Opinion

එන්න. අපි රෙදි ගලවා ගනිමු.

Summary

රෙදි ගැලවීමෙ උත්සාහය සාර්ථක වුව ද නොවූව ද සාමාන්‍යයෙන් මේ කාර්යය අවසන් වන්නේ වීරයාගේ රෙදි ගැලවීමෙනි

  • Save

බුර්කාව තහනම් වීමට යෝජනා විය. එමගින් මේ රට මුහුණ දුන් එක් භයානක ප්‍රශ්නයක් විසදීමට තීරණාත්මක අවස්ථාවක් උදා වී තිබිණි.

“ස්ත්‍රී වස්ත්‍රයක් තහනම් කොට ජාතික ආරක්ෂාව තහවුරැ කිරීමට උත්සාහ ගැනීමේ අමිල මෙහෙය වෙනුවෙන් සරත් වීරසේකරට අප සදා ණයගැතිය” කියා මේ කොළම ලිවීම මම පෙරදා උදයේ ආරම්භ කළෙමි. මා ඇට්ටි හැලෙන්න ලියාගෙන යද්දි ආණ්ඩුව හට්ටි කඩේට පැණ මුට්ටි ටික බින්දේය. “එහෙම තීරණයක් අපි තවම අරගෙන නැතැයි” ආණ්ඩුව ප්‍රකාශයක් නිකුත් කළේය. ආණ්ඩුව උදේට එකක් හවසට තව එකක් කීව්වට මට දවසට කොලම් දෙකක් ලිවීමට බැරිය. ඒ නිසා පරණ එකම පල කරමි.

බුර්කාව තහනම් කිරීමට යෝජනා වීමම වීර ක්‍රියාවකි. එහෙත් ගෑණුන්ගේ රෙදි ගැලවීමෙන් වීරයෙකු විය හැකියැයි සිතූ පළමු පුද්ගලයා කවුරැන් දැයි සොයා ගැනීම නම් ලේසි පහසු නොවෙනු ඇත. කොටින්ම මම ද මේවන විට ගිණිය නොහැකි වාරයක් එය උත්සාහ කර ඇත්තෙමි. එහෙත් පළමුවැන්නා වීමේ ගෞරවය මට ලබා දීමට ලංකාවේ පිරිමි බොහෝ දෙනෙකු මැලි වනු ඇත. කෙසේ වෙතත් රෙදි ගැලවීමෙ උත්සාහය සාර්ථක වුව ද නොවූව ද සාමාන්‍යයෙන් මේ කාර්යය අවසන් වන්නේ වීරයාගේ රෙදි ගැලවීමෙනි. මට අත් වූ අවාසනාවන්ත ඉරණමම ඇමතිවරයාට අත්වීම පිළිබදව ඉත සිතින් ශෝක වෙමි.

රටක ජාතික ආරක්ෂාව කාන්තාවන්ගේ ඇදුම අතර සැගවී ඇතැයි මෙතෙක් කිසිදු ජගතෙකුට සොයා ගැනීමට නොහැකි වීමම පුදුම සහගතය. න්‍යෂ්ටික බෝම්බය සොයා ගත්තද එය සගවා තැබිය යුතු ස්ථානය සොයා ගැනීමට තරම් විද්‍යාව දියුණු නොවීය. කොටින්ම එය ලංකාවට මතු නොව මුළු ලෝකයේම ආරක්ෂාව සම්බන්ධ ගැටළුවකි. උදාහරණයක් ලෙස ලෝකෙ සියලුම ස්ත්‍රීන් සිය අභිමතය පරිදි බුර්කාව ඇදීමට තීරණය කළහොත් කුමකින් කුමක් සිදු නොවේද? එසේම එය පොදු ස්ථාන මතු නොව නිවස තුළ ද උනා දැමීම ප්‍රතික්ෂේප කළ හොත් කුමක් වේද? රටක ජාතික ආරක්ෂාව මතු නොව එය ලෝක සාමයට ද බාධාවක් වනු ඇත. එසේ වුවහොත් තුන්වැනි ලෝක යුද්ධය ඇති වීම සදහා සෘජුව බලපෑ හැකි සාධකයකි එය. එබැවින් ස්ත්‍රී ශරීරය සම්පූර්ණයෙන් වසා ගෙන සිටීම ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයකි. නොබෙල් සාම ත්‍යාගය ලැබිය යුත් මට්ටමේ ගවේෂණයකි.

අනෙක බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කේන්තිය පවා වැඩි නොවනු ඇත. මක් නිසා ද යත් ලෝකයේ තරැ පහේ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස සැලකෙන ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, බෙල්ජියම හා ප්‍රංශය අපට පෙර ගෑණුන්ගේ රෙදි ගැලවීමට තරම් ප්‍රගතිශීලී වී ඇති නිසාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරය විසින් සුලුතරය පාලනය කිරීම බව උහු අපට පෙන්වා දුන්හ.

අනෙක් අතට ලංකාවේ මේ බුර්කා තහනම අපව, ‘තරැ පහේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්’ කිරීමේ අරමුණ කරා ගෙන යාමේ රජයේ සීඝ්‍ර වැඩපිළිවෙලේ කොටසක් ද විය හැකි යැයි ද මම සැක කළෙමි. අන්තිමට තරැ පෙණුණේ සරත්ට පමණි. ඒ හැරැණු කොට අපේ ලොකු බාප්පොච්චී චී-ණය ද බුර්කා තහනම් කිරීමේ ඒ මහගු සද් කාර්යයට දායක වී ඇත. එබැවින් ‘මේ කොයි යන්නේ චයිනා යන්නේ’ කියා චී-ණය යන පාරේ යෑම හැම රෙද්දටම හොදය. මොකද හදිසියෙවත් චී-ණය ඔක්කොම ණය එකවර ඉල්ලුවොත් මුස්ලිම් කාන්තාවන් මතු නොව ලංකාවේ මිලියන විසි දෙකටම ඉන්න වෙන්නේ රෙදි මුකුත් නැතුවය.

බුර්කාවෙන් නොනැවතී ලාංකිය සංස්කෘතියට හා දේශගුණයට ගැලපෙන පරිද්දෙන් කාන්තා ඇදුම් තව දුරටත් රැඩිකල්කරණය කළ යුතු බව මගේ යෝජනාවයි. කොටින්ම මෙරට කාන්තාවන් තවම අදින්නේ සුද්දා ඉගැන්වූ වික්ටෝරියා අක්කාගේ ඉස්ටයිල්ය. ඒවා ද වහා තහනම් කර පැරණි සිංහල රජදවස ඇදි හෙළ ඇදුම් මෝස්තර වෙත නැවත යෑම කාලෝචිතයැයි සිතමි. එවිට කාන්තාවන්ට මුහුණ මතු නොව උඩුකය පවා ආවරණය කර ගැනීමට අවැසි නොවේ.

ඒ ඒ කුලයේ උන් අදාල පන්සලේ මහණවන්නාක් සේ කුල වශයෙන් වෙනම ‘මෝස්තර නිර්මාණ පාසල්’ ද බිහි කර ඇඟළුම් කර්මාන්තය දියුණු කළ හැක. ඒ ඒ කුලයේ නමින් ඇදුම් බ්‍රෑන්ඩ් කර අපනයන සංවර්ධන කළ හැක. එවිට ‘කරා ස්ටයිල්’ කීමේ සැබෑම අර්ථයම ඉස්මතු වනු ඇත. දුර සිටම දැක බලා දිය යුතු රැකියාවද තීරණය කිරීමට හැකි බැවින් සම්මුඛ පරීක්ෂණ සදහා වැයවන නිරපරාද කාලය ඉතිරි කර ගැනුමට ද හැකිවෙයි.

බුර්කා ඇතුළු ස්ත්‍රී වස්ත්‍ර තහනම් කිරීමේ ක්‍රියාවට ලොව වටා කාන්තාවන් කී දෙනෙකු මැදිහත් වී ඇද්දැයි සොයා නොබැලීම ද වැදගත්ය. මන්ද එමගින් මෙය පිරිමි ආසාවේ උවමනාවක් යැයි ඔප්පු විය හැකි බැවිනි. එහෙත් සත්‍ය එයම නොවිය හැක. ‘අපි බුර්කාවට බයයි මල්ලියේ’ ගීතයේ අන්තවාදී අදහස් අන්තර්ගත වී ඇති නිසා දැනටමත් තහනමට ලක් වී ඇති බව කරැණාවෙන් සලකන්න.

මේ නිසා ගෑණුන්ට කැමති රෙද්දක් ඇදීමට නොදීමේ රෙද්දෙ නීති සකසන්නේ පිරිමින්යැයි චෝදනා කිරීම යුක්ති යුක්ත නොවේ. මක්නිසා ද යත් පිරිමි දැනටමත් රෙදි භාවිතය අවම කර ඇති බැවිනි. ඉන්නේ රෙදි නැතිව බව නොදැන සමහරැ වෙස්මුහුණු පමණක් පළදිති. සමහරක් වෙස් මුහුණු පැළදම නා ගනිති. ඒ අතින් ගත් කල උදේ හවහා නාන ලොව පිරිසිදුම ආණ්ඩුව ඇති රටේ ඉපදීමම පිරිමි අපට පින කි.

(බ්‍රහස්පතින්දා ‘අද’ පුවත්පතේ පල වූ තීරැ ලිපිය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap