Editorial

කවුරුත් කඩ නොකරන ප්‍රධාන පොරොන්දුව

Summary

‘යහපාලකයින්ගේ’ ප්‍රකාශිත අපේක්ෂාව වූයේ රටේ පැතිරී තිබුණු දූෂණය මුලිනුපුටා දැමීමය. බලයට පැමිණ ඉතා කෙටි කලකින් මහ බැංකුව කොල්ල කෑවේ මොවුන්ම ය.

  • Save

ලංකාවේ බලයට පත් වන  පාලකයන්  කුමන මැතිවරණ පොරොන්දුව කඩ කලද තමන් ඉදිරිපත් කරන ප්‍රධාන මැතිවරණ පොරොන්දුවට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට කවදත් වග බලා ගත්හ.  චන්ද්‍රිකා මැතිණිය අනූ හතරේ බලයට ආවේ විශාල බලාපොරොත්තු ගොන්නක් රට ඉදිරියේ තබමිනි. ඇගේ පාලන කාලය තුලදී ඒ සියල්ල ඉටු නොවුනද ඇය ලබාදුන් ප්‍රධාන පොරොන්දුව වූ මරණ භයෙන් තොරව ජීවත් වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ සහ දේශපාලනය කිරීමේ නිදහස ඇගේ කාලය තුලදී , ඊට පෙර පවැති තත්වයට සාපේක්ෂව සාධනීය ලෙස  ස්ථාපනය  විය. රනිල් වික්‍රමසිංහ මහතා  දෙදහස් දෙකේ මහ මැතිවරණයේදී සමස්ථයක් ලෙස ඇත්ත වශයෙන් ප්‍රකාශ කලේ  තමන් ෆෙඩරල් ව්‍යවස්ථාවකට යන බවත් ආර්ථිකය තවත් අදියරකින් ලිබරල් කරණය කරන බවත්ය ය. ඔහු බලයට පත් වී ඉතා කෙටි කලක් තුල සුවිශාල ජනතා විරෝධයක් මධ්‍යයේ වුවත්  එම පාලනය ඉතාම වේගයෙන් එම දිශානතියට ගිය බව අපට මතකය. දෙදහස් පහේ මහින්ද මහතාගේ පොරොන්දුව වූයේ ජාතික අර්බුධයට  ගෞරවනීය විසඳුමකි. ඔහු එය ලෝක ඉතිහාසයේ පරිච්ඡේදයක් වෙන් වන අයුරින් ඉටු කල බව අප දනිමු. ජේ ආර් සහ ප්‍රේමදාස ජනපතිවරුන්ද කුමන අඩුපාඩු මධ්‍යයේ වුවද තමන්ගේ ප්‍රධාන පොරොන්දුවට , නැතහොත් අදාළ මැතිවරණයේදී ඉදිරිපත් කල “ තේමා සහගත “ මැතිවරණ ප්‍රතිපත්තියට සාධාරණයක් ඉෂ්ඨ කල බව මගේ මතයයි.

අප දන්නා ඉතිහාසය තුල මේ සම්ප්‍රදාය සාහසික ලෙස උල්ලංඝනය කලේ යහපාලනය විසිනි. ඔවුන්ගේ මූලධාර්මික  අපේක්ෂාව  වූයේ රටේ පැතිරී තිබුණු  දූෂණය මුලිනුපුටා දැමීමය . නමුත් බලයට පත් වී ඉතා  කෙටි කලකින් රටේ ප්‍රධානතම මූල්‍ය ආයතනය වූ ,මහ බැංකුවට කොල්ල කෑමකට මුහුණ දීමට සිදු විය. පළමුවර හෙළි වීමෙන් පසුව දෙවන වරකටත් එයම සිදු විය. මේ ආකාරයේ බැංකු මංකොල්ල අනාදිමත් කාලයක සිට සිදු වී තිබෙන බවත් , මෙවර සිදු වුනු කොල්ලයට අදාළ මුදලින් සැලකිය යුතු කොටසක් නැවත රටට ලබාගත් බවත් පසුව කියවුණද , යම් හෙයකින් එම කාරණා දෙක සහමුලින් සත්‍ය වන්නේ වුවද ( සත්‍යද යන්න අප නොදනිමු)  එමගින්  එම පාලන තන්ත්‍රයට ඇති කල බලපෑම  යලි හැරවිය නොහැකි විය. යහපාලනය ගෙදර ගියේ එදා මෙදා තුර ලංකාව නතු වූ අසාර්ථකම පාලනය ලෙසිනි.

පොදුජන පෙරමුණේ සහ  ගෝඨාභය මහතාග මැතිවරණ ව්‍යාපාර තුලද ප්‍රධාන පොරොන්දු තිබිණි. ඒ පිළිවලින් ජාතිකවාදී පදනමිකින් යුත්  පාලන තන්ත්‍රයක් සහ ජාතික ආරක්ෂාව පිලිබඳ සහතිකයක් යන ඒවාය. ආණ්ඩුවේ ජාතිකවාදී පාර්ශ්වය පුන පුනා කිව්වේ නව ව්‍යවස්ථාවකට සහ MCC වැනි අහිතකර ගිවිසුම් අවලංගු කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවය. මෙවැනි මාතෘකා වලින් සමන්විත වුනු  සමස්ථයක් එම මැතිවරණ වල ප්‍රධාන තේමා  වුනු බව අමුතුවෙන් කිව යුතු නැත. දැන් එළඹී ඇත්තේ මාරාන්තික හෝරාවයි. එයට ආණ්ඩුව මුහුණ දෙන සැටි බලමු.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap