කථා වත්ථු කථා වත්ථුව
Summary
“අලුත් කථාවෙක් නැත්තේමැය… කතා නායකයින්ගේ නම්ගොත් පමණෙක්මැ වෙනස් යැ.”

යටගිය දවස සතරැස් නුවර එක් දිලිදු නිවස්නකැ පිල් මතුයෙහි වයෝවෘද්ධ වැ ගතවැහැරි එක් මුත්තනු කෙනෙක් උක්කුටියෙන් සිටිනු දුටු ඒ මුත්තනුගේ මුනුබුරු තෙම පැරණි කථා වත්ථුවෙක් අසනු රිස්සෙන් දිව ආහැ.
මුනුබුරු තෙම නේක අවිටිලි කරණයෙන් මුත්තනු ” කොල්ල තෝ කිනම් කථායෙක් අසනු රිස්සේදැ” යි විමැසීයැ.
“මුත්තනුව මා කැකිල්ලේ නිරිදුන් ගේ කතා වත්ථුව අසනු රිස්සෙමි” කොල්ලා සොම්නසින් දෙඩීයැ.
“කොල්ල ඒ කථා නීරසයැ. වත්මනෙගි කොමිසං වර්ථා නම් කථා වත්ථුවෙක් ඇතැ. ඒ කැකිල්ලේ නිරිදුන් ගේ කථා වත්ථුව පරයයි” මුත්තනු පැවැසීයැ.
“ඉදින් එසේනම් පුහුලක් සොරාගත් චෞර කතා වත්ථුව ” බිලිදා සිහිකැදවීයැ.
“පුත රාජභාණ්ඩාගාරයේ කහවණු සොරාගත් චෞර කැලගේ කථා වත්ථුව ඊට වඩා රසයැ” මුත්තනු ඒ කථාවත්ථුවද නොකීවේයැ.
“එසේනම් අන්දරේ නම් කවට තෙම සීනි කෑ කථාව’… බිලිදා වැලිත් පැවැසීයැ.
“පුත අන්දරේට ත් වඩා සූරලෙස සීනි කෑ කතාවෙක් අද වේ. එය අසනු” මුත්තනු පැවසීය.
“මුත්තනුව කිමැ වත්මන් කථා සියල්ල පෙර කථාවන් හිම දිගුවක් විනා අලුත් කතාවෙක් නොවේදැ” බිලිදා මදක් කෝපයෙන් විමැසීයැ.
“අලුත් කථාවෙක් නැත්තේමැය… කතා නායකයින්ගේ නම්ගොත් පමණෙක්මැ වෙනස් යැ.” ඒ මුත්තනු පිලිවදන් සැපයීයැ. බිලිදා කථා ඇසීම පසෙකලා උන්ද උක්කුටියෙන් මැ හිදගත්තේයැ. හුදීජන පහන් සංවේගය උදෙසා කල කථා වත්ථුව මෙතෙකින් නිමියේයැ.