COLUMN

කඩේ යනු (නො)ලැබේ

Summary

මම නම් අවංකවම හිතන්නෙ ඔය පක්⁣ෂ එකොළහම යුදගනව් වැඩේට විරැද්ධව ඡන්දෙ දෙයි කියලයි. ඒ විතරක් නෙවෙයි සිරිසේනල, විමල්ල, වාසුල, ගම්මන්පිලල ඔක්කොම වෙනම පෙරමුණක් හදාගෙන ඊළඟ ඡන්දෙටත් ඉල්ලල ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්නයි කියලයි. මේ කල්ලියට ඇමතිකම්, මන්ත්‍රීකම් පයේ ගෑවෙන දුවිල්ලක් තරම්වත් වටින්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ . ඒ ගැන ඔහේලට හි⁣⁣තෙන්නෙ කොහොමද?

ප්‍රිය ඩියු ඇතුළු එකොළහේ කල්ලියේ නායකයිනි ,
සුපුරුදු පරිදි මගේ ලියුමට එබුණු බිරිඳ කියා සිටියා, එකොළහේ කල්ලියේ නායකයො හැටියට සැලකෙන්නෙ විමල්, වාසු හා ගම්මන්පිලනෙ.

එහෙම තියෙද්දි පාර්ලිමේන්තුවේවත් නැති ඩියු(ගුණසේකර)ව ආමන්ත්‍රණය කරේ මොකද කියල . එතකොට මම කිව්ව ඩියු ගුණසේකර කියන්නෙ ලංකාවෙ දේශපාලනේ ඉන්න ගරැ කටයුතු මනුස්සයෙක්නෙ. එහෙව් මනුස්සය මේ ළඟදී කියල තිබුණනෙ දැන් තියෙන්නෙ නිදහසෙන් පස්සෙ පත්වෙච්ච අසාර්ථකම කැබිනට්ටුවය, මේ කැබිනට්ටුවේ ඉන්නෙ මීහරක් රැළක්ය කියල .ඒ විදිහට විමල් , වාසු, ගම්මන්පිල තුන්කට්ටුවත් මීහරක් වෙන නිසාය ඒ ගොල්ලන්ට ආමන්ත්‍රණය කරේ නැත්තෙ කියල . ඒ සැරේ බිරිඳ කියනව ඩිව්ට දැන් අනූවටත් කිට්ටු නිසා මැන්ටල්ද දන්නෑ, ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ආණ්ඩුවට විරැද්ධව වීරෝදාර සටනක් ගෙනියන මේ තුන්දෙනාටත් මීහරක් කිව්වෙ කියල .

එතකොටම කතාවට මැදිහත් වුණු අපේ පුතා කිව්ව ඒක නේන්නම් මේ තුන්දෙනා මීට කලිනුත් වීරෝදාර සටන් මෙහෙයවපු සෙනෙවියොනෙ කියල .ඒ මොනවාද ඇහුවම පුතා කියපි මේ තුන්දෙනා මේ විදිහටම 20වැනි සංශෝධනයට විරැද්ධව (සිංහයො වගේ) යුද්ධ ප්‍රකාශ කරල පස්සෙ( පූස් පැටව් වගේ) ඒකට පක්ෂව ඡන්දෙ දුන්න මතක නැද්ද කියල .ඒ වගේම වරායෙ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවට විරැද්ධවත් ජයග්‍රාහී සටනක් මෙහෙයවල,පස්සෙ බටහිර පර්යන්තය ඉන්දියාවටම දෙන කොට ඒක නොදැක්ක වගේ හිටියය කියල .

ඒත් බිරිඳ නම් කියන්නෙ ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ආණ්ඩුවට විරැද්ධව සටන් කරන කල්ලිය වගේම එවැනි සටනක් ගෙනියන්න ඉඩදීල බලාගෙන ඉන්න මේ ආණ්ඩුවත් මුළු ලෝකෙටම ආදර්ශවත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්ය කියලයි. පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ආණ්ඩුවට විරැද්ධ වෙන්නෙ නැතුව එළියට පලයල්ලා කියද්දිත් ජනාධිපති කට පියාගෙන ඉන්නෙත්, අගමැති මේ කට්ටිය අපේ කිහිලිකරැ නෙවේය කියල කිව්වෙත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නිසානෙ කියල ඈ කියනව.

එතකොට මම කිව්ව අපි නම් නවයෙ පංතියෙදියි ඉගෙනගත්තෙ කැබිනට් මණ්ඩලේ සාමූහික වගකීම ගැන. ඒත් මේ ආදර්ශවත් ආණ්ඩුවෙ කවුරුවත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන එහෙම දෙයක් ගැන අහල නෑනෙ කියල. එතකොට බිරිඳ කියනව මට නොතේරැණාට එකොළොස්දෙනාගෙ කල්ලිය කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම තමයි කියල. සජිත්ල විපක්ෂෙ කාර්ය භාරය හරියට කරන්නෙ නැති නිසා ආණ්ඩුවෙම කණ්ඩායමක් වන මේගොල්ලො ඒ කර්තව්‍යය ඉෂ්ට කරනවය, ඒ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යායාමය තේරැම් අරගෙනය සාමූහික වගකීම යකාට දාල ජනාධිපති, අගමැති කට පියාගෙන ඉන්නෙ.

පුතා කියනව අම්මගෙ ඒ කතාවෙ නම් පොඩි ඇත්තක් තියෙනවය කියල . ආණ්ඩුවට විරැද්ධව හැබෑ විරෝධතාවයක් පැනනැගීම මේ ගොල්ලන්ගෙ විරෝධතාවය නිසා සිද්ද වෙන්නෙ නැති බව ප්‍රසිද්ධ රහසක්ය,අන්තිමේදි 20 වැනි සංශෝධනේදී කරා වගේ තමයි මේ කල්ලිය යුදගනව් විරෝධයත් ඉවර කරන්නෙ කියල . එතකොට බිරිඳ ඇහුව එහෙනම් පොහොට්ටුවේ ලේකම් මුන් එක්ක හැපෙන්නෙ මොකද කියල . පුතා කියනව මෑනුත් මේ නාට්‍යයේ ප්‍රධාන නළුවෙක්ය,⁣ එහෙම ෂෝපාරක් තියෙන කොටනෙ මේ විරෝධ⁣යේ ස්වභාවය රට්ටුන්ට තේරෙන්නෙ නැත්තෙ කියල. ජනාධිපති පුරවැසියෙක් වෙලා හිටපු, වෙන්න ජනාධිපති දැනටත් පුරවැසියෙක් වෙන රටට විරැද්ධව මේ කල්ලිය බය නැතුව සටනක් කරන්නෙ මේක නාට්‍යයක් නිසානෙ කියල.
ආණ්ඩුවෙ හැම කිලුටු රෙද්දක්ම ඉතා ආසාවෙන් හෝදන මේ තුන්කට්ටුව ඉඳල හිටල එක ප්‍රශ්නෙකදි විතරක් ආණ්ඩුවට විරැද්ධ වෙන්නෙ ඇයි කියල නිකමට හිතල බලන්න කියල අපේ පුතා කියනව.මෙච්චර රටේ අවුලක් වෙලා තියෙන පෝර ප්‍රශ්නෙ ගැන ඇයි මේගොල්ලො කතාකරන්නෙ නැත්තෙ, ඇයි ඥානසාර හාමුදුරුවන්ව වන් කන්ට්‍රි වන් ලෝ කාර්ය සාධක බළකායේ සභාපති කිරීම ගැන (අඩුගානෙ වාසුවත්)කට ⁣හොල්ලන්නෙ නැත්තෙ කියල අපේ මෑන් අහනව.මිනිහ වැඩිදුරටත් කියනව සිරිසේනගෙ පක්ෂෙ ඇර අනික් ඔක්කොම පක්ෂවල ඉන්නෙ නායකයො විතරයිනෙ. ඒත් එහෙම බෝඩ්ලෑලි ටිකකට ඔහොම කෑගහන්න ඇරල ජනාධිපති ,අගමැති නිශ්ශබ්දව ඉඳීම සැකකටයුතුයි නේද කියල .අනේ මන්ද අපේ පුතාට නම් හැමෝම සැකයි. හැමෝවම සැක කිරීම ලෙඩක් කියලයි මට නම් හිතෙන්නෙ.එහෙම නේද ?
මම,
මානි

ප:ලි: මම නම් අවංකවම හිතන්නෙ ඔය පක්⁣ෂ එකොළහම යුදගනව් වැඩේට විරැද්ධව ඡන්දෙ දෙයි කියලයි. ඒ විතරක් නෙවෙයි සිරිසේනල, විමල්ල, වාසුල, ගම්මන්පිලල ඔක්කොම වෙනම පෙරමුණක් හදාගෙන ඊළඟ ඡන්දෙටත් ඉල්ලල ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්නයි කියලයි. මේ කල්ලියට ඇමතිකම්, මන්ත්‍රීකම් පයේ ගෑවෙන දුවිල්ලක් තරම්වත් වටින්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ . ඒ ගැන ඔහේලට හි⁣⁣තෙන්නෙ කොහොමද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *