COLUMN

එක්ස්පයර්ඩ් අරගල මොඩල !

Summary

දශක ගණනක් තිස්සේ අපට පෙනෙන තරුණ අරගල මොඩලයක් තිබේ. ඒවා සංවිධානය කෙරෙන්නේ අන්තරේ විසිනි. මුල් අදියරේදී කි.මී. 5-10ක් පමණ මහා මාර්ග අහුරමින්, වාහන තදබද ඇති කරමින් අරගලකාරී මහා සෙනඟක් බැනර්, පෝස්ටර් අතැති ව , සටන්පාඨ කියමින් පෙළපාලියෙන් කොළඹට එති. අරලියගහ, අධ්‍යාපන අමාත්‍යාංශය, වි.වි.කොමිෂන් සහාව, පාර්ලිමේන්තුව ඔවුන් ගේ අවසාන ගමනාන්තය වේ. එතෙක් මඟදිගට මහජනතාවට සිදුවන පීඩා ඔවුන් පයිසෙකට ගණන් ගන්නේ නැත. පෙළපාලිය මඟ එන බව දන්නා පොලීසිය යකඩ බැරියර් දමා, අදාළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කරති. එයට සැලසුමක් තිබේ.

මුල් බැරියරයෙන් මෙපිට, අරගලකරුවන්ට නිදහසේ හැසිරීමට ය. එය බිඳගෙන ආ විට පොලීසිය සීරුවෙන් සිටිති. දෙවැනි බැරියරය බිඳගෙන ආ විට කඳුළු ගෑස් ගසති. එයිනුත් මර්දනය නො වන්නේ නම් ප්‍රහාරය ආරම්භ කරති. මේ ආකෘතිය දෙපාර්ශ්වය ම දනිති. පෙළපාලි ජවනිකාවේ අවසානය ආරම්භ වන්නේ ආවේගශීලී ව බැරියර් බිඳින අරගලකරුවන් ගේ සුපුරුදු උද්වේගකර හැසිරීමෙනි. බැරියර් බිඳින තෙක් බලා සිටින පොලීසිය නිසි වෙලාවට කඳුළුගෑස් එල්ල කරති. එතැන් සිට කඳුළුගෑස් ගනුදෙනුව පටන් ගැනේ. පොලීසිය කඳුළුගෑස් ගසති. අන්තරේ අරගලකරුවෝ පුරුද්දෙන් ඇහිඳ ගෙන කඳුළුගෑස් ඇසුරුම් නැවත පොලීසිය සිටින දෙසට එල්ල කරති.

ඉන්පසු කහිමින්, ඔක්කාර කරමින්, ඇස් සෝදමින්, හතරඅතේ දිව යන්නෝ, කුණුහරුපෙන් බනින්නෝ, තැන තැන බිම වැතිර සිටින්නෝ දර්ශනය වෙති. එතැනින් සටන අවසන් වේ. රාත්‍රී ප්‍රධාන ටෙලිවිෂන් ප්‍රවෘත්තිවල විනාඩි තුන හතරක් ඇතුළත මේ සියල්ල වාර්තා කෙරෙන අතර, රටේ ජනතාව මේවා ඒත්තු ගන්නේ අතිශය අසාර්ථක සටනක් ලෙස ය. ඒ අතර කිහිප දෙනෙක් අඩංගුවට පත් වෙති. මේවා දකින කිසිවක් තේරුම් ගත නො හැකි පොදු ජනතාව, “මුන්ට කාලා තෙලේ වැඩිවෙලා” කියති. “අපි සටන් කරන්නේ ඔයාලා ගේ දරුවොත් වෙනුවෙන්, ඔයාලත් දුක් විඳිනවා, අපිත් දුක් විඳිනවා” කියමින්, “ඔයාලා ඉන්නේ මහජනතාව ආරක්ෂා කරන්න” යනුවෙන් පවසා නීති තර්ක මතුකර මිලිටරි වාහනවලට ආ අතක් බලාගෙන ආපසු යන්නට වැඩ සිද්ධ කරන “ගෝඨාගෝගම” අරගල කලාව, පොදුජන ඇසින් බලන කල ඊට වඩා බෙහෙවින් අර්ථපූර්ණ ය.

මේ මජර සමාජක්‍රමයේ ම ගොදුරක් ලෙස, හවසට සීනි, තේ කොළ, හාල්, එළවළු, එක්සයිස් පොත්, පෑන් රැගෙන ගෙදර එන්නට බලා සිටින, පොලිස් නිල ඇඳුමක් ඇඟ ලා බැරියර් එකක් ආරක්ෂා කරමින්, ආරක්ෂක සේවයේ යෙදෙන පියා, සැමියා, පුතා, සහෝදරයා තම පවුලේ අයට ටෙලිවිෂනයෙන් දර්ශනය වන අවස්ථාවක, ඔවුන්ට ආදරයෙන් කතා කරන අරගලකරුවන් ඇස ගැටුණහොත්, එකී පවුලේ අය පමණක් නො ව සමස්ත සමාජය ම, අරගලයට පෙම් නො බඳිනු ඇද්ද? රඹුක්කන දී නිරායුධ පුද්ගලයෙකුට වෙඩි තැබූ පන්නයේ අණක්, ගුණක් නැති, අත්අඩංගුවට පත් සැකකරුවන්ට පවා පහර දී මරා දමන දුෂ්ඨ පොලිස් නිලධාරීහු තවත් සිටිති. ඔවුන්ට එරෙහි ව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සමාජයේ වගකීම ය. සියල්ලෝ නීතියට යටත්විය යුත්තෝ වෙති. සැබෑ සමාජ අරගලයක අවසාන අරමුණ විය යුත්තේ මිනිසියාව රජ කරවීම ය. “ගෝඨාගෝගම” තරුණ අරගලයට පොදු ජනතාව මේ සා හදවතින් බැඳුණේ එහි තිබුණු නිර්ව්‍යාජ මානුෂික ජීව ගුණය නිසා ය. එය තවදුරටත් යථා පරිදි ආරක්ෂා කර ගනිමින්, වර්තමාන තරුණ අරගලය පවත්වා ගත හැකි නම්, කාටත් එකඟ විය හැකි සැලසුම්සහගත අනාගතයක් වෙත රටේ අනාගතය යොමු කරවා ගැනීම දුෂ්කර නො වනු ඇත.

Leave a Reply

Your email address will not be published.