Opinion

කර්‍තෘ අඥාත 20 වැනි සංශෝධනය සහ කොසොල් රජ්ජුරුවන්ගේ ඔළු දෙකේ අස්සයා

Summary

ඒ හින්දා මට නම් ආණ්ඩුවෙන් ඉල්ලන්න තියෙන්නෙ එක දෙයයි. ඔයාලා සේරම එකතු වෙලා ගිය සුමානේ කැබිනට් එකේ සම්මත කරපු 20 වැනි සංශෝධනය ලියලා තියෙන්නෙ කවුද කියලා හොයලා අපිට කියන්න. මේ අවුරුදු පහට ම ඒක විතරක් කළත් හොඳට ම ඇති!

තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා සමස්ත රාජ්‍ය යන්ත්‍රණය ම තමන්ගෙ ග්‍රහණයට ගන්න හිතාගෙන ගෙනාපු විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වෙනකොට ආණ්ඩුවට පාරා වළල්ලක් වෙලා තියනවා.

මේ ලියන මොහොත වන විට විසි වැනි සංශෝධනය කර්‍තෘ අඥාත ලියැවිල්ලක්…

ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු අධිකරණ ඇමති අලි සබ්‍රි කියනවා මේ සංශෝධනය ලිව්වේ කවුද කියල තමන් දන්නෙ නෑ කියලා. මේ කරදිය වළල්ල වටේ සිද්ධ වෙන හැම කුමන්ත්‍රණයක් ගැන ම දන්න විමල් වීරවංශත් විස්ස ලිව්වෙ කවුද කියලා තවම දන්නෙ නෑ. මේ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ගෙනාපු අලි සබ්‍රි ඒක ලිව්වෙ කවුද කියලා දන්නෙ නැත්තන් අපි දන්නෙ කොහොමද කියලා ආණ්ඩුවෙ අනිත් ඇමතිවරු අහනවා. මේ වගේ හිනාවෙන්න ද අඬන්න ද කියලා හිතාගන්න බැරි විදියෙ විහිළු හැමදාම රෑට ප්‍රවෘත්ති බලනකොට අහන්න දකින්න ලැබෙනවා.

මේ විහිළුව ටිකක් ගැඹුරට විශ්ලේෂණය කළොත් ආණ්ඩුව ඇතුළෙ මේ වෙනකොට ඔඩු දුවලා තියන අර්බුදය කාට වුණත් තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම 20 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් සම්මත වුණාටත් පස්සෙ ඒක ගැන අධ්‍යයනය කරන්න අගමැතිතුමා කමිටුවක් පත් කරනවා. මේ කමිටුවෙ සභාපති ඇතුළු සාමාජිකයන් බහුතරයක් කැබිනට් මණ්ඩලයේ දී 20වැනි සංශෝධනයට අදාළ කෙටුම්පත සම්මත කරන්න අත උස්සපු අය. එතකොට දැන් තහවුරු වෙන්නෙ කැබිනට් මණ්ඩලයෙ දි ඇමතිවරු 20ට අත උස්සල තියෙන්නෙ ඒකෙ තියෙන්නෙ මොනවද කියන එකවත් දන්නෙ නැතුව කියලයි.

මේ කමිටු වාර්තාව එනකල් 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ නෑ කියලා අගමැතිතුමා කියනවා. එතකොට ගෙවිඳු කුමාරතුංග කියනවා ජනාධිපතිතුමා පොරොන්දු වුණා කියලා 20 වැනි සංශෝධන කෙටුම්පත ආපහු සංශෝධනය කරලා තව ගැසට් එකක් ගහනවා කියලා. මේ හැම කතාවක් ම ඇහුවම මට මතක් වෙන්නෙ කොසොල් රජතුමා හීනෙන් දැකපු ඔළු දෙකේ අස්සයව!

මේ වෙද්දි 20 වැනි සංශෝධනය එක ම එක අවුල් ජාලයක් බවට පත් වෙලා තියනවා. විපක්ෂය පැත්තකින් තිබ්බත් ආණ්ඩුව ඇතුළෙ ම පිරිසක් ඒකට විරුද්ධව ආයුධ අමෝරා ගෙන ඉන්නවා. පක්ෂයේ මතයට විරුද්ධ ප්‍රකාශ කළොත් විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා පොදුජන පෙරමුණේ මහලේකම් මන්ත්‍රීවරුන් හැමෝට ම පොදුවෙ අවවාද කරලා තියනවා. එළියට කොහොම පෙනුණත් ඒකෙ ඇත්ත ඉලක්කය වෙන්න ඇත්තෙ පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මන්ත්‍රීවරුන් පිරිසයි කියලා මට හිතෙනවා. කොහොම හරි මේ හැමෝම මැතිවරණයට කලින් වේදිකාවල කියපු වහසි බස් නිකම්ම නිකම් කටේ නරිවාදම් බවට පත් වෙලා තුන් දොරෙන් ම බේරෙන්න පටන් අරන් තියනවා.

මේ විදියට අලුත් ව්‍යවස්ථාවක් හදනකල් ගේනවා කියපු “අන්තර්කාලීන” ව්‍යවස්ථා සංශෝධනයක්වත් හත් පොළේ ගාගන්නෙ නැතුව සම්මත කරගන්න බැරි ආණ්ඩුවක් අලුත් ව්‍යවස්ථාවක් හදන්න ගියොත් මොනවයින් මොනවා වෙයිද? මේ විදියට ම අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ගියොත් අවුරුදු 50කටවත් ගොඩ එන්න බැරි අර්බුදයකට මේ ආණ්ඩුව සමස්ත රට ම තල්ලු කරන බව නියතයි.  

ඒ හින්දා මට නම් ආණ්ඩුවෙන් ඉල්ලන්න තියෙන්නෙ එක දෙයයි.

අනේ මහත්තයො බැඳුම්කර හොරු අල්ලන්න කලින්, පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයො අල්ලන්න කලින්, විග්නේෂ්වරන්ලව මට්ටු කරන්න කලින්, කැළෑ එළිකලේ සනත් නිශාන්ත ගේ අයියද මල්ලි ද කියලා හොයන්න කලින්, ලංකාවට කුඩු ගේන ජාවාරම්කාරයො ටික එකෙක් නෑර අල්ලන්න කලින්, පාතාල ලෝකෙ ඉතුරු වෙලා ඉන්න හැමෝම ආයුධ පෙන්නන්න ගෙනියන්න ගෙනියන්න කලින්…

ඔයාලා සේරම එකතු වෙලා ගිය සුමානේ කැබිනට් එකේ සම්මත කරපු 20 වැනි සංශෝධනය ලියලා තියෙන්නෙ කවුද කියලා හොයලා අපිට කියන්න.
මේ අවුරුදු පහට ම ඒක විතරක් කළත් හොඳට ම ඇති!

[‘සමගි සංදේශය’ ශීර්ෂය යටතේ 22වන සටහන]  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *