Opinion

ඔටාරා සහ සීයට හය

Summary

අලි වඩාගෙන පෙරහැරේ ගෙනියන්න ක්‍රමයක් ඇති කර නොගැනීම සිංහල බෞද්ධයන්ගේ වැරැද්දක් කියලද හිතාගෙන ඉන්නේ?.

ඔටාරා ගුණවර්ධන මහත්මිය මේ රටට වැඩක් කරපු සහ කරන කෙනෙක්. ඔඩෙල් ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් එතුමිය අපේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දුන්නා. දඩාවතේ යන බල්ලන් වැනි අසරණ සත්තුන්ට පිහිටවීමටත් එතුමිය මුල්වෙලා ඉන්නවා. මේ හැම එකක් ම ඉතාමත් ඉහළින් අගය කළ යුතු වැඩ. ඉතින් එතුමිය අපි කාගෙත් ගෞරවය, බුහුමන ලබන්න සුදුසු කෙනෙක් කියලා මම හිතනවා.

සතුන්ට පිහිටවීමේ කාරණය ගැන විතරක් අපි අද කතා කරමු.

මේක ඇත්තෙන්ම සංස්කෘතික කාරණයක්. පෘථග්ජන අපි හැම සතෙක්ටම එක විදිහට පිහිටවෙන්නේ නෑ. බල්ලොත් එක්ක මිනිස්සුන්ට ඉතාමත් ළඟ සංස්කෘතික බැඳීමක් තියෙනවා. බලු මස් කෑමට අපි විරුද්ධ වෙන්නෙත් කුකුළු මස් කෑම ගැන ඒ තරම් වදවීමක් අපිට නැත්තෙත් ඒ හින්දා. “කන්න පුළුවන් නම් සහ විසක් නැතිනම් මොන මස් කෑවත් වැරැද්දක් නෑ” කියලා කාට හරි කියන්න පුළුවන්. ඒත් සංස්කෘතියකින් මේච්චල් වෙච්ච මිනිස්සු එහෙම කරන්නේ නෑ.

බෞද්ධයෝ වුනාට අපි අතිනුත් යම් යම් ප්‍රාණඝාත සිද්දවෙනවා. මදුරුවෙක් අතේ වැහුවාම ඌට ගහන්නේ නැතුව පන්නන මිනිස්සු ඉන්නේ ටික දෙනයි. ගෙවල් ඇතුළේ මීයෝ බෝවෙනවාට කවුරුවත් කැමැති නෑ. ඉතින් මී කතුරු තියලා හරි වහ තියලා හරි උන්ව මරන අයත් අපි අතර ඉන්නවා. මෑතක ඉඳලා හුඟක් අය කරන්නේ ගෙවල්වල ඉන්න මීයෝ කූඩයකට අල්ලලා ඈතකට ගිහිල්ලා දාන එක. ඊට පස්සේ උන්ට සහ උන්ගේ පවුල් සංස්ථාවලට මොකද වෙන්නේ කියලා අපි දන්නේ නෑ. මී අම්මා කෙනෙක් අල්ලලා ඈතට ගිහිල්ලා දැම්මාට පස්සේ ගෙදර තනිවෙන උගේ පුංචිම පුංචි පැටව් දැක්කොත් අපේ හිතේ ලොකු කම්පාවක් ඇතිවෙනවා. ඊට පස්සේ දවස් ගානක් යන කල් හරියට නිදාගන්නත් අපිට අමාරුයි.

සංස්කෘතික ඇගැයීම්වලින් හැඩ ගැහිච්ච මනස් අපිට තියෙන හින්දා තමයි මෙහෙම වෙන්නේ. මේ ඇගැයීම් සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්. බලු මස් කන මිනිස්සුත් මේ ලෝකයේ ඉන්නවා. ඒ අයගේ සංස්කෘතීන් ඇතුළේ ඒක වැරැද්දක් නෙවෙයි. ඒත් ඒ අයටත් අපේ සංස්කෘතික ඇගැයීම් බලෙන් හරි පටවන්න අපි උත්සාහ කරනවා. හරක් මස් කෑම ගැන තියෙන සංස්කෘතික ඇගැයීමත් එහෙම එකක්.

කකුළුවෝ කන එක අපි හුඟක් දෙනෙක්ට දරාගන්න බැරි තරම් දරුණු වැඩක්. උන්ව උයන්නේ පණ පිටින්. සතෙක්ව පණ පිටින් උයලා රහ කර කර කන්න පුළුවන් ද කියලා අපිට හිතෙනවා. අපේ මනස හැදිලා තියෙන විදිහට ඒක දරාගන්න අමාරුයි. සංගක්කාර මහත්තයා‍ගේ “කකුළු අමාත්‍යංශය” ගැන ඔටාරා මහත්මිය මොකද හිතන්නේ?

ඉතින් පෙරහැර කාලයට ඉස්සරහට එන අලි ප්‍රශ්නය දිහා අපි බලන්නත් ඕන සංස්කෘතික ඇහැකින්. පෙරහැරේ ගෙනියන අලි ගැන අපිට තියෙන්නේ මහ විශාල ගෞරවයක්. කරඬුව ගෙනියන ඇතා පාරේ යද්දිත් අපේ ගොඩක් අය ඌට වඳිනවා. මේ දේවල් වටා බැඳිච්ච සංස්කෘතික කාරණා මහ ගොඩක් තියෙනවා.

මේ අලින්ට ලොකු දම්වැල් දාලා තියෙනවා කියලා සමහරු දොස් කියනවා. බල්ලෙක් දම්වැලකින් බඳිද්දි එහෙම කම්පාවක් ඒ අයට ඇතිවෙන්නේ නෑ. අලි බඳින දම්වැල් බල්ලෝ බඳින දම්වැල්වලට වඩා ගොඩක් ලොකුයි තමයි. අලියා කියන්නෙත් මහ විශාල සතෙක්. ඉතින් මේ දම්වැල් අලියාට මහ බරක් නෙවෙයි. මේවායින් කරන්නේ මිනිස්සු ගොඩක් ඉන්න තැන්වල උගේ ගමන පාලනය කිරීමක් විතරයි.

අලි බලාගැනීම කලාවක්. ඒකට අදාළ විශාල දැනුමකුත් තියෙනවා. ඒ ශාස්ත්‍රයේ කෙළ පැමිණි අය ඉතාමත් හොඳින් අලි බලාගන්නවා. මේ සාස්තරේ ඉස්කෝලේ උගන්නන්නේ නෑනේ. ඉතින් දැන් කාලේ හුඟක් අය මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නේ හරි අමාරුවෙන්. මේ සමාජ ක්‍රමය ඇතුළේ තියෙන විකෘතිය හින්දා එහෙන් මෙහෙන් ශාස්ත්‍රය ඉගෙනගෙන අලි බලන්න යන අයත් ඉන්නවා. ඒ වගේ ම, මේ රස්සාවට යොමුවෙච්ච සමහරු අධික විදිහට මත්පැන් පානයටත් යොමුවෙලා ඉන්නවා. මේ කරුණු හින්දා ඇතිවෙන යම් යම් අවුල් තියෙනවා තමයි. ඒක විසඳන්න පුළුවන් අලි ශාස්ත්‍රය විධිමත් විදිහට ඉගැන්වීමෙන් සහ අදාළ චාරිත්‍ර වාරිත්‍රවල හැසිරෙන්න ඇත්ගොව්වන් පුරුදු කිරීමෙන්. ඉතින් පෙරහැර කාලේට හිත් රිදෙන අයට මේ ගැන හිතලා බලන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් යම් අරමුදලක් ඇති කරලා, අධ්‍යාපන වැඩපිළිවෙළකුත් පටන් ඇරගෙන ඇත්ගොව්වන්ගේ අවශ්‍යතා ඉටුකරලා දෙන්න එහෙම විසඳුමක්.

කොහොමත් අලි සම්බන්ධයෙන් ඔටාරා මහත්මියට ලොකු දැනුමක් නැති බව පහුගිය දවසක එතුමිය මූණු පොතේ දාපු පෝස්ට් එකකින් අපි දැක්කා. අලින්ට ඇතිවෙන “නිදිපොළ තුවාලය” ගැන එතුමියට දැනුමක් නෑ. ඉතින් එතුමිය හිතලා තියෙන්නේ ඒක ඇත්ගොව්වා විසින් ඇති කරපු තුවාලයක් කියලා. නොදන්නකමට එහෙම හිතන එක ගැන දොසක් කියන්න අපිට බෑ. කොහොමත් මේ කාරණය ගැන දැනුමක් නැතුව කතාකරන එක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. සංස්කෘතික කරුණු නොසළකා මේවා ගැන කතා කිරීමත් වැරැද්දක්. ඉතින් ඔටාරා මහත්මියට ඒ ගැන දැනුමක් ඇති කරගන්නත් පුළුවන් නම් හොඳයි. කොහොම වුනත් එතුමිය සම්බන්ධයෙන් මට තියෙන ඇගැයීම, ගෞරවය මේ කාරණය හින්දා නැතිවෙන්නේ නෑ.

එතකොට සීයට හයේ මහත්තයා? පෙරහැර කාලයට අලින්ගේ දුක් වේදනා ගැන කතා කරන සංවේදී හදවතක් ඒ මහත්තයාටත් තියෙනවා කියනවානේ.

ඒ මහත්තයා කොහොමටත් සිංහල බෞද්ධයන්ගේ වැරැදි හොය හොයා ඉන්න කෙනෙක්නේ. ඉතින් ඒ අසනීපයට බෙහෙත් කරන්න අපි මහන්සිවෙන්න ඕන නෑ. ඒ මහත්තයා හිතන්නේ අලි වඩාගෙන පෙරහැරේ ගෙනියන්න ක්‍රමයක් ඇති කර නොගැනීම සිංහල බෞද්ධයන්ගේ වැරැද්දක් කියලා. අලි ගැන කියනවා වගේ ම බල්ලෝ ගැන කියන්නත් යම් දවසක ඒ මහත්තයා යොමුවෙයි. අන්න එහෙම වැඩක් පටන්ගත්ත දවසට අපිට අහන්න ලැබෙන්නේ “ලංකාවේ බල්ලන්ගේ වලිගය ඇදවීමට නලින් ද සිල්වා ගුරුකුලය හේතුවුණු ආකාරය” වගේ කතා. “මස් කටු ඕන ද? බලු සුප් ඕන ද? ගස් ලබු ඕන ද? පපඩම් ඕන ද?” කියලා අහනවා ඇරෙන්න ඒ වෙලාවට කරන්න පුළුවන් වෙන වැඩක් අපිට නෑ.

Leave a Reply

Your email address will not be published.