී සිදුවිය.

එය මට ඕෆ් පීරියඩ් එකක් විය. මා වැනි එවන් තවත් ගුරුවරු කිහිප දෙනෙක් ඒ වෙලාවේ කැන්ටිමේ සිටියහ. නිමල් මහතා පළපුරුදු ගණිත ගුරුවරයෙකි. ඔහු වැඩිය කතා කරන පුද්ගලයෙක් ද නොවේ. ඒත් ඔහුට මට යමක් කියන්නට ම ඕනෑ වී ඇති බව පෙනෙන්ට තිබිණි.  ‘ප්‍රියන්ත මහත්තයා කියා මා ඇමතූ ඔහු මා දෙස කෙලින් නොබලමින් එහෙත් ස්ථිරසාර ලෙස ඔහු ඉදිරිපිට අවකාශයට මේ වදන් පෙළ මුදාහැරියේය.  

‘ඉස්කෝලෙට පිටින් ඇවිත් නඩුත් අහල දඩුවමුත් නියම කරලා යනවා නේද?‘

මොන තරම් පොත් කියවා තිබුණත් නිමල් මහතා කිවූ දෙය ඇත්ත බව තේරුම් ගැනීමට තරම් මොලයක් මගේ ඉතිරි ව තිබිණි. එතැන් සිට මම කිසිදාක මා ගැන උගත් බුද්ධිමත් එඩිතර තරුණයෙකු වශයෙන් නොසිතුවෙමි.

මේ කතාවෙන් ගත යුතු ආදර්ශය වන්නේ එඩිතර හා බුද්ධිමත් වීම ඉංදුලංකා ගිවිසුමට විරුද්ධවීම තරම් පහසු නොවන බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap