COLUMN

කපන කටු vs. කව කටු

Summary

ඇතැම් විට ලෝකයේ තිබෙන තරගකාරීම විභාගය අපේ උසස් පෙළ විභාගය විය හැකිය. ඉතින් ඒ විභාගය හොඳින් සමත් වූ කෙනෙක් හැටියට මොරටුව විශ්වවිද්‍යාලයට යන්න ලකලෑස්ති වෙලා මම හිටියෙ හෙණ ගැම්මෙන්..! මේ සතුට තීව්‍ර කරන තෑග්ගක් මට ලැබුණ තාත්තාගේ හොඳම යාළුවෙක් උනු මෙන්ඩිස් අංකල් ගෙන්. එයා වැඩ කරේ ටයර් සංස්ථාවේ. එයාගෙ නෝන අම්මගෙ ස්ටාෆ් එකේ – විහාරමහාදේවි බාලිකා විද්‍යාලෙ.

ඇතැම් විට ලෝකයේ තිබෙන තරගකාරීම විභාගය අපේ උසස් පෙළ විභාගය විය හැකිය. ඉතින් ඒ විභාගය හොඳින් සමත් වූ කෙනෙක් හැටියට මොරටුව විශ්වවිද්‍යාලයට යන්න ලකලෑස්ති වෙලා මම හිටියෙ හෙණ ගැම්මෙන්..! මේ සතුට තීව්‍ර කරන තෑග්ගක් මට ලැබුණ තාත්තාගේ හොඳම යාළුවෙක් උනු මෙන්ඩිස් අංකල් ගෙන්. එයා වැඩ කරේ ටයර් සංස්ථාවේ. එයාගෙ නෝන අම්මගෙ ස්ටාෆ් එකේ – විහාරමහාදේවි බාලිකා විද්‍යාලෙ. ඉතින් අපේ පවුල් හුඟක් කිට්ටුවෙන් ආශ්‍රය කලේ. අපේ තාත්ත සමසමාජ කාරයෙක් – මෙන්ඩිස් අංකල් කොමියුනිස්ට් කාරයෙක්. එයා ඉගෙන ගෙන තිබුනෙ රුසියාවෙ. මම ඉංජිනේරුවෙක් වෙන්න යන නිසා ඔහු මට තෑගි දුන්න රුසියාවේ හදපු ඉස්තරම් instrument set එකක් – කවකටු පෙට්ටියක්, නමුත් වැඩ කෝටියක් තියෙන හෙන සංකීර්ණ භාණ්ඩයක්. මම හිතනව එය ඔහු රුසියාවේදී පරිස්සමින් පාවිච්චි කරලා ආදරෙන් ළඟ තබාගෙන හිටිය තමන්ගෙම එක කියල – අළුත්ම අළුත්. සාමාන්‍ය set එකක පැන්සල් යොදා කරන ඇඳීම් මේකෙ තීන්ත වලිනුත් කරන්න උපකරණ තිබුන. කෑලි ඔක්කොම සීයකට ආසන්න ගාණක්. ඉතා විශාල වෘත්ත සහ වෙනත් ජාති වල වක්‍ර අඳින්න attachment රාශියක් මේකෙ තිබුන. මෙවැනි කවකටු පෙට්ටියක් අවශ්‍යයි පළමු වසර drawing විෂයට. මම මේ පෙට්ටියත්, drawing කොළ සහිත බට එහෙම අරගෙන තමයි 154 බස් එකේ නැගල යන්නේ කිරිබත්ගොඩ සිට ගල්කිස්සට. ගල්කිස්සෙන් set වෙනවා නුගේගොඩ – මහරගම පැත්තේ යක්ඛ පුත්තු ටික 198 න් බැහැල. අපි ඔක්කොම 255 ගල්කිස්ස කොට්ටාව බස් එකේ කොටමින් යනව ඉතින් කටුබැද්දට..! හරිම වෙහෙසකර නමුත් නියම ජොලි ගමනක්. උදේට පැය දෙකක් විතර හවසට පය දෙකහමාරක් හෝ තුනක්..! එක දිගට බස් වල.

මගේ පාසැල් මිතුරා මට හමුවෙනව බොහෝ විට කටුබැද්ද හන්දියේදී. එයා වැඩිපුර ගැන්සි ගැහෙන්නෙ නැති සිරා චරිතයක්. කිට්ටුවෙන්ම හිටිය තව බැචෙක් – නිතරම මේ දෙන්න අතර මත ගැටීම්..! මගේ මිතුර අනෙකාට පරිභව කරන්නෙ තට්ට H කියල – එයාගේ කොන්ඩෙ අඩු නිසා. 255 බස් එකේ සෑම විටම මිනිහ හිටං මම ඉඳං..! දවසක් මම මිනිහගෙ බෑග් එක ගත්ත තියා ගන්න – පුදුම බරක් තිබුනෙ ඒකෙ..! සාමාන්‍යෙන් ඉතා විශාල බත් එකක් කන ඔහුට මම විහිළු කළා “අදනම් පවුලකට කන්න පුළුවන් බත් එකක්” කියා..! ඒ එක්කම මම ඇහුව “ඇත්තටම මොනවද බං මේකේ මේතරම් බර..?” කියල. මිනිහ ඇඟිල්ල දෙතොල් මත තියා මට නිශ්ශබ්ද වෙන ලෙස සන් කළා… අපි බස් එකෙන් බැහැල කෙලින්ම ගියෙ ‘වලට’… (අහෝ මොරටුවෙ අපේ අහිංසක වල – වල කැන්ටිම, පේරාදෙණියේ රොමාන්තික ‘වලට’ පෑහිය නොහැකි බව කණගාටුවෙන් වුවද පිළිගත යුතුය..!). උදේ තේකක් එහෙම බීල යන්න සැරසෙනකොට මට ආපසු මතක් උනා අර අසාමාන්‍ය බර ඇති බෑග් එක. ඉතින් ඔහු ඒක විවර කරල පෙන්නුවා. ඒකෙ සාමාන්‍ය ශිෂ්‍ය අඩුම කුඩුම සමග තියෙනව ඩ්‍රිල් එකකුයි, බිත්ති කඩන කටුවකුයි, විශාල මිටියක් සහ තව අඩුම කුඩුම ගොඩක්..! ඒ එක්කම මිනිහ කිව්ව අතිරේක ආදායමක් හොයා ගන්න පුළුවන් වෙලාවට house wiring වැඩ කරනව කියල. ඉතින් එදා හවස ලෙක්චර්ස් නැති නිසා site යන්න එක්කම බඩු අරන් ඇවිත්..!

බාල සොයුරන් කිහිප දෙනෙක් එක්ක පාසැල් බසය නොමැති දවසට ලයනල් වෙන්ඩ්ට් පැත්තට ඇවිද එන ඔහු මට මතක් උනා. මිනිහ පවුලේ බර කරට අරන්වත්ද..? මම ගියා මිනිහගෙ site එකකට – ඒක විශාල ගෙයක් නැතිනම් තරමක වාණිජ ගොඩනැගිල්ලක්. වැඩට සුදුසු කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී මුහුණ සර්වියට් එකකින් වසාගෙන ඔහු හරි හරියට වැඩ ගෝලයෝ දෙන්නෙක් එක්ක – කොන්ඩියුට් බට දාන්න බිත්ති කඩනවා… සරසවියේ ඉගෙනීම් කටයුතු තිතටම කරන ඔහුමද මේ ශ්‍රමිකයෙක් වෙලා මේ ‘කට්ට’ කන්නෙ..? මට හිතාගන්න බැහැ…

මට මා ගැනම ඇතිවුනේ සියුම් කලකිරීමක්. කන්න, බොන්න, විශ්වවිද්‍යාලෙ ඔක්කොම බඩු සහ ඉන්න හිටින්න බෝඩින් ගාස්තු වගේම අතට පොකට් මනි ද ලබා, අවම ශ්‍රමයෙන් උපාධිය ගන්න මාන බලන මම සහ පවුල ගොඩ දාන ගමන් හොඳටම ඉගෙනගන්න ඔහු..! කිව්වට විශ්වාස කරන්න ඒ සුන්දර දවස් වල – මොරටුවට සෙමිස්ටර් ශාපය වදින්න කලින් – අපිට විභාග වලට පස්සෙ හොඳ විවේකයක් තිබුන. පළවැනි අවුරුද්දෙ අවසාන විභාගෙන් පස්සෙ අපිට තිබුන මාස කිහිපයක නිවාඩුවක්. උදේට එනව, ක්‍රිකට් ගහනව, කෑම කනව, රැග් කරනව, මුහුදෙ නානව, ෆිල්ම් බලනව වෙන දෙයක් නැහැ..! JVP කලබල පටන් අරන් තිබුනෙ නැති නිසා ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගත උනේ. අපි විකාර කරන ඒ කාලයේ මිනිහ දුක් මහන්සියෙන් ජීවිතේ ගොඩනගාගන්න හෝ දෙමව්පියන්ගෙ ජීවන අරගලයට සහයක් වෙන්න උත්සාහ කරන්න ඇති… මම ඇහුවෙ නෑ විස්තර.

ටික කලකින් පස්සෙ මට මතක විධියට තුන්වැනි වසරෙ, මිනිහ මට මුණගැහෙනව කටුබැද්ද හංදියේ.. සුසුකි 800 රථයක – “නැගපන්..! නැගපන්.!!” කියල කිව්ව ඔහු ඇහුව වාහනේ හොඳද කියල. ඉතින් ආර්ථික අතින් බොහොම අමාරු තැනක හිටි ඔහු මේ කරලා තියෙන වික්‍රමය නම් ඇත්තටම මාව ෂොක් කරා..! මම ඇහුවෙ නැහැ බැංකුවක් කැඩුවද කියල, මොකද මොහු කිසිම ලෙසක මොනම හේතුවක් නිසා හෝ වංචාවක් – හොරකමක් නොකරන මිනිහෙක් කියල මම පාසැලේ ඉඳන්ම දන්නා නිසා. අපි විනෝදෙන් වියදම් කරල දාපු කාලෙ මිනිහ බිත්ති කඩ කඩ ගෙවල් වයරින් කරමින් ප්‍රයෝජනවත් විදියට යොදවල වගෙයි..! අපි සතුටින් ආව සරසවියට..!

පස්සේ දවසක මම ගියා එයාගෙ ගෙදර මොනව හරි උවමනාවකට. කාර් එක පේන්න නැහැ. මම ඇහුව වික්කද..? කියල. මෙහෙ වරෙං කියල ඔහු පෙන්නනව ඇඳ යට. මුළු සුසුකි 800 ම කෑලි කෑලි වලට ගලවල ඒ ටිකට..! ඒ තරම් මිකැනිකල් උණක් සහ හැකියාවක් තිබුණ ඔහුට. ආයේ ටික දවසකින් ඔහු විසින් තනිවම කරපු පුර්ණ අලුත්වැඩියාවකින් (major overhaul) පසු ඔහු එනවා මෙන්න සරසවියට ඒ කාර් එකේ..! කොහොම කොහොමහරි අවුරුදු හතකින් පස්සෙ, මම යන්තමිනුත්, මිනිහ හොඳටමත් උපාධිය අවසන් කළා..!

ලංකාවෙ සෑහෙන කලක් වැඩ කරපු මගේ මිතුරා ගියා එම කර්මාන්තයේම පිටරට සමාගමකට වැඩ කරන්න. ඉතා කුඩා ව්‍යාපාරයක් (also ran) විධියට තිබුණු ඒක මගේ යාළුවා එක්කම වර්ධනය වුණා හිතා ගන්න බැරි පරිමාණයකට. එම සමාගමේ විශාල මිළදීගැනීමක් කතා කරගන්න යන මිනිහ යන ගමනක මට මුණ ගැහුන Dubai airport එකකදී, මම කෙන්යාවේ උපදේශක වැඩකට යන අතරෙ. hard work සහ integrity ජීවිතේ දෑගසව් කරගත් ඔහු එම සුවිසල් සමාගම විශ්වාස කරල තිබුන තනියම ඒ ඩොලර් මිලියන ගානක ගනුදෙනුව හෙට්ටු කරන්න. මිනිහගෙ සරල සුන්දර සිනහව, සහ අව්‍යාජ මිතුරුකම පොඩ්ඩක්වත් වෙනස්වෙලා තිබුනෙ නැහැ. එම සමාගම ලෝකයේ ප්‍රමුඛතම සමාගම් (a global leader) අතරට ඇවිත් – නමුත් මිනිහත් තට්ට H කෙනෙක් වෙලා..! අර නිතරම මොහුගේ ගර්හාවට ලක් වෙච්ච original තට්ට H ට සාධාරණය ඉටුවීම ගැන මට ආව කට කොනකට හිනාවක්..! මේ ලෝකෙ සාධාරණය තියෙනව – හිතන තරම්ම කෘර නැහැ..!
දක්ෂතාව, නිර්ව්‍යාජ පැවැත්ම, අවංක උත්සාහය, නොපසුබට කැපවීම සහ කිසිදා පළුදු කළනොහැකි අවංකකම කෙනෙකුව මොන තරම් දුර ගෙනයන්න පුලුවන්ද..! එදා ඒ අහඹු හමුවීමෙන් පස්සේ අපි අපේ flight වලට යන්න වෙන් වූ ගමන් මම කල්පනාවට වැටුන.

ඉතින් මගේ අනර්ඝ රුසියානු instrument set එකට වෙච්ච දේ දන්නවද..? 154 බස් එකේ ආපසු එන දවසක, බොරැල්ල දෙමටගොඩ අතරෙදි මේක විවෘත වෙලා කෑලි බොහොමයක් වැටුන බස් එක ඇතුලෙ. කිටිකිටියෙ හිරවෙල ඉන්න මිනිස්සු 50-70ක් අතරෙ ඒව හොයන හැටි හිතා ගන්න පුළුවන්ද..? බුළුගහහංදියේ වගේ සෙනග අඩු උනහම මම සහ මගේ දුක දැකපු ආගන්තුක ගැහැණු පිරිමි එකතුවෙලා කෑලි යම් තරමක් සොයා ගත්ත. නමුත් අවශ්‍යම දේවල් (ලොකු කෑලි) ටික නැති වෙලා. මට Staedtler වර්ගයේ instrument set එකක් ගන්න උනා. මගෙ තාත්ත සල්ලි දුන්න මුවින් නොබැන සහ දෙපාරක් නොහිත. මම මේ විත්තිය මෙන්ඩිස් අන්කල්ට කිව්වෙ නැහැ එයාට දුක හිතෙයි කියල…

මොහුගේ ජීවිතේ හොඳින් හදාපු ඔසු පැන් වඩියක් වගේ. මේක ජීවිත වගේම රටක් උනත් ගොඩ දාන්නත් හොඳ පස්පංගුවක්..!
1 දක්ෂතාව – talent
2 නිර්ව්‍යාජ සරල පැවැත්ම – non-fake simple lifestyle
3 සියුම් අවධානය – focused attention
4 අවංක උත්සාහය සහ කැපවීම – honest effort and commitment
5 කිසිදා පළුදු කළනොහැකි වූ අවංකකම – unblemished integrity
කෙනෙකුගේ ජීවිතය හෝ අපේ රට ගොඩ දාන්න ඕනෙනම් මෙන්න වට්ටෝරුව… අත්දුටුයි කියන්න බැහැ, නමුත් නිසැකවම ප්‍රත්‍යක්ෂයි..! නිර්ව්‍යජත්වයේ ප්‍රතිමුර්තිය වූ ඔහුගේ කතාව, නම සඳහන් කරොත් මිනිහගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගන්න වෙන නිසා මෙතනින් අවසන් කරනව. හඳුනාගතහොත් ඔහු කව්දැයි කියා, mention නොකර ඉන්න – Mora92 අයගෙනුයි මේ විශේෂ ඉල්ලීම…
ඔහුගෙ දුෂ්කරක්‍රියාව මතක් වෙන මේ පින්තුරෙ අම්රිතන්ෂු සික්දාර් ගෙ… ඔහුටත් මගේ ආදරය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *