Opinion

උපුල්ගේ වීඩියෝව

Summary

උපුල් මහතා වීරයෙකු වන්නේ සිංහල ඉගැන්වීම නිසා නොව සිංහලයෙකු වීම නිසා ය. එහෙත් එය උපුල් මහතා කවදාවත් තේරුම් ගන්නේ නැත.

  • Save

ලියන්නට දන්නා අය අතින් නිතර සිදුවන වැරදීමක් තිබේ.

ඒ තමා වීරයෙකු වන පරිදි ලිවීමය.

කතා කරන්නට දන්නා අය අතින් නිතර සිදුවන වැරදීමක් තිබේ.

ඒ තමා වීරයෙකු වන පරිදි කතා කිරීමය.

මේ වරද දැක්වෙන වීඩියෝවක් මේ දිනවල දැකිය හැකිය. නිකුත් කර ඇත්තේ උපුල් ශාන්ත සන්නස්ගල විසිනි.

රට වීරත්වයට නගා කතා කරන්නෝ ද බොහෝ වෙති. ඒ මගින් උත්සාහ කරන්නේ ද තමන් වීරයෙකු වීමටය. එහෙත් උපුල් ශාන්ත සන්නස්ගල මහතා එසේ නැත.

තමා වීරයෙකු කොට සැලකීම අප සියලු දෙනාටම ඇති ප්‍රශ්නයකි. එයින් මිදෙන්නට අද අපට නොහැක. මිදෙන්නට නොහැකිවා පමණක් නොවේ. අප තුළ ඇති මේ ප්‍රශ්නය, අප තුළ ඇති මේ වරද ම, අප සතු උදාර ගුණයක් ලෙස අපි ප්‍රකාශ කරන්නට ද යමු. ඒ බව උපුල් මහතාගේ වීඩියෝ‍වෙන් ද පැහැදිලිව පෙනේ.

මෙය ඇත්තට ම තමාගේ වීරත්වය ප්‍රකාශ කිරීමට වඩා තමා, තමා ව මාකටින් කිරීමක් ලෙස ද සැලකිය හැකි ය. ඇත්තට ම ප්‍රකාශ කරන්නට තරම් වීරත්වයක් අප සතු ව නැත. ඒ නිසා අපට කළ හැක්කේ අප ව මාකටින් කර ගැනීම පමණි. උපුල් මහතාගේ වීඩියෝවෙන් ඒ බව ද දැකගත හැකි ය.

ඉස්සර අපට මෙයට වෙනස් පුරුද්දක් තිබිණි. එනම් තමාට තමා වීරයෙකු ලෙස නොසිතීමයි. එහෙත් දැන් අපට එසේ නොසිතේ. සිතුණත් අප එය කියන්නට ද නොයමු. සමහර විට පොසිටිව් තින්කින්වල බලපෑම විය හැකිය. ඒ බව ද උපුල් මහතාගේ මේ වීඩියෝවෙන් දැකගත හැකිය.

ඇත්තටම අපට අප වීරයෙකු ලෙස නොසිතනවා ද විය හැකිය. එහෙත් ලියන්නට යෑමේ දී හා කතා කරන්නට යෑමේ දී එය වෙනස් වෙන වා ද විය හැකි ය. එ් බව ද උපුල් මහතාගේ මෙම වීඩියෝවෙන් දැක ගත හැකි ය.

අප කළ කී දේ ගැන අපට සතුටක් නැත. අප කළ වීරකමක් ද නැත. එය බොහෝ අයට වියපත් වීමේ දී වැටහේ. එසේ නොවැටහෙන අය ද සිටිය හැක. ඒ බව ද උපුල් මහතාගේ මේ වීඩියෝවෙන් දැකගත හැකි යැයි ද කියන්නට හැකි ය.

අප කළ කී දේ හා අත්පත් කරගත් දේ ගැන අපට සතුටක් නැත. අප ඒ බව දනිමු. ඒ දන්නා නිසා ම සමහර විට අප කතා කිරීමේ දී හා ලිවීමේ දී ඊට හාත්පසින් ම විරුද්ධ දෙයක් කියමු. වීරත්වය එය යැයි අපට සිතේ.

දැන් උපුල් මහතා ගැන කතා කළා ඇති ය. දැන් අප කතා කරන්නේ අප ගැන ය. මක්නිසා ද යත් උපුල් මහතා ගැන කතා කිරීම ම අප ගැන කතා කිරීමක් හා අප ගැන කතා කිරීම ම උපුල් මහතා ගැන කතා කිරීමක් වන බැවිනි.

කෙසේ වුවත් අපට එසේ සිතුණ ද උපුල් මහතාට එසේ සිතෙන්නේ නැත. ඒ අප උපුල් මහතා මෙන් වීරයෙක් නොවන බැවිනි. අපට එවැනි වීඩියෝ නිකුත් කිරීමට නොහැක්කේ හා නොසිතෙන්නේ ද ඒ නිසා ය.

ජාතිය මුරුංගා අත්තේ තැබීම දේශප්‍රේමීන් කරන දෙයකි. විමල් වීරවංශ, චම්පික රණවක හා තවත් අය කරන්නේ එය විය හැකි ය. එහෙත් උපුල් ශාන්ත සන්නස්ගල මහතා එසේ නොකරයි. ඒ අතින් උපුල් ශාන්ත මහතා ඔවුන්ට වඩා ඉතා අහිංසක ය. අප විමල් විරවංශ ගැන හෝ චම්පික රණවක ගැන නොලියා උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගැන ලියන්නේ ඒ නිසා ද විය හැකි ය. කෙසේවුවත් තමා වීරයෙකු කොට පෙන්වීම අතින් විමල් වීරවංශ හා චම්පික රණවක උපුල් ශාන්ත සන්නස්ගල මහතාට වඩා ඉතා ම හපන් ය. එනම් ඉදිරියෙන් සිටියි. සමහර විට උපුල් මහතා තමන් ද වීරයෙකු යැයි පෙන්වන්නට උත්සාහ කරන්නේ ඒ නිසා ද විය හැකි ය. තමාට වඩා හොදට එය විමල් වීරවංශ හා චම්පික රණවක කරන බව පෙන්වා දීමට විය හැකි ය. ඒ අනුව උපුල් මහතාගේ වීඩියෝවෙන් අපට උපුල් මහතා පමණක් නොව විමල් හා චම්පික හා තවත් එවැනි වීරයන් ද දැකගත හැකි ය. ඒ අතින් ගත් කළ උපුල්  මහතා අමුතුවෙන් චිත්‍රපටයක් කළ යුතු නැත. මේ  වීඩියෝව ම චිත්‍රපටයකි. ඊට වඩා චිත්‍රපටයක් ඔහුට කවදාවත් කරන්නට හැකි වේ ද යන්න ද සැක සහිත ය.

මේ කියන්නේ උපුල් මහතාගේ කුමන වීඩියෝ ද කියා මා කියා නැත. උපුල් මහතාගේ බොහෝ වීඩියෝ ඇත. ඒ අතරින් මේ ලියා ඇති දේට හරියන වීඩියෝව සොයාගන්නට උත්සාහ කිරීම ඔබේ වගකීමකි.

කෙසේ හෝ අවසානයේ ඔප්පු වී ඇත්තේ මා ඔප්පු කරන්නට ගිය දෙය නොවේ. මා කියන්නට ආවේ උපුල් මහතා වීරයෙකු නොවන බව ය. එහෙත් අවසානයට සිද්ධ වී ඇත්තේ උපුල් මහතා වීරයෙකු බව ඔප්පු වීම ය.

ඒ ගැන පුදුම වීමට දෙයක් ද නැත. සෑම සිංහලයෙකු ම වීරයෙකි.  ඒ අනුව උපුල් මහතා ද අනිවාර්යෙන් ම වීරයෙකි. උපුල් මහතා වීරයෙකු වන්නේ සිංහල ඉගැන්වීම නිසා නොවේ. ඔහු සිංහල උගන්වන්නේ ඔහු සිංහලයෙකු වීම නිසා ය. මෙය උපුල් මහතා කවදාවත් තේරුම් ගන්නේ නැත. එහෙත් එය තේරුම් නොගත්තා කියා ඔහු වීරයෙකු නොවී සිටින්නේ ද නැත. ඒ අන් කිසිවක් නිසා නොව සිංහලයෙකුට වීරයෙකු නොවී නොසිටිය හැකි බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap