COLUMN

කරුණාකර දැන් බැස යන්න..

Summary

මේ ගෙවී යන්නේ දශක 2ක ප්‍රබල රාජපක්ෂ පාලනයේ අවසන් පැය 72 වීමට බෙහෙවින්ම ඉඩ තිබේ.. එය එසේම විය යුතුය..මොන තරමේ ජගතෙක් උනත් දේශපාලනයේ දී පවුල ලොකු කර ගෙන ජනතාවට ද්‍රෝහී වීමෙන් ලැබිය හැකි අවසාන ප්‍රතිපලය කුමක් දැයි ලොවටම ලංකාවෙන් මේ […]

මේ ගෙවී යන්නේ දශක 2ක ප්‍රබල රාජපක්ෂ පාලනයේ අවසන් පැය 72 වීමට බෙහෙවින්ම ඉඩ තිබේ.. එය එසේම විය යුතුය..
මොන තරමේ ජගතෙක් උනත් දේශපාලනයේ දී පවුල ලොකු කර ගෙන ජනතාවට ද්‍රෝහී වීමෙන් ලැබිය හැකි අවසාන ප්‍රතිපලය කුමක් දැයි ලොවටම ලංකාවෙන් මේ දෙන උදාහරණයද සුළුපටු නොවේ..
අනාගතයේ දේශපාලන ගමනක් යෑමට සිතා සිටින ආධුනිකයන්ටත් වීරයෙක් ලෙස තම දේශපාලනය අවසන් කිරීමට හොඳටම අවස්ථාව තිබූ මහින්ද රාජපක්ෂ නම් අපේ කාලයේ දේශපාලන පතාක යෝදයාට අවසානයේ අත් වූ ඉරණම දුර්ලභ සහ කදිම පාඩමකි..
2020 මහ මැතිවරණයට ඉදිරිපත් නොවී ජයග්‍රාහකයෙකු ලෙසින් තම පෙරළිකාර සහ ඉතිහාස ගත දේශපාලන සලකූණට තිත තබන්නැයි අප එදා ඔහුගෙන් ඉල්ලා සිටින විට ඊට උරණව අපට බුරා ගෙන ආ අයටද දැන් අළුතෙන් හිතන්නට බොහෝ දේද ඉතිරි වී තිබේ..
මහින්ද රාජපක්ෂ නම් අපේ කාලයේ රටට ඓතිහාසික සේවයක් කල ප්‍රබලතම ජන නායකයාණනි..
ජාත්‍යන්තර සහ දේශීය නානා මාදිලියේ සියළු ද්‍රෝහීන් එකට කල්ලි ගැසී ඔබ එකම හතුරා සේ සලකා ඔබව නොවිය යුතු සේ බිම දැමූ පසුව ඔබෙන් කිසිදු පුද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂා නොකල සුවහසක් කළගූණ දත් ජනපවුර සමග එක් වී නැවත ඔබව ඉහළටම ඔසවා තැබීමට අපද ස්වේච්ඡාවෙන් කැපවුනෙමු.. නමුත් යා යුතු නියම අවස්ථාවත් මගහැර ගත් ඔබ පවුල්වාදයෙන් උන්මත්තකව ඔබ වටා සිටි ජනපවුරේ අපේක්ෂා කෙලෙසා දමමින් සහ ඉතා සිල්ලරව පාවා දෙමින් පවුලේ නරුමයන් සමඟ ඔබ වැපිරූ ඒවායේ අස්වැන්න අද හැරෙන තැපෑලෙන්ම ඔබ අතටම පෙරලා පැමිණ තිබේ..
අවසානය අවාසනාවන්ත උවද ලාංකීය වංශකථාවේ රට එක්සේසත් කල නායකයන් අතළොස්සෙන් කෙනෙකු වූද.. නිදහසින් පසු ඉහළම ආර්ථික වර්ධනයට නායකත්වය ලබා දුන් පුද්ගලයාවූද.. පොළොන්නරුව රාජධානියෙන් පසු වැඩිම ජලාශ පද්ධතියක් පමණක් නොව දියුණු මහාමාර්ග, වරාය ඇතුළු සිය ගණනක් නව සම්පත් රටට දායාද කරන්නට නායකත්වය දුන් ඔබට හිමිවන ඉතිහාසයේ නොමැකෙන නාමය කිසිවෙකුට මකා දැමීමටද නොහැක..
නමුත්, ප්‍රමාද වී හෝ.. හිටපු තැනින් නැවත නොනැගිටගත හැකි තරමට බිමට වැටී හෝ.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබට ඔය පුටුවෙන් බැස යෑමට කාලය ඔබ විසින්ම කැඳවාගෙන තිබේ..
තව තවත් ඔබේ නම විනාශ කර නොගෙන දවසක් හෝ ප්‍රමාද නොවී දැන්වත් කරුණාකර විශ්‍රාම ගන්න.. ඔබව විකුණාගෙන තර වූ ඔබේ පවුලේම අවස්ථාවාදීන් ඇතුළු අදටත් ඔබෙන් යැපෙන මනුස්ස කිනිතුල්ලන් දෙන ළණු කෑම මෙතැනින් හෝ නතර කරන්න..
කරුණාකර දැන් බැස යන්න.. මේ වෙලාවේ රට වෙනුවෙන් ඔබට කල හැකි ඉහළම සේවයද එයයි..

Leave a Reply

Your email address will not be published.