Opinion

ඒක හරියට ආදරේ කරන්නෙ නැතිව ළමයි වඩා ගන්නවා වගේ වැඩක්.

Summary

දේශපාලන චරිත මැද දේශපාලන චරිතයක් නොවන්නෙ සරත් පොන්සේකා විතරයි කියලත් හිතෙනවා. ඔහු යූඇන්පීයට වෙලා ඉන්නෙ යූඇන්පියට තියෙන ආදරේට වඩා රාජපක්ෂවරුන්ගෙන් ඈත් වෙලා ඉන්න තියෙන ඕනෑකමට.

  • Save

[සුබෝධ විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව]

“සජිත් තාම විපක්ෂ නායක වෙන්න හදනවා. සජිත්ට හිතාගන්න බෑ තමන් තවම විපක්ෂ නායක කියලා. රනිල් ගියේ ඒ විදිහට සජිත්ව ඕල්මොරොන්දම් කරලා. සජිත්ව විතරක් නෙමෙයි සමගි ජනබලවේගෙ ඔක්කොම ඕල්මොරොන්දම් කරලා. රනිල්ගෙ කුට උපායමාර්ග ඇතුළෙ හිටපු කට්ටියට තාම ඒකෙන් පිට පරිසරයකට හුරුවෙන්න බැරිවලො තියෙනවා. ඒ නුහුරු බව ඔවුන්ගේ හැම ක්‍රියාවකම තියෙනවා’

‘සජිත් විපක්ෂ නායක හැටියට කතා පවත්තන්න පුරුදු වෙනවා. එච්චර නෙමෙයි හිතන්නත් පුරුදු වෙනවා. ඒත් සජිත් තාමත් ෆේල්’

‘මේ මං කියන්නෙ ගෝටා ෆේල් නෑ කියලා එකක් නෙමෙයි. ජේවීපී එකට නම් සමත් වෙන්න හරි ෆේල් වෙන්න හරි කියලා දෙයක් අමුතුවෙන් නෑ. ඔවුන් ඔවුන්ගෙ කඩේ ඇරලා තියෙනවා. ගෝටා ගැන කළකිරෙන අයට ඕන්නම් එන්න පුළුවන්. ඇවිල්ලා කඩේ යන්න පුළුවන්. ජේවිපී එක ආයේ ඊට වඩා දෙයක් කරන්නෙ නෑ. කරන්න හැකියාවකුත් නෑ. කරන්න අදහසකුත් නෑ. කඩේ ඇරගෙන හිටියාම හොදටම ඇති. ඊට වඩා දෙයක් කරන්න ගියොත් තමතමන්ට දැනට තියෙන පට්ටම් ටික නැතිවෙලා යැයි වගේ නිලධාරීවාදී අලස සිතිවිල්ලක ගාල් වෙලා කඩේ ඇරගෙන ඉන්න එකට වඩා දෙයක් කරන්න තරම් උද්යෝගයක් හේරත්ට නෑ. අනිත් ඔක්කොමත් ගාල් වෙලා ඉන්නෙ හේරත් ඇතුළෙ. පොදු ජන පෙරමුණු බඩක් තියෙන හේරත් තමයි ජේවීපීයේ අදෘශ්‍යමාන නියමුවා.

ගෝටා එක්ක තරහට ජේවීපී එකට බනිනවා වගේ ගතියකුත් මේ කතාවේ තියෙනවා. කොහොම නමුත් ගෝටා පේල් වෙයං කියලා ප්‍රාර්ථනා කරන එකයි ගෝටා පේල් කියලා ප්‍රචාරය කරන එකයි හැරෙන්න වෙන මොනම වැඩපිළිවෙළකටවත් අලස ජේවීපී එක යන්නෙ නෑ. යන්න හැකියාවකුත් නෑ. එන අයට එන්න කඩේ ඇරගෙන ඉන්නවා විතරයි. ඒකෙන්ම ලාච්චුව පිරෙයි කියන ලෝභ සිතිවිල්ල දැක දැක බඩ අතගාමින් සතුටු වෙනවා හා ලාච්චුවේ සල්ලි ගණන් කරනවා පමණයි.

ඒත් මට හිතෙන්නෙම ගෝටත් ෆේල් කියලා තමයි. ගෝටාටත් වඩා අපි ෆේල් කියලා.මේකට හේතුවම අපි ගෝටා මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක් කියලා හිතපු එක. එතුමන්වත් එහෙම හිතන්න පොළඹවපු එක. ඒක අපේ වැරැද්ද. ගෝටාට බැනලා වැඩක් නෑ. පේල් කියලා වැඩක් නෑ. අපි අපේ වැරැද්ද හදාගන්න ඕනැ.

අලි සබ්රිත් මංමුලා වෙලා. එයා මුස්ලිම් ජනතාවගේ එකම නායකයා වෙනවා වගේ සිහිනයක පැටලිලා. මුස්ලිම් ව්‍යාපාරකෙයෝ ලොකුලොක්කො කෝල් දිදී සබ්රි ව මුලා කරනවා. මුරැංග අත්තෙ තියෙනවා. කොච්චර ද කියනවා නම් සබ්රිට දැන් හිතන්නෙ තමන් පත්වුණේ පොහොට්ටුවේ සිංහල ඡන්දවලින් නෙමෙයි මුස්ලිම් කොංග්‍රසේ මුස්ලිම් ඡන්දවලින් කියලා. ගාලා තියෙන බටර්වල තරම. ඉතින් ඔහොම නොමග යනවාට තමයි පේල් කියන්නෙ. ඡන්දෙ දිනන කල් සිංහල ජනතාවගේ නායකයෙක් වුණ සබ්රි දැන් මුස්ලිම් ජනතාවගේ නායකයෙක් විතරයි. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට තියෙන හැකියාව අපිට නෑ. සබ්රිව නලවලා අරන් ඉවරයි.

පේල් වීමට වඩා අපට තියෙන්නෙ බූට් එකක් වැදුණා වගේ හැගීමක්. ඒකට හේතුව අප ගෝටාට ආදරය කිරීම. ඒත් ගෝටා වෙනුවට දැන් අපිට බැසිල් ආදරේ කරන්න පටන් අරන් හරියට අපි ආදරේ කළේ ගෝටට නෙමෙයි බැසිල්ට වගේ. ගෝටා අතේ තිබුණු ආදරනීය සිනිදු පෝට්ටුව බැසිල් අතේ පන්දමක් වෙලා. වැරැද්ද කාගෙවත් නෙමෙයි අපේ බොළද සිතිවිලි වල. අපි පේල්. ඒ විතරක් නෙමෙයි අපි හැමදාම පේල් වෙනවා. ජේවීපී එක කඩේ ඇරගෙන බලාගෙන ඉන්නවා. සජිත් විපක්ෂ නායක චරිතෙ රගපාන්න පුරැදු වෙනවා. ඒත් රනිල්ගේ මග පෙන්වීම නැතිව සජිත්ට තනිවමත් ඒක අමාරුයි.

දේශපාලන චරිත මැද දේශපාලන චරිතයක් නොවන්නෙ සරත් පොන්සේකා විතරයි කියලත් හිතෙනවා. ඔහු යූඇන්පීයට වෙලා ඉන්නෙ යූඇන්පියට තියෙන ආදරේට වඩා රාජපක්ෂවරුන්ගෙන් ඈත් වෙලා ඉන්න තියෙන ඕනෑකමට. ඔහුට ඇති එකම සැනසීම එච්චරයි. ඒත් සරත් පොන්සේකාට තියෙන ඒ මොළේ කවදාවත් අපට එන්නෙ නෑ. අනිත් එක අපි කරන්නෙත් ගෝටා එපා වුණොත් ගෝටා වෙනුවට සරත්ට ආදරේ වෙන්න ගන්න එක. එතකොට අපි ආයෙත් පේල් වෙනවා. තරුණ කාලේ ආදරේ කරනවා වගේ මැදිවියේ කාලේ දේශපාලනේ කරන එක නවත්වන්න අපේ ජාතියට හැකිවෙන්නෙ කවදද? ඒක හරියට ආදරේ කරන්නෙ නැතිව ළමයි වඩා ගන්නවා වගේ වැඩක්.”

ජයවීරගේ අතින් කොම්පියුටරයේ අකුරු කෙටීගෙන කෙටීගනෙ ගියේ රළ පහරකට හසුවූවාක් මෙනි. ඒ රළ පහර තුළ ඔහු  2019 ජනවාරියේ තබා අහස උසට තබාගත් බලාපොරොත්තු ද ගසාගෙන යන්නට ඉඩ හැරියේ ද? කොම්පියුටර අපි ඔබන වචන ටයිප් කළ ද මෙවැනි ප්‍රශ්නවලට කොම්පියුටරයට ද උත්තර නැත. ඒ නිසා කොම්පියුටරය පේල් කීවාට පලක් නැත.

පසුගිය කොටස්

කාටවත් කවුරැවත් නැති ලෝකයක්

ධනපති පංතියේ මෝඩදරුවන්ට ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ්වලින් දොස්තරලා වෙන්න ඉඩ දෙන්න?

ප්‍රභාකරන් පරද්දලා දිනාගත්ත නිදහස අපි චීනෙට හරි ඇමරිකාවට පාවලා දෙනවා නම් ඒක වීරකම නෙමෙයි

අපට ඕනෑ බලතණ්හාව නැති නායකයන් නෙමෙයි දරු ස්නේහය නැති නායකයන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap