Opinion

උණ කියන්නෙ මනුෂ්‍ය අවශ්‍යතාවක්

Summary

කොහොම නමුත් අන්තිමට ගත්තා ම කිසිම දෙයක් පැවතිලා නෑ. පැවතිලා තියෙන්නෙ උණ විතරයි. ඉතිරිවෙලා තියෙන්නෙ උණ විතරයි. ඉතිරිවෙන්නෙ උණ විතරයි.

මේ දවස්වල මට උණ. කොරෝනා උණ නෙමෙයි යූටියුබ් උණ.

උණ කියන්නෙ මනුෂ්‍ය අවශ්‍යතාවක්. දේශපාලන උණ. දේශප්‍රේමී උණ. නිදහස් අධ්‍යාපන උණ. ජාතික උණ. විජාතික උණ. පැණි උණ. වැක්සීන් උණ. කාබනික උණ. රසායනික උණ. එන්ජීඕ උණ. ගෝත්‍රික උණ. චිත්‍රපට උණ. නාට්‍ය උණ. ටෙලිනාට්‍ය උණ. රට යන උණ. අංගම්පොර උණ. ජැටි උණ. හෙදි උණ. ගුරු උණ. ලෙනින් උණ. ස්ටාලින් උණ, ඩෙරීඩා උණ. බයිඩන් උණ. ට්‍රම්ප් උණ. ජීනීවා උණ. බතික් උණ. මැටි වැඩ උණ. පෙට්‍රල් උණ. බැසිල් උණ. දුමින්ද උණ. කංසා උණ. පේස්බුක් උණ. ඉන්ස්ටටගෑම් උණ. හිරු උණ. සිරස උණ. දෙරණ උණ. චතුර උණ. චමුදිත උණ.

උණ කියන්නෙ මනුෂ්‍ය අවශ්‍යතාවක්.

අපට උණ සනීප වෙන්නෙ වෛරස් හරි වෙන උණක් හරි හැදෙන්න ම ඕනැ. උණක් හැදුනාම අපේ හිතට පොඩී සනීපයක් දැනෙන්නේ මේ අනිත් උණ සේරම ඒ වෙලාවට සනීප වෙන හින්ද.

උණක් හැදුනාම අපට රට ජාතිය ප්‍රශ්නයක් නෙමෙයි. අඩුම ගානේ උණ සනීප වෙනකං. ගෝත්‍රවාදය අපට කරදර කරන්නෙ නෑ. ට්‍රම්ප් ප්‍රශ්නයක් නෙමෙයි. අනුර දිසානායක, නලින් ද සිල්වා මතක් වෙන්නෙ නෑ. වෛරස්වල ඒ හො‌දේ තියෙනවා. ඇත්තටම අපේ අනිත් උණ සනීප කරන්න පුලුවන් වෛරස්වලට විතරයි. ඒ කියන්නේ වෛරස් කියන්නෙ ප්‍රතිශක්තියක්. අනිත් උණවලට එරෙහිව අපිව ආරක්ෂා කරන ප්‍රතිශක්තියක්.

හැබැයි වැඩේ තියෙන්නෙ වෛරස් උණ යට ගිය ගමන් ආයෙත් අනික් උණ මතුවෙනවා.

වෛරස් උණ අපිව ඇඳට කරනවා. අනිත් උණ අපිව ඇවිද්දවනවා. රස්තියාදු කරනවා.

අනිත් එක අපිට නිතරම කඩේ යන්න හිතෙනවා.

වෛරස් උණ ඇඟට අමාරුයි. ඇඟ ලෙඩ කරනවා. අනිත් ලෙඩ හිතට අමාරුයි. හිත ලෙඩ කරනවා.

ඒ කොහොම වුණත් උණ තැතිව ඉන්න බෑ. ඒ නිසා ඔ්නෑම වෙලාවක අපි යම් උණකින් පෙළෙනවා. එතකොට අපිට සනීපයක් දැනෙනවා. අපි නීරෝගියි කියලා හිතෙනවා.

ඒ කියන්නෙ උණ වැඩි තරමට අපට හිතෙන්නෙ අපි නීරෝගියි කියලා. උණ වැඩි තරමට අපි ඒ් තරමට නීරෝගියි කියලා අපිට හිතෙනවා. ඒක තමයි වෛරස් නොවන උණවල ප්‍රධානම රෝග ලක්ෂණය.

උණක් නැත්නම් අපිට පාලුයි. ඒ නිසා ම විවිධ උණ කාලෙන් කාලෙට අපිව බලන්න එනවා. බලන්න ඇවිත් අපේ පාලුව දුක නැති කරනවා.
ඒ නිසා උණ දුකක් නෙමෙයි උණ නැතිනම් අපිට ඒක දුකක්.

උණ අපිව සුවපත් කරනවා. එක උණක් සුවපත් වෙන්නෙ තවත් උණකින්. යහපාලන උණ දේශප්‍රේමී උණෙන් සනීප වුණා. උණකින් උණක් සනීප කරනවා. ඒකත් උණේ තවත් ප්‍රධාන රෝග ලක්ෂණයක්.

එක උණකින් පෙළෙන කෙනා කතා කරන්නෙ ම ඒ උණ ගැන විතරයි. අනිත් ඒ්වා එයාට උණ නෙමෙයි. ඒකත් මේ උණේ ලක්ෂණයක්. ඒක නිසා උණ රෝගියෙකුට උණ රෝගියෙක් හමුවුණා ම සංවාදයක් ඇති වෙනවා.

මේ උණට අපි කවදාවත් වැක්සීන් එකක්වත් පැණියක්වත් හොයාගන්නෙ නෑ. මොකද අපේ ජීවිතේ රැදිලා තියෙන්නෙ මේ උණ මත. ඒ නිසා උණ සුවපත් වුණොත් අපි නෑ වගේ වෙනවා. ඒ කියන්නෙ අපේ පැවැත්ම උණ.

ඉතින් මං මේ කියාගෙන ගියේ මේ දවස්වල මට හැදිලා තියෙන යූටියුබ් උණ ගැන.

අපේ ඉතිහාසය මහා වංශයක් වුණේ පොළොන්නරු යුගය වනතුරු පමණයි. ඉන්පසු තියෙන්නෙ උණ වංශයක් වෙන්න පුළුවන්. එක එක කාලෙට එක එක උණ. අපේ අනාගතයත් උණ වංශයක්. ඒ කියන්නෙ මේ තියෙන උණවලට තවත් උණ එකතු වෙයි. එච්චරයි. අනාගතය කියන්නෙ එච්චරයි.

සමහර විට අපිට අන්තිමට කියන්න පුළුවන් සුද්දා කරන්නේ විවිධ වෛරස් වර්ග ගෙනත් උණ පතුරුවන එක විතරක් නෙමෙයි විවිධ උණ වර්ග පැතිරීමත් කරන්නේ ඔහු ම තමයි. ඒක නිසා තමයි මේ විවිධ උණ වර්ග බොහොමයක් හැදුනාම අපිට අපිව සුද්දෙක් වාගේ දැනෙන්නෙ. ඒකත් උණ රෝගයේ ලක්ෂණයක්.

කොහොම නමුත් අන්තිමට ගත්තා ම දේශප්‍රේමයවත් යහපාලනයවත් සාධාරණ සමාජයක්වත් කිසිම දෙයක් පැවතිලා නෑ. පැවතිලා තියෙන්නෙ උණ විතරයි. ඉතිරිවෙලා තියෙන්නෙ උණ විතරයි. ඉතිරිවෙන්නෙ උණ විතරයි.

උණ විකාරය උග්‍ර වෙන තරමට අපිට සනීපයි. උණ විකාරය උග්‍රවන තරමට අපිට අපි වීරයෙක්. දේශප්‍රේමී වීරයාත් දේශද්‍රෝහී වීරයාත් ටොයි වීරයාත් බයි වීරයාත් අන්තිමට උණ වීරයෙක්.

වීරයෙක් වෙන්න නම් උණ තියෙන්න ඕනැ. උණ නැතිව කවදාවත් වීරයෙක් වෙන්න බෑ. එහෙම ලෝකෙකට කොරෝනාත් අවශ්‍යයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *