Opinion

ඒදණ්ඩ මෙන් ම පණ්ඩිතයන්ට බිය දනවන පොතක් – සංජීව මහේෂ් පෙරේරාගේ ‘මට ද ආදරේ කියා තිබේ’

Summary

පරිණත මිනිසෙකු වූ කුටුසොව්ට අපට මෙන් සම්භාව්‍ය නවකතා අතේ තබාගෙන කියවමින් අමුතු පරිණතකමක් මවා පෙන්වීමට අවශ්‍ය වූයේ නැත. සමහර විට මහා සම්භාව්‍ය නවකතා අතේ තබාගෙන අප කරන්නට හදන්නේ අපේ බොළදකම වසාගැනීම විය හැකිය.

විචාරයකින් කරනු ලබන්නේ නිර්මාණයක රසය වෙනත් වචනවලින් ලබාදීමයි. ජෝතිගේ සින්දුවලට විචාර නොලියවෙන්නේ ඒ නිසා විය හැකිය. ජෝතිගේ ගීතවල ඇති රසය වෙනත් වචනවලින් ලබාදීමට කිසිදු ජගතෙකුට නොහැක. සංජීව මහේෂ් පෙරේරාගේ ඇතැම් නවකතා ගැන විචාර නොලියවෙන්නේ ද මේ නිසා ම විය හැකිය.

නීරස නිර්මාණයකට ඊට වඩා රසවත් විචාරයක් බොහෝ විට ලියන්නට හැකිය. ඒ නිසා ම එය බොහෝවිට සිදුවන ආකාරය ද දැකිය හැකිය. එහෙත් රසවත් නිර්මාණයක් ගැන ඊට වඩා රසවත් විචාරයක් ලියන්නට නොහැක. ඒ නිසා ම එය බොහෝවිට සිදුනොවේ.

මම තෝල්ස්තෝයිගේ පොත් කියවා ඇත්තෙමි. පුෂ්කින්, දොස්තයෙව්ස්කි, චෙකොප්, ගෝර්කි කියවා ඇත්තෙමි. මෝපසාංගේ කෙටිකතා කියවා ඇත්තෙමි. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ, මාර්ටින් වික්‍රමසිංහගේ, හේමපාල මුනිදාස‌ගේ, ජී.බී. සේනානායකගේ, කරුණාසේන ජයලත්ගේ, ගුණදාස අමරසේකරගේ, කේ. ජයතිලකගේ, ජයතිලක කම්මැල්ලවීරගේ, ලියනගේ අමරකීර්තිගේ නිර්මාණ කියවා ඇත්තෙමි. ආජන්ටියානු ලේඛක ජෝස් ලුයිස් බර්හේස්ගේ නිර්මාණවලින් සෑහෙන ප්‍රමාණයක් කියවා ඇත්තෙමි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම නවකතාවක් ලෙස සැලකෙන දොන් කියාටියෝ කියවූවෙමි. මාකේස්ගේ ප්‍රධාන නවකතා කියවා ඇත්තෙමි. එහෙත් මා කියන්නට යන්නේ ජෝස් ලුයිස් බර්හේස්ගේ ඇතැම් නිර්මාණයකින් ලැබෙන ආස්වාදය හා සමාන ආස්වාදයක් මට සංජීව මහේෂ් පෙරේරාගේ නවකතාවලින් ද ලැබෙන බවය. එයට සමහර විට හේතුව මා විචාරකයෙකු නොවී මේ වන විට සාමාන්‍ය පාඨකයෙකුගේ තත්වයට ඇදවැටී තිබීම විය හැකිය. ඒ අනුව මෙය විචාරකයෙකුගේ නොව පාඨකයෙකුගේ රස විඳීමකි.

තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය නවකතාවේ බොහෝ රසවත් තැන් තිබේ. එහෙත් ඒ අතර ඒ පොත පළමුවර කියවීමේ දී මගේ සිතේ අමතක නොවන සේ සනිටුහන් වූ රසවත් තැනක් තිබේ. යුද්ධය හා සාමය මා කියවන්නට පටන්ගත්තේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම නවකතාව කියනවාය යන ආඩම්බරයෙනි. එහෙත් යුද්ධය හා සාමය නවකතාවේ එන ශ්‍රේෂ්ඨතම වීරයා වන කුටුසොව් සේනාධිපතියා මා මෙන් සම්භාව්‍ය ශ්‍රේෂ්ඨ යථාර්ථවාදී නවකතා කියවන්නෙක් නොවේ. බොළඳ පෙම් කතා කියවන්නෙකි. ඒ සිදුවීම මට මතක සිටියේ ඒ නිසාය.

කුටුසොව් රුසියානු හමුදාවේ එවකට සිටි ජ්‍යෙෂ්ඨතම හා මහලු සෙනෙවියෙකි. සැබෑ දක්ෂයාට තැන ලැබෙන්නේ ජයගත නොහැකි අර්බුද අවස්ථාවකදී පමණි. රුසියාවේ පමණක් නොව චීනයේ ද එය එසේ බව රාජධානි තුනේ කතාව නම් චීන නවකතාවෙන් දැකගත හැකිය. චීනයේ පමණක් නොව ලෝකයේ ම එය එසේය. නැපෝලියන්ගේ ආක්‍රමණ හමුවේ පරාජයන් පිට පරාජයන් ලබන විට සාඩම්බර සෝබන සෙන්පතිවරුන් සැම පසෙකටලා කුටුසොව්ට සේනාධිනායක ධූරය ලබාදෙන්නට සාර් රජතුමාට සිදුවූයේ ඒ නිසාය. මේ සෝබන සෙනෙවියන් ඉතා විශිෂ්ට අලංකාර යුද සැලසුම් ඉදිරිපත් කළහ. ඒවා ඉතා බුද්ධිමත් බව පෙනෙන්නට තිබුණි. එහෙත් ඒ විශිෂ්ට බුද්ධිමත් සැලසුම් සියල්ලෙන් සිදුවූයේ නැපෝලියන්ගේ ගමන තවත් වේගවත් වීම පමණි. ඒ නිසා අවසානයේ නිහඩ වයසක කුටුසොව්ට හමුදාවේ නායකත්වය ලබාදීමට සිදුවිය.

ප්‍රංශ භාෂාව කතාකළ රුසියාවේ බොහෝ රදළ හමුදා සෙන්පතියන් කුටුසොව් නම් චාම් නිරහංකාර ජ්‍යෙෂ්ඨ නිලධාරියාට හමුදාපතිකම ලැබෙනවාට වඩා නැපෝලියන්ට යටත්වීමට කැමැත්තෙන් සිටිහය. එහෙත් සාර් රජතුමාට ඒ තෝරාගැනීම කරන්නට නොහැකි විය. ඒ නිසා කුටුසොව්ට හමුදාපතිකම ලැබුණි.

නැපෝලියන් හමුවේ පරාජයන් පිට පරාජයන් ලබමින් සිටි රුසියානු හමුදාවේ ඉරණම වෙනස් වූයේ එතැන් සිටය. යුද බිමේ සියලූ තොරතුරු තක්සේරු කොට සටනට අවශ්‍ය විධාන හා මගපෙන්වීම් ලබාදීමෙන් පසු තවත් කතාවලට නොයා පැත්තකට වී සිටීමට කුටුසොව් ආසා කළේය. එවන් අවස්ථාවලදී මේ ‘මහල්ලා’ කළේ එවකට බොළද යැයි සැලකුණු පෙම් නවකතාවක් කියවීමයි. සමහරවිට ඒ්වා සංජීව මහේෂ් පෙරේරාගේ වැනි නවකතා විය හැකිය. නැතිනම් ඊටත් වඩා බොළද නවකතා විය හැකිය.

පරිණත මිනිසෙකු වූ කුටුසොව්ට අපට මෙන් සම්භාව්‍ය නවකතා අතේ තබාගෙන කියවමින් අමුතු පරිණතකමක් මවා පෙන්වීමට අවශ්‍ය වූයේ නැත. සමහර විට මහා සම්භාව්‍ය නවකතා අතේ තබාගෙන අප කරන්නට හදන්නේ අපේ බොළදකම වසාගැනීම විය හැකිය. කෙසේ හෝ ලෝකයේ හොදම නවකතාව යැයි සාඩම්බරයෙන් යුද්ධය හා සාමය කියවමින් සිටි මට කියවන්නට ලැබුණේ ඒ නවකතාවේ එන ලොකුම වීරයා බොළද නවකතා කියවන හැටිය. ඉහත කී ලෙස පළමුවර කියවීමේ දී ම ඒ අවස්ථාව මගේ සිතේ නොමැකෙන ලෙස සනිටුහන් වූයේ ඒ නිසා විය හැකිය.

පියදාස සිරිසේන මහතා එවකට පැවති බටහිර පෙම් නවකතා ආකෘතිය හා රහස් පරීක්ෂක නවකතා ආකෘතිය රට, දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය පිළිබඳ දැනුම ජනතාව වෙත ගෙනයාමට යොදාගත්තේය. එසේ ම සංජීව මහේෂ් පෙරේරා තමාගේ ආකෘතිය ලෙසින් යොදාගන්නේ තරුණ පරපුර අතර ජනප්‍රිය වී ඇති පෙම් නවකතා නමැති ආකෘතියයි. එහෙත් ඒ ආකෘතිය තුළ අප වැනි වියපත් පාඨකයන්ට පවා මෙතෙක් නොලැබුණු රසයක්, සාහිත්‍යමය අත්දැකීමක් ලබාදීමට සංජීව මහේෂ් පෙරේරා සමත් වෙයි. ඒ මහතා මා ද බොළද පෙම් කතා කියවන්නෙකු බවට පත්කර ඇත. එය එක අතකට ජාතක කතා කියවමින් සිටි ඒ් කාලයේ ජනතාවට පියදාස සිරිසේන මහතා ‘නවල්ස්’ කියවීමට සැලස්වීම හා සමාන වේ. සංජීව මහේෂ් පෙරේරා මහතාගේ ‘මට ද ආදරේ කියා තිබේ’ නවකතාව ඒ සඳහා ඉතා හොඳ උදාහරණයකි.

පෙමින් බැදී සිටි හෝ පෙමින් බැදෙමින් සිටි යුවතියක් හදිසියේ පිටුපෑම බොහෝ දෙනා විද ඇති අත්දැකීමකි. සංජීව මහේෂ් පෙරේරාගේ ‘මට ද ආදරේ කියා තිබේ’ නවකතාවේ කතා වස්තුව එවැන්නකි.

ආදරය පෙන්වීම මෙන් ම ආදරය නොපෙන්වා සිටීමට හැකිවීම ද කාන්තාවන්ට ඇති මහඟු හැකියාවකි. එනම් ආදරයෙන් බැඳී සිටි යුවතියකට ඉන්පසුව එවන් කිසිදු ආදරයක් නොතිබුණා සේ හැසිරෙන්නට ඇති හැකියාව විස්මිතය. එසේම යුවතියකට අපේ ආදරය හිමි ව තිබී ඉන්පසුව එම යුවතියගේ ආදරය අපට අහිමිවූවිට අප තුළ ඈ ගැන තිබූ ආදරයට සිදුවන්නේ කුමක් ද යන්න ද සිතාගැනීමට නොහැකි මහා අද්භූත සිදුවීමකි. එනම් ආදරය ද ගනුදෙනුවක් පමණි. දෙන්නේ ලැබෙන තුරු පමණි. සංජීවගේ මේ කුඩා නවකතාව මෙවන් මහා සිතිවිලි ද අවුලුවයි.

අනෙක් අතට ආදරය හිමිවීම මෙන් ම ආදරය අහිමිවීම ද චමත්කාර ජනකය. පෙම්වතියක් ආදරයෙන් සිටින විට අප ඉදිරියේ කරන රඟපෑමටත් වඩා ඈ තුළ ඇති ඒ ආදරය නැතිවූ විට අප ඉදිරියේ කරන රගපෑම් ආශ්චර්යඅද්භූතජනකය. රෝස මල රෝස කටුවක් බවට පත් වූ විට රෝස මලටත් වඩා ඉතා චමත්කාරජනකය. රෝස කටු ඇනෙන විට රෝස මල සිඹීමෙන් අප ලද සුවය කුමක්දැයි සිතේ. රෝස මල රෝස කටුවක් වූ විට එය පෙර පැවති රෝසමලට වඩා සියදහස් ගුණයකින් ලස්සනය. මේ මා ලියා ඇති ඉහත සියලු දේ සංජීව මහේෂ් පෙරේරාගේ ‘මට ද ආදරේ කියා තිබේ’ නවකතාව නොකියවූයේ නම් මේ ආකාරයෙන් මගේ සිත තුළ හටගන්නේ නැත.

මහපොළව මත ඇවිදිමින් සිට මහපොළව නැති වූ විට ද ඇවිදින්නට අණ ලැබුනු විට අප එසේ කරන්නේ කෙසේද? ආදරයක් හිමි ව තිබී ඒ ආදරය අහිමිවූ විට ද අපට ද මුහුණ පාන්නට සිදුවන්නේ එවන් අවස්ථාවකටය. දුකෙන් සිටින අවස්ථාවක සිනාසෙන්නේ කෙසේද? හුස්ම හිරවූ විට හුස්ම ගන්නේ කෙසේද? මේ සියල්ලද මට කල්පනා වූයේ ‘මට ද ආදරේ කියා තිබේ’ නවකතාවෙනි.

ආදරයෙන් සිටින විට කරන විහිලුවලට වඩා ආදරය නැති විට කරන විහිලු චමත්කාරජනකය. අප සිත තුළ පවත්නා අපට ද නොපැහැදිලි සිතිවිලි අප වෙනුවෙන් ගොඩදැමීම දක්ෂ නවකතාකරුවා විසින් සිදුකරයි. අපට අපව හරියට මුණ ගැස්සවීම දක්ෂ නවකතාකරුවාගේ කාර්යයයි.

සංජීවගේ නවකතාව වේදිකාව මත නොව මහපොළව මත අප සිටින තැන ම අප නළුනිළියන් බවට පත්කරමින් අතිශයින් නාට්‍යමය අවස්ථාවන් වෙත අපව ගෙන යයි. අප තුළ සැඟ වී පවත්නා නොපැහැදිලි සිතිවිලි අවුලුවා තමන් අතට ගැනීම දක්ෂ නවකතාකරුවා විසින් සිදුකරයි. එක්තරා ආකාරයකට එය සිංහල වෙද මහතාගේ විරේකයක් ද වැනිය.

ඉහත ද කී ලෙස මේ සියලු විස්කම් සංජීව මහේෂ් පෙරේරා කරන්නේ බොළද පෙම් නවකතා ලෙස සැලකෙන නොඑසේනම් යථාර්ථවාදී යයි නොසැලෙකෙන නවකතා ආකෘතිය තුළය. ඒ නිසා අවශ්‍ය නම් මෙය මහේෂ්ගේ අධියථාර්ථවාදී ප්‍රේම රීතිය යැයි කිව හැකිය. අන්තර්ගතයට නොව ලේබලයට ඇලෙන සමාජයකට මෙබඳු යෙදුම් අවශ්‍යය. අන්තර්ගතයෙන් නොව ලේබලයෙන් ජීවත්වන සමාජයකට දැනෙන්නේ මෙබඳු ලේබල් පමණි. අනෙක් අතට ලේබල්වලට ම හුරු වී ඇති අයට සංජීව වැනි අන්තර්ගතයක් මත පදනම් වන නිර්මාණකරුවන් අප්‍රිය වීමට ද ඉඩ ඇත.

සංජීව මහේෂ් පෙරේරා මහතා භාවිතා කරන්නේ සරල සැහැල්ලු භාෂාවකි.. ඔහු අපිව මල් යායකට ගෙන යයි. එහෙත් වෙනත් මල් යායවලදී මෙන් නොව මල් යාය තුළ ඇති කටු යාය ද අපට සංජීවගේ මල් යායේ දී හොඳින් පෙනෙන්නට ගනියි. ඒ නිසා මල් නවකතා යන හංවඩුවෙන් සංජීවගේ නවකතා මැනීමට නොහැක. එහෙත් සරල සැහැල්ලු රචනා ශෛලියෙන් නම් ඒවා මල් නවකතා නොව මල් මල් නවකතාය.

අවසානයට මට කියන්නට ඇත්තේ ජෝතිගේ ගීත ගැන කිවූ දෙයය. මේ විචාරයෙන් ‘මට ද ආදරේ කියා තිබේ’ නවකතාවෙන් ලැබෙන මිහිර ලැබිය නොහැකිය. කෙසේවුවත් පණ්ඩිතයන්ට ජෝතිගේ ගීතයකින් රසයක් ලැබිය නොහැකි සේ ම රසවත් නවකතාවකින් ද රසයක් ලැබිය නොහැකිය. ඒ නිසා සංජීවගේ නවකතා පණ්ඩිතයන් නොවන අයට වඩාත් සුදුසුය යන ලේබලය යටතේ පාඨකයා වෙත ගෙනයාම වඩාත් සුදුසු යැයි සිතමි. මට ද මේ විචාරය ලියන්නට සිදුවූයේ මගේ පණ්ඩිතකම පැත්තකින් තබමිනි. ඒ සඳහා මට ද බොහෝ සේ මහන්සි වන්නට සිදුවූවත් එය සම්පූර්ණයෙන් සාර්ථක වූයේ යැයි නොසිතමි.

යථාර්ථවාදී නවකතාව මෙන් ම අධියථාර්ථවාදී නවකතාව ද වඳ පීදී ඇති යුගයක ජනප්‍රිය පෙම් කතා රීතිය ඔස්සේ සංජීව මහේෂ් පෙරේරා පාදාගන්නට හදන මාවත අප තුළ බලාපොරොත්තු දල්වයි. ‘මට ද ආදරේ කියා තිබේ” නවකතාව ඒ සඳහා උදාහරණයකි. ඒත් පණ්ඩිතකම් පැත්තකින් තබා කියවිය යුතුය. පණ්ඩිතයා ඒ දණ්ඩටත් වඩා සුන්දර නවකතාවකට බිය වෙයි. කෙසේවුවත් ඒ පණ්ඩිතයන්ගේ හැටිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *