Opinion

උඹෙයි මගෙයි රියැලිටි වෙනස්…

Summary

මේ හැම කතාවකම තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන අන්තිම කැත ගතියක්. ඒ තමයි අනික් මනුස්සයාගෙ රියලිටිය හෙවත් යතාර්ථයට ගරු කරන්න දන්නෙ නැතිකම.

ඉස්කෝලෙ යන කාලෙ අපේ පංතිවල අතිදක්ෂ ළමයි හිටිය. ඒ අය පොතපත පාඩම් කරා වැඩිපුර. පංතිවල පළවෙනියො දෙවෙනියො වුනා. මේ ළමයි ගැන ” උන් පොත්ගුල්ලො…දන්නෙ පොත විතරයි” කියපු සෙට් එකක් හිටිය. අර පංතියෙ පළමුවැනියා වීම තුට්ටුවට දාල කතා කරනව. දැං අර පළමුවැනියො වෙච්ච ළමයි ලංකාවෙ ඉන්න දක්ෂතම විශේෂඥ වෛද්‍යවරු. අර බුලි කරපු සෙට් එක උන්ගෙ ළමයි අර ඩොක්ටස්ල ලඟට එක්ක යනව. තමන්ගෙ දෙමව්පියො උන් ළඟට එක්ක යනව. “ඒ මගෙ ක්ලාස්මේට්” කියනව.

සමහර පවුල්වල සංගීතයට දක්ෂ ළමයි ඉන්නව. ඒ ළමයි උදේ ඉඳල රෑ වෙනකන් මියුසික් කරනව. වැඩිය ඉගෙන ගන්නෙ නෑ. මේ ළමයි ගැන “උට පිස්සුනෙ…කොයි වෙලෙත් මියුසික්…මියුසික් කරල හරි යනවැයි” කියන නෑදෑ සෙට් එකක් ඉන්නව. අර ළමය සංගීතය ඉගෙන ගන්නව. සුපර්ස්ටාර් තරඟයකට යනව. අන්තිම දෙළහට විතර ආවට පස්සෙ අර නෑදෑකම් අලුත් වෙනව. “ඒ අපේ එකෙක්නෙ..අපේ නැන්දගෙ පුතා” කියනව. ඒ “පුතා” එක්ක පින්තූර ඇරන් බුකියෙත් දානව.
සමහර ළමයි කැඩෙටින්වලට ආසයි. හැමදාම කැඩෙටින් රෑම් එකේ. හමුදාවටත් යනව. “පිස්සු යකෙක්නෙ ආමි එකට යන්න, මැරෙන්න යනව” කියල කියන සෙට් එකක් ඉන්නව. අර ළමය හමුදාවට ගිහින් අසීමිත කැපකිරීම් කරනව. යුද්දෙදි හොඳට ගහගෙන වීරයෙක්⁣ වෙනව. ඊට පස්සෙ අර සෙට් එකට යාලුකම් මතක් වෙනව. “අපේ එකෙක්නෙ ඌ” කියන්න මතක් වෙනව.
අපේ බැච්වල සමහර එවුන් ඉන්නව. හරි දක්ෂයි. බැචි ටොප් වෙනව. හැබැයි ලිංගික නැමියාව වෙනස්. “ඕකට මොනව තිබ්බත් වැඩක් නෑනෙ. පො….යෙක්නෙ” කියල ගරහනව. ඌ රට ගැනත් කල කිරිල පිටරටකට යනව. ලෝකෙ පිළිගත්ත මහාචාර්ය කෙනෙක් වෙනව. ලෝකය පිළිගත්ත සම්මාන ලබනව. අර ගරහපු කටවල්වලින්ම “ඌ මගෙ බැචෙක්” කියල කියනව.

මිත්‍රවරුනි,
මේ කීවෙ උදාහරණ කීපයක් විතරයි. මේ හැම කතාවකම තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන අන්තිම කැත ගතියක්. ඒ තමයි අනික් මනුස්සයාගෙ රියලිටිය හෙවත් යතාර්ථයට ගරු කරන්න දන්නෙ නැතිකම. අනිත් මනුස්සයාගෙ මහන්සිය හෙවත් වර්ක් එකට ගරු කරන්න දන්නෙ නැතිකම.

මිනිස්සු මෙහෙම වෙන්නෙ ඇයි?
ලංකාවෙ මිනිස්සුන්ගෙ ලෝකෙ පුංචියි. අපි ජීවත් වෙන්නෙ පුංචි බබල් එකක. ඒ බබල් එක ඇතුළෙ අපි හරි කම්ෆටබල්. අපි ලමයින්ටත් පුරුදු කරනව බබල් එක ඇතුළෙ ඉන්න. අපි බබල් එකෙන් පිටත ලෝකය පහත් කරල දකිනව. අපි ළමයින්ටත් පුරුදු කරනව බබල් එකෙන් පිටත ලෝකය පහත් කරල දකින්න.

බොහෝ අය තමන්ගෙ ඇස් දෙකෙන් ලෝකය දිහා බලනව විතරක් නෙවෙයි තමන්ගෙ රියැලිටියෙන් අනිත් එකාගෙ ලෝකෙ රියැලිටිය කියවනව. අනිත් එකා තමන්ගෙ රියැලියට වෙනස් නම්, අර තමන් හදාගෙන ඉන්න බබල් එකට අභියෝගයක් නම් ඌට ගරහනව. මඩ ගහනව. පාඩම් කරන එකාට “පොත්ගුල්ල කියනව”. අමුතුවෙන් හිතන එකාට “පිස්සෙක්” කියනව. සල්ලි ටිකක් හමිබ කරන එකාට “කුඩු බිස්නස්” කරනව කියනව. මහන්සි වෙලා වැඩ කරන එකාට “කැපිල පේන්න හදනව” කියනව. බුකියෙ ලියන එකාට “ලයික් හිඟන්නෙක්”කියනව. සිස්ටම් එකේ වෙනස් දෙයක් කරන එකාට “දේශපාලනේ කරන්නනෙ හදන්නෙ” කියනව.

ඇයි මෙි?
ලංකාවෙ බොහෝ අය සල්ලියබාගෙ කොහොම වුනත් මානසිකව හරි දුප්පත්. ඔවුන් ඔය ජීවත් වෙන බබල් එක හරි සියුම්. පවත්වගෙන යන්න හදන මහා ලෝකය හරි පුංචියි. මේ හින්ද තමන්ගෙ ගඳගහන ලෝකෙ ගඳ වහන්න උන් පත්තුකරන අම්රිතා හඳුන් කූර තමයි අනෙකා හෙළා දකින එක. ගරහන එක. මඩ ගහන එක…

වැඩක් නෑ බං හඳුන්කූර පිච්චිල ඉවර වෙනවා…

ආදරණීය මිත්‍රවරුනි,
උඹේ රියලිටිය මගෙ රියලිටිය විය යුතු නෑ.
මගෙ සිහින උඹෙ සිහිනම විය යුතුත් නෑ.
හැබැයි උඹට උඹේ හිත හදාගන්න, උඹට උඹ පොරක් කියල හිතාගන්න, උඹේ බබල් එක මේන්ටේන් කරන්න තව කෙනෙක්ට ගරහන්න ඕනනම්, තව කෙනෙක් පහත් කරන්න ඕනෙ නම් උඹේ ප්‍රශ්නයක් තියෙනව…

අනිත් මිනිහගෙ සිහින පිළිගන්න ඉගෙන ගනිං…
ඌ ඒ සිහින ඇත්ත කරගන්න යොදන වර්ක් එකට ගරු කරන්න ඉ⁣ගෙන ගනිං…
ඌ කන කට්ට අගය කරන්න ඉගෙන ගනිං…
සැබෑ මනුස්සයෙක් කියන්නෙ එහෙම එකෙක්ට…
සුවඳවත් මනුස්සයෙක් කියන්නෙ එහෙම එකෙක්ට..
උන්ට ගඳ වහන්න හඳුන්කූරු උවමනා වෙන්නෙ නෑ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *