Opinion

ඕනෑම සටනක් ශිෂ්ඨ සම්පන්න විය යුතුය….

Summary

ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ සටනක් තිබෙනවා නම් එය හැම ළමයාම වෙනුවෙන් විය යුතුය. එහෙම නැති පෙනී සිටීම් හා සටන් සාධාරණ නැත… ශිෂ්ඨ සම්පන්න නැත… අපුල දනවයි.

  • Save

මීට කලකට පෙර මම “සැබෑ රාජකීයයන් රඟන්නේ නැත” යනුවෙන් ලිපියක් ලීවෙමි. එයට මූල බීජය සැපයූවේ එක්තරා ඇමතිවරයෙක් දූෂණයක් සම්බන්ධ කොමිසමකට යාමේදි විද්‍යාල ටයි පටිය පැලඳගෙන යාමය. ඒ ලිපියේදී මම රාජකීය විද්‍යාලයේ නමට හානි කරනුයේ මෙවන් දේශපාලකයන් හා තම මුදල් හා නිල බලය මත විද්‍යාලයට ආ සල්ලිකාර පුත්තුන් බව ලීවෙමි….

රාජකීය විද්‍යාලයීය ආදර්ශ පාඨය වන “Disce Aut Discede” හෙවත් උගනිවු නැත පිටවෙනු යන්න උගත් නැති වුන් නිසා රාජකීය විද්‍යාලයේ හොඳ නම නැතිවන බව කීවෙමි. රාජකීය විද්‍යාලය බැබලෙන්නේ ලංකාව පුරාත් ලෝකය පුරාත් විශිෂ්ඨ ලෙස වැඩ කරන මිනිස්සු නිසා බව කීවෙමි. කාට හෝ හිත් රිදවාගන්නට උවමනාවටත් වඩා කරුණු එහි තිබිණි. නමුත් ඒ ලිපිය ආදී රාජකීයයන්ගේ කණ්ඩායම්වල දැවැන්ත ආදරයකට ලක්ව තිබිණි. එවක රජයේ ප්‍රමුඛතම අයෙකුගේ පවා අවධානයට මෙය යොමු කර තිබුණේ වර්තමාන තානාපති සේවයේ ජ්‍යෙෂ්ඨයෙකි. ඒ වැදගත් මිනිසා ඒ කියවා ‘මේ කතාව ඇත්ත’ බව පවසා තිබිණි….මට කතා කර ඒ ගැන ස්තුති කරන්නට ඔහු නිහතමානී විය…

මට මගතොට හමු වූ බොහෝ ආදි රාජකීයයන්, ගුරුවරුන්, දෙමාපියන් ඒ ලිවීම ගැන ස්තුති කර සිටියහ. මිත්‍රයන් කිහිප දෙනෙක් “උඹට බය නැද්ද ? ” කියලාද අැසූහ. මගේ දරුවෙකුගේ “පළමු වසර සම්මුඛ පරීක්ෂණය “පවා ඒ අවුරුද්දේ යෙදී තිබිණ. මා ඒ කාටත් දුන් පිළිතුර වූයේ “Machan, I believe in Royal values” කියලාය. ඒ අවුරුද්දේ සම්මුඛ පරීක්ෂණයට හිටියේ ලංකාවේ චිර ප්‍රසිද්ධ නීතිවේදියෙකි. සාහිත්‍ය සංගමයේ අප⁣ට පෙර හිටි සභාපතිතුමෙකි. මා හඳුනා ගත් ඒ වැදගත් මිනිස්සු අදාළ වැඩේ කළා මිස දරුවන් එතැනට ඈඳාගන්නා තුට්ටු දෙකේ මට්ටමට ගියේ නැත….

පහුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ කැලණිය ප්‍රදේශයේ ඇමතිවරයෙක් රාජ්‍ය නිලධාරියෙක් අල්ලා ගස් බැන්දේය. ඒ නිලධාරියා තම බල ප්‍රදේශයේ ඩෙංගු පාලනයට අවශ්‍ය තරම් වැඩ කර නැති බවට අමාත්‍යවරයා සංවේදී වී තිබිණි. එයින් මියගිය දරුවෙකුගේ අවමගුලට යාම නිසා මේ තත්ත්වය උග්‍ර වී තිබිණි. එහෙත්, අපද තව බොහෝ අයද ඇමතිවරයාට එරෙහිව හඬ නැගුවෙමු. මන්ද, මොන තරම් සාධාරණ හේතු තිබුණත් නිලධාරියාට දඬුවම් කිරීමට ⁣නිශ්චිත ක්‍රමවේදයක් තිබෙන නිසාය. නීතියක් තිබෙන නිසාය. ඒ සිදුවීම රජයට ඉමහත් අපකීර්තියක් ගෙන ආවේය. අවසානයේ මහින්ද රාජපක්ෂ පරාජය වෙද්දී ඇමතිවරයා අනික් පැත්තට මාරු වී සිටියේය…

එක්තරා කීර්තිමත් ඉතිහාසයක් ඇති විශිෂ්ඨ වැදගත්  කාන්තාවන් රටටත් ලෝකයටත් බිහි කර ඇති පාසලක විදුහල්පතිවරියක් වැඩ බාර ගන්නට ආ ගුරුවරයෙක් හරවා යවා තිබුණි. එයට මුලින් හේතුව ලෙස දක්නා තිබුණේ සාහිත්‍යය උගන්නන්නට පිරිමි ගුරුවරයෙකු සුදුසු නැති නිසා බවය. පසුව විදුහල් පාර්ශ්වයෙන් දක්වා තිබු⁣ණේ ඔහුගේ ඉතිහාසය හොඳ නැති නිසා බවය. අප කවුරුත් හරියටම ඇත්ත දන්නේ නැත. නමුත්, රාජ්‍ය සේවා කොමිසමේ මාරුවීමක් ඇරගෙන පාසලකට එන ගුරුවරයා එලවා දැමීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට විදුහල්පතිවරියකට බැරිය. මහියංගණ ජාතික පාසලේ විදුහල්පතිට කොහොමත් බැරිය. එහෙම නම් අර කී විදුහලේ විදුහල්පතිට විතරක් අමුතු හැකියාවක් තිබෙන්නට බැරිය…සමානාත්මතාවය වගේ ගුණාංග ගැන කතා කර කර කොහොමටත් බැරිය…ඒකට ක්‍රමවේදයක් තිබෙයි. ඒ ක්‍රමවේදය යටතේ වැඩ කරා නම් එච්චරය…

මේ සිද්ධියට සමාජ මාධ්‍යයේ දැවැන්ත විරෝධයක් නැග ආයේය. එයට උත්තර දෙන්නට ආ සමහර ආදි ශිෂ්‍යාවන් මට සිහි කරේ ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන සොල්දාදුවන්ය. වැදගත්කමේ සලුපිලි උණාදමා ඕනෑම දෙයක් කර අර ක්‍රියාව සාධාරණීකරණය කරන්නට ඔවුහු පසුබට නොවූහ. අර ගුරුවරයාට ඔවුන් නොකළ චෝදනාවක් නැත. තමන්ගේ දරුවන් රැකගන්නට අපි ඕනෑම දෙයක් කරනවා යැයි ඔවුහු වහසිබස් දොඩමින් සිටියහ. ඔය කියන දරුවන් පාසල් කාලයෙන් පසුව ඉන්නේ නුගේගොඩ ටියුෂන්වල යන සරල මහපොළාවේ යතාර්ථය ඔවුහු අමතක කර උදාරම් විලාශයෙන් හඬ නගන්නට වූහ…
ආදරණීය මිත්‍රවරුනි,

මම අලුත් රෝහලකට වැඩට යද්දී මගේ පරණ රෝහලේ කල්කිරියාව හොඳ නැති නිසා වැඩ බාර දෙන්නට බැරි බව කීවොත් ඇතිවන තත්ත්වය කුමක්ද? ඒ ගුරුවරයාගේ හෝ මගේ විනය ගැටලුවක් ඇතිනම් එය විසඳන්නට ක්‍රමවේදයක් ඇත…

අනෙක් කාරණය ඒ ගුරුවරයාට දන්නා හැම චෝදනාවකින්ම දමා ගසන්නට පෙර ඔබ ඔහුගේ දරුවන් ගැන සිතුවාද? ඔහුගේ දරුවන් පාරේ බැහැලා යන්නේ කොහොමදැයි සිතුවාද? ⁣නීතියෙන් වැරදිකරුවෙකු වෙනතුරු හැම මිනිහාම නි⁣ර්දෝෂීය යන සරල මූලධර්ම පවා ඔබට අමතක විය..
අවසාන වශයෙන් කිව යුත්තේ යමෙක් එක පාසලක ළමයින්ට උගන්නන්නට නුසුදුසු නම් ඔහු හෝ ඇය වෙන කිසිම පාසලක උගන්නන්නට සුදුසු වීමට බැරිය. ⁣මොන පාසලේ මොන දෙමව්පියන්ගේ වුනත් ළමයින් එකය….ඒ නිසා අපේ එවුන් ආරක්ෂා වෙලා ඕන මගුලක් වගේ ප්‍රකාශ නිකුත් කරන්නට පෙර දෙපාරක් හිතන්නට ඕනෑය…
එය මනුෂ්‍යත්වයට නිගා දෙයි.

පහුගිය අවුරුද්දේ හය වසර ශිෂ්‍යත්වය සමත්ව ආ රාජකීය දරුවන් පිළිගෙන කතාවක් කරන්නට මට ආරාධනා කළේ රාජකීය විදුහල්පතිතුමන් හා වෛද්‍ය සංගමයේ සභාපතිතුමන්ය. හැබැයි ඔවුන් කිසිවෙක් ‘ලක්මාල් මේවා කියන්න හෝ නොකියන්න’ යැයි මට කීවේ නැත. අදහස් ප්‍රකාශනය කියන්නේ මූලික මිනිස් අයිතියකි. රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලය ඉදිරියේ තබාගෙන මම හැඟුම්බර කතාවක් කළෙමි….

“ශිෂ්‍යත්වය සමත් වෙලා හය වසරට ආපු මට හත වසරෙදි නවරඟහලේ රැස්වීමෙ කතාවක් කරන්න දීලා සමානාත්මතාවය පෙන්නුවෙි අමරදාස සර්”
ඒ කියද්දී මට හැඬුණේය…

“ඒ රාජකීය විද්‍යාලයෙ ජීවගුණය රකින්න. හැමදාම පාසලට එන දෙමව්පියන්ගෙ දරුවාටත් අප වගේ ඈත ඉන්න දෙමව්පියන්ගේ දරුවටත් එකම අවස්ථාව දෙන්න”
මම  ආචාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියෙමි. ඒ ඒ ගුණය නැති වන තැන් මා දැක තිබුණු නිසාය.  ඕනෑ නම් ඒ අයට මා සමග උරණ වෙන්නට තිබිණි. ඒත් ඒ මිනිස්සු උණුසුම් හදවතින් ඒ කතාව වැලඳගත්හ. මම ඒ කතාව කියද්දී මගේ දරුවෙකුට හානියක් වේදැයි සිතුවේ නැත…මා ඒ කතාව කළේ ඈත ගම්වලින් රාජකීය විද්‍යාලයට එන දරුවන් වෙනුවෙනි.

අපට මේ රට ඉදිරියට ගෙන යන්නට ඇත්ත උවමනාවක් තිබෙනවා නම් අප මේ ආයතන හා ඇති දැඩි බැඳීම් පසෙක ලා යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටිය යුතුය. මොනම පුද්ගලයෙක්වත් මොනම ආයතනයක්වත් එ් ගුණදහම් වලට වඩා ලොකු වෙන්නට බැරිය….

ලංකාවේ හැම දරුවාම එකය..උන් හැම දෙනාම මල් වාගේය. ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ සටනක් තිබෙනවා නම් එය හැම ළමයාම වෙනුවෙන් විය යුතුය. එහෙම නැති පෙනී සිටීම් හා සටන් සාධාරණ නැත…ශිෂ්ඨ සම්පන්න නැත…අපුල දනවයි.

මෙත්තාව, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන විහරණයන් තිබිය යුත්තේ ජාතික කොඩියේ කොන් හතරේ නොව ඔබේ පපු කුහර තුළය…

ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap